කොරෝනාවලට අලුත්ම බෙහෙත බල්ලොන්ට දෙන පණු බෙහෙතක්ලු! සී නිව්ස් ගහපු, දාස් ගාණක් බලපු ප්‍රවෘත්තියේ ඇත්තම කතාව!

බල්ලන්ටයි, අස්පයන්ටයි දෙන බෙහෙතක් කොවිඩ් සනීප කරන්න හොඳයි කියලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක දංගල්ල කීවා කියල කතාවක් ලංකා සී නිව්ස් එකේ පුවතක් විදියට පළ වෙලා තිබුණා. අපි දන්නේ නැහැ මේ ප්‍රවෘත්තිය වෙනත් මොන මොන තැන්වල පළ වුණාද කියලා.

කොහොමහරි මේ වගේ ප්‍රවෘත්ති භයානක නිසා අපි පොඩ්ඩක් ගවේෂණය කළා ඇත්ත කතාව මොකක්ද කියලා දැනගන්නට. අපට දැනගන්න ලැබුණේ මේ වගේ ප්‍රවෘත්තියක් දාලා සී නිව්ස් එක මාරාන්තික වරදක් කරල තියෙන බව.

අපට වෙන මූලාශ්‍රයක් හොයාගන්න බැරි වුණා. අනෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්නේ මහාචාර්ය දංගල්ල නෙවෙයි, මහාචාර්ය අශෝක දංගොල්ල. එතුමා මහනුවර ඇසළ පෙරහැර සම්බන්ධවත් ක්‍රියා කරන කෙනෙක්. කාලයක් තිස්සේ මාධ්‍යවලට හෙම අලිඇතුන් ගැනත්, වෙනත් සතුන් ගැනත් එතුමා අදහස් දක්වලා තියෙනවා.

මේ සී නිව්ස් කතාව ඇත්තටම එතුමා කිව්ව එකක්ද, නැත්නම් එතුමාගෙ නමත් ගැටගහලා බිස්නස් අරමුණකින් ගැලපුව කතාවක්ද කියල අපි දන්නෙ නෑ. අපි මහාචාර්ය දංගොල්ල සම්බන්ධ කරගන්න උත්සාහ කළත් බැරි වුණා.

ලංකා සී නිව්ස් එකේ දාලා තිබුණ සම්පූර්ණ ප්‍රවෘත්තිය මේකයි. ඇත්ත කතාව කියන්න කලින්, ඒ ප්‍රවෘත්තිය දැනගන්න.

‘සුරතල් සතුන්ගේ පණු අමාරුව සඳහා භාවිතා කරන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධයකින් කොරෝනා රෝගීන් සුවපත් කිරීම සඳහා වඩාත් සුදුසු යැයි ඉතා වගකීමෙන් ප්‍රකාශ කන්නේ ඇයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගල්ල මහතා කියා සිටියිත.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුකර එම බෙහෙත කොරෝනා ආසාදිතයනට ලබාදීමට පියවර ගන්නයි තමා අදාළ සෞඛ්‍ය බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

1975දී පමණ නිෂ්පාදනය ආරම්භ කර තිබෙන මෙම ඖෂධය සතුන්ගේ පණු අමාරුවට අමතරව මිනිසුන්ට වැළඳෙන වෛරස් රෝග සුවපත් කිරීම සඳහා ඇමරිකාව, බංග්ලාදේශය හා අප්‍රිකානු රටවල වසර ගත් 10ක පමණ කාලයක් තිස්සේ භාවිතා කරන බව ද ඔහු කියා සිටී.

දැනටමත් ඇතැම් වෛද්‍යවරුන් විසින් මෙම ඖෂධය කොරෝනා රෝගීන් සඳහා සුදුසු බව ලිපි මගින් පෙන්වා දී ඇති බව ද ඔහු පැවසීය.

නම් මෙම බෙහෙත් පෙත්තක මිල රුපියල් සියයක් පමණ වන බවත් කොරෝනා වෛරසය මෙරටට පැමිණීමට පෙර මාසයකට මෙවැනි පෙති 1000ක් පමණ අලෙවි වුවද අද වන විට එම 30000ක් පමණ මාසයකට අලවි වන බව ද ඔහු කියා සිටී.

කොරෝනා ආසාදිත පුද්ගලයෙකු වූ මෙම පෙති තුනක් එක් දිනකට ගැනීමෙන් රෝගය සුවපත් වන බවත් දැඩි සත්කාර ඒකක වෙත ඇතුළු කිරීමේ ප්‍රවණතාවය ස්ථිර වශයෙන්ම අඩුවන බවත් ඇමරිකාවේ විශේෂඥයන් විසින් පර්යේෂණ කර සොයාගෙන ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.’

අපි මීට කලිනුත් කිව්වා විද්‍යාඥ කෝට් එක දාපු ගමන් යමෙක් කියන දෙයක් විශ්වාස කරන්න හොඳ නැහැ. විද්‍යාව කියන එක පාවිච්චි කරමින් මිත්‍යා මත ප්‍රචාරය කිරීමත් දැන් ට්‍රෙන්ඩ් එකක්. ඒත්, විද්‍යාව කියන්නේ ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය ගැන අවබෝධයෙනුයි අපි වැඩ කරන්න ඕනෑ.

පොයින්ට් එක මේකයි. සී නිව්ස් ප්‍රවෘත්තිය අපි බලනකොටත් තිස්දාහක් විතර කියවලා. දැං ඉතින් අර බලු බෙහෙත මිනිස්සු බොන්න පටන්ගනීවිද කියන එක බය හිතෙන කාරණයක්.

ප්‍රවෘත්තියේ තිබුණේ මේ බෙහෙත සාර්ථක බව ඇමෙරිකාවෙ ‘විශේෂඥයො කිව්වා’ කියලා.

ඒත්, ඇමෙරිකාවේ බෙහෙත් වර්ග අනුමත කරන අංක එකේ විද්‍යාඥයන්ගේ ආයතනය තමයි එෆ්ඩීඒ එක.

ඒ ආයතනය අගෝස්තු 21 වැනිදා ට්වීට් එකක් දාලා තිබුණා. ඒක සරලයි, පැහැදිලියි. ‘උඹ අස්පයෙක් නෙවෙයි, එළදෙනක් නෙවෙයි. සීරියස්ලි. නවත්තපල්ලා ඕක.’

ඇමෙරිකාවේ එෆ්ඩීඒ හෙවත් ආහාර සහ ඖෂධ අධිකාරිය මේ ගැන විශේෂයෙන් අනතුරු හඟවලා ලිපියකුත් තමන්ගෙ වෙබ අඩවියේ දාලා තිබුණා. මේ කියන බෙහෙත ගත්තොත් සිද්ධවෙන්න පුලුවන් අනතුරු ගැන.

ඒ ලිපිය පහත ලින්ක් එකෙන් කියවන්න පුළුවන්.

https://www.fda.gov/consumers/consumer-updates/why-you-should-not-use-ivermectin-treat-or-prevent-covid-19

ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය 2021 මාර්තු මාසයේ ලිපියක් දාලා තියෙනවා ඉන්වර්මෙක්ටින් පාවිච්චි කරන්න පුළුවන් ක්ලිනිකල් ට්‍රයල්වලටම විතරයි කියලා. මොකද, ඒක මිනිසුන්ට හිතකරද කියල තහවුරු වෙලා නෑ. කොවිඩ්වලට ඒක හොඳයි කියල මතයක් තිබුණ නිසා ඒ ගැන පරීක්ෂා කරන්න විතරයි පාවිච්චියට අවසර දුන්නේ.

https://www.who.int/news-room/feature-stories/detail/who-advises-that-ivermectin-only-be-used-to-treat-covid-19-within-clinical-trials

කොහොම වුණත්, මේක ක්ලිනිකල් ට්‍රයල්වලට ගන්න කිව්ව ගමන් දන්නවනෙ අපේ කට්ටිය. අපේ කට්ටිය කිව්වෙ ලංකාවෙම නෙවෙයි, ඇමෙරිකාවෙත් ඉන්නව ලංකාවෙ ජාතියෙම ළිංමැඩි මිනිස්සු. ක්ලිනිකල් ට්‍රයල් යන්නෙ බඩු ෂුවර් නිසා කියල ‘ෆොක්ස් නිව්ස්’ ඇතුළු ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ඉඳන්, පොඩි පොඩි වෙබ් අඩවි දක්වා තැන්වල මේ බෙහෙත ප්‍රමෝට් කරපු ලිපි ආදිය පළ වුණා.

මිනිස්සු මේක ගන්න පටන්ගත්තා, මිල ඉහළ ගියා. ඔය ට්‍රෙන්ඩ් එක නිසා තමයි විද්‍යාඥයන්ටයි, ආයතනවලටයි තමන් කරන වෙන වැඩ නවත්තලා මේ පිස්සුවලට උත්තර බඳින්න සිද්ධවෙලා තියෙන්නෙ.

පහුගිය සතියක් තිස්සේ එෆ්ඩීඒ එක ඇතුළු සෞඛ්‍ය විශේෂඥයන් නැවත කියල තියෙනවා මේක පාවිච්චි කරන්න එපා කියලා. යූඑස්ඒ ටුඩේ, වොෂිංටන් පෝස්ට්, නිව්යෝක් ටයිම්ස්, ඒබීසී නිව්ස් ආදී ප්‍රවෘත්ති ආයතන ගොඩක් මේ බෙහෙත පාවිච්චි කරන්න එපා කියලා ප්‍රවෘත්ති පළ කරමින් කියා තියෙනවා.

ආතල්ම කෑල්ල තමයි මේ බෙහෙත ප්‍රමෝට් කරපු සමහර අය කියල තිබුණේ එෆ්ඩීඒ එක මේ බෙහෙතට අනුමැතිය දුන්න කියලයි. ඒත්, ඒ කතාවෙන් බාගයයි ඇත්ත. ඒ ආයතනය අනුමැතිය දුන්න තමයි සත්තුන්ට මේක දෙන්න. මිනිසුන්ට දෙන්න අනුමැතියක් නෑ.

ඕනෑ කුණුගොඩක් අගමුල හොයන්නැතුව ප්‍රවෘත්ති බවට හරවන මිනිස්සු ලංකාවෙ ඉන්නවා. අපිත් තව තැනක තියෙන කරුණක් උපුටලා අරන් ප්‍රවෘත්ති පළ කරනවා තමයි. ඒත්, කිසි අගමුලක් හොයන්නෙ නැතිව විචාර බුද්ධියක් නැතිව ප්‍රවෘත්ති බවට හරවන්න ලෑස්ති නෑ අපි.

දැන් සී නිව්ස් එක අඩු තරමේ ගූගල් සර්ච් එකක් දාලා මේ බෙහෙත ගැන කියවන්නෙත් නැතිව, මහාචාර්ය කෙනෙක් කිව්ව කියල ප්‍රවෘත්ති දැමීම කොච්චර භයානක වෙන්න පුළුවන්ද?

අපි කලින් කීව විශේෂඥ වාර්තා අනුව මේ බෙහෙත බොන එක මාරාන්තික වෙන්නත් ඉඩ තියෙනවා. වැඩිපුර පාවිච්චි කළොත් ඇඟට අහිතකරයි.

මතක තියාගන්න. මේ වෙද්දී වසංගතයට උත්තරේ එන්නත බව ඔප්පු වෙලා ඉවරයි. අපි මෙතැන ඒ ගැන කරුණු සාධක එක්ක පැහැදිලි කරන්න උත්සාහ ගන්නේ නැහැ. හෙමිහිට එහෙම ලිපියකුත් ලියන්නම ඕනෑ.

සමහරු ‘එන්නත අසාර්ථක බව ඔප්පු වෙලා ඉවරයි, බලන්නකො අහවල් රටවල පැතිරෙන තරම’ වගේ කතා කිව්වට ඒ රටවල පවා සන්දර්භය වෙනස්. ඒ වගේම එන්නත ගහන කෙනෙක්ට අනිවාර්යයෙන් හැදෙන්නෑ කියල එකකුත් නෑ.

සරලව කිව්වොත් කතාව මෙච්චරයි. ‘මං එන්නත ගත්තා. ඒත් මට කොවිඩ් හැදුණා.’ කියන එක්කෙනෙක්ගෙ කතාව ප්‍රවෘත්තියක් වෙනවා. ඒත් ‘මම එන්නත ගත්තා. ඒ නිසා මට හැදුණෙ නෑ කියන ලක්ෂ ගාණකගෙ කතන්දර ප්‍රවෘත්ති වෙන්නෙ නෑ. නිකමට හිතන්න, ලොකු ප්‍රවෘත්ති චැනල් එකක් කැමරා උස්සගෙන දුවගෙන ගිහින් එන්නත ගහගෙන ගේ ඇතුළෙ සෞඛ්‍යාරක්ෂිතව සුවයෙන් ඉන්න කෙනෙක්ව ප්‍රවෘත්තියකට ගන්නෙ නෑනේ.

එන්නත මහා පරිමාණයෙන් ආසාදනය අඩු කරන්න හා මරණ අඩු කරන්න එන්නත ඉවහල් වෙලා තියෙනවා. ඒ ඔප්පු වෙච්ච නිසා තමයි මෙච්චර මිත්‍යාව පස්සෙ යන ආණ්ඩුව පවා අද එන්නත පිටිපස්සෙ යන්නෙ.

ඒ මගුල තියෙද්දී දැං බොරුවට විවිධාකාර බොරු කතන්දර ප්‍රමෝට් කරන්න අවශ්‍ය නැහැ.