Sweet Home රාක්ෂයන්ට බයේ සැඟව




එක් චිත්‍රපටියකට සම්පූර්ණ සිනමා කර්මාන්තයක් ගැන පණිවිඩය ලොවට කීමේ හැකියාව තියෙනවා. ලංකාවේ තරුණ සිනමා රසිකයන් ‘ප්‍රේමම්’ චිත්‍රපටිය බලා මලයාලම් සිනමාවට ආශක්ත වූ හැටි එක් උදාහරණයක්. නූතන ලෝකයේ අන්තර්ජාල සිනමා රසිකයන් බොන් ජූන් හූගේ පැරසයිට් නරඹා කොරියානු සිනමාවට ආසක්ත වීම තවත් උදාහරණයක්. මෑත ඉතිහාසයේ නෙට්ෆ්ලික්ස් වැනි නැරඹුම් වේදිකාවල කොරියානු නිර්මාණ වේගයෙන් ජනප්‍රිය වුණා.


කතා කීමේ කලාව සියවස් ගණනාවක් තිස්සේ මෙලොව පවතිනවා. නවකතාව මෙන්ම සිනමාවත් දීර්ඝ කාලයක් තිස්සේ ගලා ඇවිත්. තවදුරටත් අලුතින් කියන්නට කතාවක් ඉතිරි වී නැති බව සමහරුන් කියනවා. මෙතෙක් හැම කතාන්දරයක්ම කියා හමාරයිලු. නූතන කතාකරුවන් කරන්නේ මෙතෙක් කාලයක් කී කතාන්දර අලුත් විදියට, ආකර්ශණීය විදියට, වෙනම පසුතලයක සිට කීම.


කොරියානු කතා මාලාවක් වන ‘ස්වීට් හෝම්’ 2020 දී අන්තර්ජාලයට එකතු කළා. එය මෙතෙක් කී කතාන්දර වෙනස් පසුතලයකදී කී අවස්ථාවක්. අපට ඕනෑ තරම් ‘සෝම්බි’ චිත්‍රපටි නරඹා තියෙනවා. මිනිසුන් මරන්නට එන යක්ෂයන්ගේ චිත්‍රපටි, මොළය විකෘති වෙන වෛරස් රෝග පිළිබඳ චිත්‍රපටි නරඹා තියෙනවා. එහෙත්, ස්වීට් හෝම් චිත්‍රපටිය ඒවාට වඩා වෙනස් රසයක්, වෙනස් පසුතලයක සිට කියනවා. සාම්ප්‍රදායික ආසියානු නගරයක, සාමාන්‍ය මිනිසුන් පිරිසක් විනාසයට මුහුණදෙනවා.


පසුතලය කොරියානු නගරයක්. මිනිසුන් යම් විකෘතියක් නිසා භයානක සතුන් හෝ රාක්ෂයන් බවට හැරෙනවා. විවිධ සතුන්ට විවිධ විශේෂ හැකියාවන් තියෙනවා. යම් කෙනෙකුගේ ආශාව අනුවයි ඒ හැකියාව ලැබෙන්නේ. යම් කෙනෙකු වේගයෙන් දුවන්නට කැමති නම්, ඒ කෙනාට වේගවත් දෙපා ලැබෙනවා. තවත් කෙනෙකුට දැවැන්ත බාහු බලයක් සහ දැවැන්ත සිරුරක් ඕනෑ නම්, ඒ බලය ලැබෙනවා. එහෙත්, ඔවුන් විකෘති රාක්ෂයන් බවට පත්වෙන නිසාත්, අනෙකුත් මිනිසුන් ඝාතනය කරන නිසාත් මේ රාක්ෂයන්ගෙන් සාමාන්‍ය මිනිසුන් පරෙස්සම් වෙන්න ඕනෑ. නගරයේ හැමතැනම නිදැල්ලේ ගමන් කළ රාක්ෂයන්, නගරය සම්පූර්ණයෙන් විනාශ කරලා.

ලෝකය අවසාන වෙමින් තියෙනවා. ඉතිරි වී සිටින මිනිසුන්ටත් ඒ රෝගය බෝ වෙනවා. වෙනත් චිත්‍රපටිවල වාගේ මේ විකෘතිය සැපීමෙන් හෝ ලේ වලින් බෝ වෙන්නේ නෑ. කෙතරම් නිරෝධායනය වුණත්, යම් කෙනෙකුට විකෘතිය බෝ විය හැකියි. බෝ වෙන කෙනෙකුගේ ආශාව වැඩි වූ කළ ඒ ආශාවට ගැලපෙන විකෘති රාක්ෂයෙක් බිහි වෙනවා.
අනෙක් මිනිසුන් මරා දාන මේ සතුන්ගෙන් ගැලවෙන්නට දැවැන්ත මහල් නිවාස සංකීර්ණයක සිටින පිරිසක් එහි සියලු ගේට්ටු අගුළු දමා සැඟවෙනවා.


අප කලින් කීවා වගේ ඇමෙරිකානු පසුතලයක මැරීන් සෙබළුන් හෝ සුපිරි ධෛර්යවන්තයන් රාක්ෂයන්ට මුහුණදෙනවාට වඩා, සාමාන්‍ය මිනිසුන් මුහුණදීම වෙනස්. කිසිම විශේෂ හැකියාවක් නැති සාමාන්‍ය අය, බියෙන් ගොඩනැගිල්ලක සැඟවී සිටින හැටි දකින්නට ලැබෙන්නේ අඩුවෙන්.


මේ කතාවේ රාක්ෂයන්ට එරෙහිව සටන් කරමින්, රාක්ෂයන් මරමින් ජීවිත රැකගන්න පිරිසක් වෙනුවට, බියෙන් සහ අවිනිශ්චිත හැඟීමන් ගොඩනැගිල්ලක ගුලි වී ඉන්න මිනිසුන්ට ටිකක් හමු වෙනවා. ක්‍රියාදාම දර්ශනවලට වඩා කතාවේ එන්නේ ඒ ඒ මිනිසුන් අතර සම්බන්ධතා ගැන. ඔවුන්ගේ ගති ලක්ෂණ ගැන. මනුෂ්‍යත්වය ගැන.


මේ කතාව සිහිපත් කරන්නේ 2006 සිට ඇමෙරිකාවේ තිරගත වූ ලොස්ට් කතා මාලාව. එහි තිබුණේ දූපතක සිර වු මිනිසුන් පිරිසකගේ කතාවක්. එහෙත්, ඒ දූපතේ පසුබිම් කතා, වීර ක්‍රියා සහ ක්‍රියාදාම වෙනුවට වැඩි අවදානයක් යොමු කළේ ඒ චරිත ඇතුළට කිඳා බහින්නට. මනුෂ්‍යත්වය ගැන කතා කරන්නට. අසීරු තත්වයකට තල්ලු වූ මිනිසුන් ගන්නා තීන්දු තීරණ විමසන්නට.


ස්වීට් හෝම් කතා මාලාව අයත් වන්නේ ඒ කලාපයට. එකිනෙකට වෙනස් පෞද්ගලික ප්‍රශ්නවලට මුහුණදෙන පිරිසක්, එළියේ සිටින රාක්ෂයන්ගෙන් ආරක්ෂා වෙන්නට තමන්ගේම විශ්වාසයන් අනුව හිතන හැටි. ඇතැමුන් ආත්මාර්ථකාමී වෙද්දී, තවත් අය පරාර්ථකාමී වෙන හැටි. අනෙක් අයගේ ජීවිත ගැන කල්පනා කරන අයත්, තම ජීවිතය ගැන පමණක් හිතන අයත්, තමන්ගේ ජීවිතය නොතකන අයත් එකතු වී එකිනෙකාට උදව් කරන හැටි එහි එනවා.