ලෝක විනාසය එක්සත් ජාතීන්ගේ අලුත්ම වාර්තාවෙන් තහවුරුයි!

LONDON, ENGLAND - FEBRUARY 14: Teenage Climate Crisis activists from various climate activism groups protesting in Westminster during the first UK Students Strike Over Climate Change march of 2020 on February 14, 2020 in London, England. The school strike for the climate (Skolstrejk for klimatet) is a global movement of school students taking days off school during term times on Fridays to participate in demonstrations in cities demanding climate action from political leaders. The movement was born when Swedish schoolgirl Greta Thunberg spent August 2018 protesting outside the Swedish Riksdag parliament building and has spread globally. (Photo by Ollie Millington/Getty Images)

මේ වෙද්දී ඉන්ටර්ගවර්මෙන්ටල් පැනල් ඔන් ක්ලයිමේට් චේන්ජ් හෙවත් අයිපීසීසී ගැනත්, ඔවුන්ගේ අලුත්ම ඩූම්ස්ඩේ රිපෝට් හෙවත් ලෝක විනාසය ගැන වාර්තාව පිළිබඳ ඔබ දන්නේ නැත්නම්, ඔබට සීරියස් මඟහැරීමක් සිද්ධවෙලා තියෙනවා. ඔබ ඒ පැනල් එකේ හයවැනි වාර්තාව හෙවත් කෝඩ් රෙඩ් වාර්තාව ගැන දැනගන්නම ඕනෑ.

මේ ඇවිල්ලා බාබ වැන්ගා හෝ නොස්ත්‍රඩාමුස් අනාවැකි වගේ මිනිස්සුන්ගෙ කාලෙ කන්න වටින, කවි බාග, හෙණ ගේමක් දීලා අනාවැකියයි ඇත්ත සිද්ධියයං සම්බන්ධ කරන්න සිද්ධවෙන කතන්දර නෙවෙයි. කොරෝනා වසංගතේ ගැන අනාවැකිය කිව්ව වගේ, මේ අනාවැකියත් විද්‍යාඥයො තිතට කියල තියෙනවා. වෙන දේ, වෙන විදිය හරියටම කියල තියෙනවා.

දේශගුණ විපර්යාස ගැන අන්තර් ආණ්ඩු පැනලය කියන සිංහල නමෙන් මේ ආයතන හඳුන්වන්න පුළුවන්.

අපි මේකෙදී කියන්නම් ඒ වාර්තාවෙන් තිතටම සඳහන් කරපු කරුණු පහක්. අපි වාර්තාව ගැන අයිපීසීසී වෙබ් එකෙන් කරුණු ගත්තා. ඊට පස්සේ ඒවා පෙළගැස්සුවේ ගාඩියන් සහ බීබීසී ආයතනවල මාධ්‍ය වාර්තා ඇසුරෙන්. ඒ මාධ්‍යවලට විද්‍යාඥයො කතා කරලා කියපුවා තමයි අපි උපුටා දක්වන්නේ.

අංක 1 – අනුමාන කරපු කාලෙ ඉවරයි.

මේ වාර්තාව කලින් ආපු වාර්තා ඔක්කොටම වඩා දරුණුයි. මෙතෙක් කාලයක් විද්‍යාඥයො කිය කියා හිටියෙ, පුතාලා පරෙස්සමෙන්. වැඩේ දරුණු වේගෙන එනවා. තව මෙච්චර කාලයක් ඇතුළෙ මේ ටික නොකළොත් ලොකු ලෙඩක් වෙන්න පුළුවන්, අපි හරියටම දන්නෙ නෑ ලෙඩේ මොකක්ද කියල. එත් ලෙඩක් වගේ කතන්දර.

ඒත් මෙදා එහෙම නෑ. යුනිවර්සිටි කොලේජ් ඔෆ් ලන්ඩන් ආයතනයේ මහාචාර්ය ආතර් පීටර්සන් තත්වය ලස්සනට ගොනු කරලා තිබුණා.

‘මේකෙන් චෝදනා, අනුමාන නෑ. බෑන්ග් බෑන්ග් බෑන්ග්! ඉලක්කෙට තියලා.’

මේ රිපෝට් එක ගැන කතා කරන රීඩින් විශ්වවිද්‍යාලයේ කාලගුණ විද්‍යාඥ කීත් ෂයින් පෙන්නනවා අපිසීසී පැනල් එකේ කලින් රිපෝට්වල ඉඳන් මේක දක්වා වෙනස. ‘මම 1990 දී අපිසීසී එකේ පළවැනිම අධ්‍යනයට විශාල වශයෙන් සම්බන්ධ වුණා. අපට එදා හරියට ෂුවර් එකක්වත් තිබුණෙ නෑ මනුෂ්‍ය ක්‍රියාකාරකම් දේශගුණ විපර්යාසවලට බලපානවාද කියලා. ඒත් මේ පාර රිපෝට් එක කියන්නේ කරුණු සියල්ල ඉතා තහවුරු බව. ඒ කියන්නේ තීන්දු ගන්න උදවියට හැංගෙන්න තැනක් නෑ මෙදා පාර.’

ඒ කිව්වෙ මෙහෙමයි.

අයියෝ! තවත් විද්‍යාඥයන්ගෙ රිපෝට් එකක්. ඔව් ඔව්! අපි දන්නව. ලෝකෙ ටිකක් අවුල් තමයි. දේශගුණ විපර්යාස කියල පොඩි සීන් එකක් තියෙනව තමයි. ඕක එන්නෙ අපි මැරුණටත් පස්සෙ තව අවුරුදු ගාණකින්නෙ! අපි මොකටද කලබල වෙන්නේ.

සමහරු එහෙම හිතයි.

නෑ! අලුත්ම වාර්තාව ඒ සම්පූර්ණ සංකල්ප ඔක්කොම ඉවර කරනවා. කලින් තිබුණෙ සීයට අසූවක් අනූවක් ෂුවර්. මෙහෙම වෙන්න ඉඩ තියෙනවා වගේ දේවල්. එදා අවුල දැනගෙන හිටියා. ඒත්, සිද්ධවෙන දේ දැනගෙන හිටියෙ නෑ.

මෙදා තිතට කියා තියෙනවා. සරලව කිව්වොත් මේ ගැන පර්යේෂණ කරන ලෝකෙ අංක එකේ විශ්වවිද්‍යාල, විද්‍යාඥයන් කරපු පර්යේෂණ තොගයක දත්ත අරන් ඒවායේ කරුණු මත අවසාන නිශ්චිත ප්‍රකාශනයක් හදල තියෙන්නෙ.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටිම් පාමර් මේ වාර්තාව ගැන මෙහෙම කියනවා. ‘අපේ අනාගත දේශගුණය බොහෝදුරට එක්තරා අපායක් වෙනවා.’

එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඩේව් රේ මෙහෙම කියනවා. ‘අන්තිමට ආවෙ තවත් එක විද්‍යාඥයන්ගේ රිපෝට් එකක් නෙවෙයි. මේක අපායයි මහා ජලගැලුමකුයි ගැන පැහැදිලි අනාවැකියක්.’

බේසිකලි!

වාර්තාවෙන් කෙළින්ම කෝඩ් රෙඩ් කියලා! තොපි ඉවරයි! පුහ්!

තවදුරටත් අනුමාන නැහැ. නිශ්චිතව වෙන්න යන දේ විද්‍යාඥයො කියල තියෙනවා.

අපිසීසී වාර්තාව එක්ක කිව්වොත්, සරලව සිද්ධවුණේ මේකයි. කාර්මික විප්ලවේ එහෙම අහවර වෙලා කර්මාන්තශාලාවලින් සහ සල්ලි හොයන ලොකු ලොකු කම්පැණිවලින් පිරිච්ච ධනවාදී ලෝකෙ හැදුණට පස්සෙ. ඒ කියන්නේ 1850 අවුරුද්දෙන් පස්සේ මිනිස්සු කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලින 2400ක් විතර වායුගෝලෙට මුදාහැරල තියෙනවා.

ඒක, ඊට කලින් අවුරුදු මිලියන 2ක් තිස්සේ මේ ලෝකෙට මුදාහැරපු ප්‍රමාණයට සමානයි.

1950 අවුරුද්දෙන් පස්සේ හීට්වේව්ස් සහ දැවැන්ත ගංවතුර එන වර්ෂාවන් එන්න එන්නම දරුණු වෙලා. දැන් තත්වය තවත් දරුණුයි. තව ඉතා කෙටි කාලයක් ඇතුළෙ වැස්සක් හරි, රස්නෙ කාලයක් හරි කියන්නේ හරි ආරස්සාවක් නැති දුප්පත් මිනිස්සුන්ට කෙළින්ම මරණ වරෙන්තුවක්.

1970න් පස්සේ හරිකේන් සහ ටයිපූන් සංඛ්‍යාව සීයට 70කින් විතර වැඩි වෙලා.

නැගෙනහිර ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ක්‍රොනි ක්වෙරෙ කියන්නේ, මෙච්චර වුණාට පස්සෙත් දේශගුණ විපර්යාසෙ ඇත්ත කියන්න සාක්ෂි හොයන අය ඉන්නවන මෙන්න. මේ රිපෝට් එක ඒ බවට සහතිකයක් කියල.

අංක 2 – සෙල්සියස් අංශක 1.5 කියන්නේ කෙළින්ම ලයිෆ් සපෝට් ලෙවල් එක.

මීට කලින් ලෝක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට අඩුවෙන් තියාගන්න ඕනෑ එක සරල ඉලක්කයක් වුණා. 2013, 2015 සහ 2018 වාර්තාවලත් ඒ ලිමිට් එකට අඩුවෙන් ඉන්න ඕනෑ කියල තිබුණා. ඒත් මෙදා පාර ඔවුන් පෙන්නලා තියෙනවා ලෝක උෂ්ණත්වය 1.5 පැන්නොත් අපේ රටවල අපි එදිනෙදා විඳින දේශගුණය අන්තිම දරුණු වෙලා දේව කෝපයක් වගේ පේන්න ගනීවි.

මෑත අවුරුදු කිහිපය ඇතුළේ එන්න එන්නම ‘ෂුහ්! රස්නෙයි කියල’ පවන් ගහගන්න, ෆෑන් එකක් දාගන්න පුරුදු ඔබට වැඩි වුණා නේද. පෞද්ගලිකව මේ කෙටි ජීවිත කාලෙ අපට නං එදිනෙදා රස්නය වැඩි වෙන බව හොඳට දැනෙනවා.

ඒත් අද රස්නෙයි කියන එක මොකක්ද කියල ඔබට හිතෙනවා හෙට. මොකද, මේ රස්නය කියන්නේ ‘මාර කූල්’ කියල හිතෙන තරමට උණුසුම වැඩිවෙන්න නියමිතයි කලින් කී වාර්තාව අනුව.

ගංවතුර වගේම දැවැන්ත ලැව්ගිනි වැඩිවේවි. අපි කතා කරන මොහොතේත් ලෝකෙ තැන් කිහිපයකම තියෙනවා ඉතිහාසයේ කවදාවත් නොතිබුණු තරම් දරුණු ස්වාභාවික උවදුරු.

මේ 21 වැනි ශත වර්ෂය ඉවරවෙද්දී කොහොමත් ලෝකෙ ඩවුන්. කිසිදෙයක් නොකළොත්.

බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජොනතන් බැම්බර්. මේ රිපෝට් එකේ තවත් සම රචකයෙක්. ඔහු කියා තිබුණේ ‘ඒක සෑහෙන දිග කාලයක් වගේ හිතෙයි. ඒත්, මේ මොහොතෙත් අපි හැමෝටම දරුවෝ ඉපදෙනවා 22 වැනි සියවසේ එළිය දකින්න ඕනෑ. ඒ සියවස වෙනතුරු ජීවත්වෙන්න ඕනෑ දරුවෝ.’

අනෙක, මේ සියවස ඉවරවෙද්දී මනුෂ්‍ය ශිෂ්ඨාචාරය ඉවරවෙන සයිස් එකට තත්වෙ දරුණුයි කිව්ව ගමන් හෑල්ලු සුසුමක් පිට කරන්න එපා, ‘අපට අවුලක් වෙන්න නෑ’ කියලා. මොකද, අපි කලිනුත් කිව්ව වගේ අවසානය එන්නෙ සියවසේ අග වුණාට තව අවුරුදු කිහිපයක් ඇතුළේ අවසානයේ ආරම්භය එනවා.

ඒ කියන්නෙ ලෝක විනාසෙ කියන්නෙ අර 2012, ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ වගේ චිත්‍රපටිවල තියෙනව වගේ එකපාර මහ ගංවතුරක් ඇවිල්ල සිද්ධවෙන එකක් නෙවෙයි. පොඩි තැනින් තැන තැනින් තැන යටවෙලා ටිකෙන් ටික තමයි ලෝකෙ විනාස වෙන්නෙ. ඉතින්, වතුර මට්ටම උඩ යද්දී මුලින්ම විනාස වෙන්නෙ අපි වගේ පුංචි දූපත්.

අංක 3 – නරක ප්‍රවෘත්තිය, අපි මොනව කළත් මුහුදු මට්ටම දිගටම වැඩි වෙනවා.

මීට කලින් අපීසීසී වාර්තාවල මුහුදු මට්ටම ඉහළ යෑම ගැන පැහැදිලි, ප්‍රමාණවත් කාරණා තිබුණේ නැහැ. ග්‍රීන්ලන්තෙ සහ ඇන්ටාර්ටිකාවෙ අයිස් තට්ටු දියවෙනවා කිය කියා හිටියත්, ඒකේ බලපෑම හරියට තිබුණේ නෑ.

ඒත් මෙදා පාර ඒක වෙනස්.

ඔවුන් පෙන්වනවා දැන් වැඩිවෙන තරම අනුව මේ ශතවර්ශය ඉවරවෙද්දී මීටර් දෙකකින් මුහුදු මට්ටම ඉහළ යනවා, 2150 වෙද්දී මීටර් 5කින් ඉහළ යනවා කියලා.

මේ වාර්තාව අනුව ගෝලීය උෂ්ණත්වය 1.5ට අඩුවෙන් තියාගත්තත් මුහුදු මට්ටම ඉහළ යෑම නතර වෙන්නෙ නෑ. නිකමට අනුමාන කරන්න, බීච් එකක හිටගෙන ඉඳලා මේ වතුර මට්ටම එක මීටරයකින් උඩ ගියොත් කොච්චර යට වේවිද කියලා.

අංක 4- හොඳ ප්‍රවෘත්තිය. විද්‍යාඥයන්ට දැන් පැහැදිලි අවබෝධයක් තියෙනවා මොනව කළොත්ද ගොඩ යන්නේ කියලා.

ඔවුන් දැන් තහවුරු කරනවා අපේ දේශගුණය කාබන්ඩයොක්සයිඩ්වලින් අවුල් වෙන බව පැහැදිලිව. ඒක කොච්චර බලපානවාද කියන එක මේකෙදී පැහැදිලිව පෙන්වනවා. ඒ අනුව අපි දැන් පුච්චන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය එක්ක යන්න පුළුවන් තැන ඔවුන් නිශ්චිතව කියද්දී, ඒකෙන් බේරෙන්න නම් කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරන්න ඕනෑ විදියත් ඔවුන් කියනවා. මේ රිපෝට් එකේදී ලෝකෙ පාලකයන්ට දෙන උපදෙස් මාලාවේ ඔවුන් ඒක සඳහන් කරනවා. ඊට අමතරව මේ වාර්තාවේ ලොකු සප්‍රයිස් එකක් බව කියන්නේ මීතේන් වායුව ගැන ඔවුන් කරපු සඳහන් කිරීම්. දැනට වැඩි වෙන උෂ්ණත්වය සඳහා දශම තුනක විතර බලපෑමක් කරන්නේ මීතේන් වායුව. ඊට අමතරව තෙල්, ගෑස්, කෘෂිකර්මාන්ත සහ අනෙකුත් කර්මාන්ත ආදියෙන් පිටකරන වායූන් ප්‍රමාණය ගැනත් ඔවුන් ඇස්තමේන්තු හදලා.

ක්ෂණිකව ෆොසිල ඉන්ධන පාවිච්චිය අඩු කරලා, කාබන්ඩයොක්සයිඩ් රිලීස් කරන එක මහා පරිමාණෙන් අඩු කළොත් තමයි ගැලවෙන්න තියෙන්නෙ.

දැන්ම නොකළොත් ආයේ චාන්ස් නෑ! මේ ලෝකය විශ්වයේ දියුණු ශිෂ්ඨාචාරයක් හිමි ලෝකයක් කියන තැනින් අතුගෑවේවි. මනුෂ්‍ය වර්ගයා සම්පූර්ණයෙන් වගේ විනාස වේවි. අවතැන් වෙච්ච සුළු පිරිසක් ජීවිතේ බේරාගනීවි.

ඒත් ඒක වෙන දෙයක් නෙවෙයි. මේ මුළු ලෝකෙටම වඩා පෙට්‍රෝලියම් කම්පැණි ටික ලොකුයි ගොඩක් අයට. ඒ නිසා මේක ලොකුම ලොකු දේශපාලන ප්‍රශ්නයක්. ලෝකෙ සල්ලි හූරං කන මහා ධනපතියන් පොඩි පිරිසකගේ වුවමනාද, නැත්නම් මුළු ලෝකෙම ආරක්ෂාවද කියන මාතෘකා දෙක අතර දෝලනය වෙන ප්‍රශ්නයක්.

05 – දේශපාලනඥයන් කලබල වේවි. උසාවි කාර්යබහුල වේවි.

මේ ඔක්කොම කතාව එනවා ග්ලාස්ගෝවලට. කොප්26 කියල මගුලක් තියෙනවා.

මේ මගුල ඇවිල්ලා එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව. මේ රැස්වීම් මාලාවේ 26 වැනි රැස්වීම තමයි ග්ලාස්ගෝවල මේ අවුරුද්දේ නොවැම්බර් 1 ඉඳන් 12 වෙනතුරු තියෙන්නෙ. මේ රිපෝට් එක ආවේ කෝප්26 සමුළුවට මාසෙකට කලින්.

සමුළුවේදී ලෝකෙ නායකයන්ට එකතුවෙලා හරි තීන්දුවක් ගන්න පුළුවන් වේවිද? විනාසය නවත්වන්න පුළුවන් වේවිද?

ෂුවර් නෑ.

ලෝක විනාසෙටත් දේශපාලනයක් තියෙනවා.

ඒ නිසා ලෝකෙම දේශපාලුවෝ කරන දේ ගැන තියෙන්නේ සැකයක් සහ අපැහැදිලිතාවක්. මෙතෙක් කාලයක් මනුෂ්‍ය වර්ගයා ගත් අත්තනෝමතික සහ අමනෝඥ තීන්දුවල ප්‍රතිඵලයක් විදියටයි අප අද මෙතැන ඉන්නේ. දැන්වත් වරද තේරුම් ගෙන කටයුතු කරයිද කියන එක සැකයක්.

මේ අයිපීසීසී වාර්තාවේ අනෙක් වැදගත් කෑල්ල මොකක්ද දන්නවද? මේක හදපු විද්‍යාඥයන් විතරක් නෙවෙයි මේක පිළිගන්නේ. මේකට අදාල කමිටුවේ ඉන්න විවිධාකාර ආණ්ඩුවල නියෝජිතයො ටිකක් ඒකමතිකව මේක පිළිගන්නවා. ඉක්මනින් තීන්දු ගන්න ඕනෑ බව කියනවා. මේ වෙද්දී ඔවුන්ටත් ඒත්තු ගිහින් හමාරයි තත්වෙ බරපතලකම.

බ්‍රිතාන්‍ය දේශගුණ විපර්යාස කමිටුවේ සභාපති තමයි ඩෙබන් සාමිවරයා. ඔහු මෙහෙ කියා තිබුණා. ‘මේ කමිටුවේ අය දකිනවා ග්‍රීන්හවුස් ගෑස් (එහෙම නැත්නම් හරිතාගාර වායු) පිට කරන එක සහ ලැව්ගිණි, ගංවතුර වගේම අනෙක් දරුණු ස්වාභාවික අනතුරු අතර සම්බන්ධයක් තියෙන බව.

ඇත්තටම කීවොත් මේ වගේ දෙයකදී මුලින්ම පියවර ගන්න ඕනෑ පිරිස වන ලෝකයේ දියුණුයි කියන බලවත් රටවල් තාම ඉන්නෙ පිටිපස්සෙ. උදාහරණයක් විදියට එක්සත් රාජධානිය තවම ට්‍රැක් එකේ නෑ. 2035 වෙද්දී සීයට 78කින් කාබන් අපහරණය අඩු කරන්න කියන ඉලක්කයට යන්න බැරි බව තමයි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ බ්‍රිතාන්‍ය රාජකීය ඇකඩමියේ අධ්‍යක්ෂ නික් ස්ටාර්කේ කියා තිබුණේ.

මේ මාතෘකාව තමයි ඊළඟ අවුරුදු 30ක විතර කාලෙ ඇතුළෙ මනුෂ්‍ය වර්ගයා කරන්න ඕනෑ අංක එකේ වැඩේ. ඒක නොකළොත් ඉන්පස්සේ කරන්න කියල දෙයක් ඉතිරි වෙන්නෙ නෑ. ඉන්පස්සෙ පරක්කු වැඩියි.

කලින් කිව්ව දේශගුණ සමුළුවට රටවල් 199කින් නියෝජිතයන් එනවා. ඒකෙදී අලුත් සම්මුතීන් සහ එකඟතා හැදේවි.

ඉතින් අපි හිතන්න ඕන්නෑ ඔය දේශගුණ ප්‍රශ්නෙ ගැන අපට කරන්න දෙයක් නෑ කියලා. නෑ! අපි වගේ රටකට තියෙනවා ලොකු කාර්යභාරයක්. මතක තියාගන්න, දෙවැනි ලෝක යුද්ධෙන් පස්සෙ ‘වෛරයෙන් වෛරය නොසන්සිඳේ’ කියපු ලංකාව ලොකු බලපෑමක් කළා. ඒ ජපානය ගැන ලෝකය ගත්ත තීන්දුවට. නොබැඳි ජාතීන්ගේ සමුළුව හැදුණ කාලෙ ලෝක බලවතුන්ගේ සීතල යුද්ධය ගැන අංක එකේ මැදිහත්වීමක් ලංකාව කළා.

ගොබ්බ, මෝඩ, පටු අදහස් තියෙන නායකයන්ට ලෝක ලීඩර්ෂිප් එකක් ගන්න බැරිවේවි. ඒත් අපේ රට පුංචි වුණත් ඓතිහාසික වශයෙන් නායක පෞරුෂයක් තියෙනවා. ලෝක නායකයන්ගේ ගෞරවය දිනාගෙන මේ ප්‍රශ්නයට ඉස්සරහ දශක කිහිපයේ විසඳුම් හොයද්දී පෙරමුණ ගන්න අපේ රටට පුළුවන්. ඒත් නායකයන්ට මොළේ තියෙන්න එපායැ.

අපි අපේ රටේ දේශපාලනය ගැන කයිය ගහමින් ඉන්න අතරේ ලෝකෙම විනාස වෙලා යන්න ඉඩ තියෙනවා. අපි දන්නවා දැන් ස’ අප්සෙට් කියලා. මුවහමට තඩිබානවා වගේ මේ ආණ්ඩුවට බැණ බැණ ඉඳලත් වැඩක් නෑ. අපි ලෝකයේ සහ ලංකාවේ දේශපාලනය ගැන තියුණු විදියට දකින්න ඕනෑ.

අපේ රටේ පවා දේශගුණය වෙනුවෙන් ලොකු සටනක් හැදෙන්න කාලෙ හරි. යන එන ගමන් දේශගුණය ගැන කතා කරන සංවිධාන තියෙනවා තමයි. ඒත් මීට වඩා වැඩිපුර දේශගුණ අර්බුදය ගැන කතා කරන්න වෙනවා.

විශේෂයෙන් ලංකාවෙ අනූ ගණන්වල ඉඳලම දේශගුණේ ගැන කතා කරපු චම්පික රණවක, කරු පරණවිතාන ප්‍රමුඛ 43 කණ්ඩායම වගේ අය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, වෙනත් විකල්ප දේශපාලන කණ්ඩායම් මේ මාතෘකා ගැන මීට වඩා සංවාදයක් අපේ රටේ ඇති කරන්න ඕනෑ.

‘දේශගුණ විපර්යාස ඔය කියන තරම් නරක වෙන එකක් නැහැ කියන හැඟීමෙන් තවදුරටත් පලක් නෑ. ඒ බව දැන් ඉරහඳ වගේ තහවුරු වෙලා හමාරයි.’ එහෙම කියා තිබුණේ රීඩින් විශ්වවිද්‍යාලයේ වායුගෝලය පිළිබඳ අධ්‍යන ආයතනයේ මහාචාර්ය රෝවන් සටන්. ‘ඒක දැන් සිද්ධවෙමින් තියෙනවා. ඒ වගේම වේගයෙන් සිද්ධවෙමින් තියෙනවා. මේකත් එක්ක ගනුදෙනු කරනවා කියන්නේ අධිවේගයෙන් තීන්දු ගන්න ඕනෑ කියන එක.’

හරි නම් මුළු ලෝකෙම කඩියො ඇවිස්සුණා වගේ මේ වාර්තාව ගැන කියව කියවා, දැනගන්න ඕනෑ ටික දැනගෙන ලෝකෙ බේරගන්න තම තමන්ට පුළුවන් දේවල් කරන්න ඕනෑ.

ඒත් අපේ අය පස්ස පැත්ත ගිනිගනිද්දිත් පාටි දානවනෙ. පේන්නැද්ද, මේ වසංගතේ අවදානම කොච්චර කීවත් එන්නත එනකන්ම පැතිරෙන එක අඩු කරගන්න මිනිසුන්ට බැරි වුණානෙ! ආඬි හත්දෙනාගෙ කැඳහැළිය වගේ අනෙක් උං ලෝකෙ බේරයි, මං ආතල් එකේ ඉන්නව කියල තමයි මුළු ලෝකෙම මිනිසුන් ඉන්නෙ.

දැනට කියන්න තියෙන්නෙ ලෝකෙ ඉවරයි! පිනක් දහමක් කරගන්න කියලා.           

https://www.ipcc.ch/sr15/