ඉදිරිය භයානකයි! -රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ශ්‍රී ලංකාවේ පැතිරෙන කෝවිඩ් වෛරස ප්‍රභේදය ඉතා වේගයෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුටම ආසාදනය දීමේ හැකියාවක් ඇති බවත්, මරණ අනුපාතය ඉහළ යාමක් ඉදිරියේදී ඇති විය හැකි බවත් දරුණු වෛරස් ප්‍රභේද ඇතිවිය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියලා තියෙනවා.

රටේ තියෙන කෝවිඩ් අවදානම ගැන හොඳින් තේරුම් ගෙන කටයුතු කලේ නැත්නම් දිගින් දිගටම රට ලොක්ඩවුන් කරන්න සිද්ධ වෙයි කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියලා තියෙනවා.

මීට අමතරව වසංගත රෝග විද්‍යා ඒකකය වෙත පැවරිලා තියෙන ප්‍රධාන වගකීම් හය කළමනාකරණය කිරීමට අපොහොසත් වීම නිසා කොවිඩ් වසංගතය පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන බවත් අගෝස්තු 24 වෙනිදා මව්බිම පුවත්පතට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියලා තියෙනවා.

අදාළ නිවේදනය

වුහාන් ආරම්භක COVID ප්‍රභේදයේ R0 අගය 2.3 සහ 2.7 අතර විය. ඇල්ෆා ප්‍රභේදයේ R0 අගය 4-5ත් වූ අතර, වර්තමානයේ ශ්‍රී ලංකාවේ පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදයේ R0 අගය 5-8ත් අතර වේ.

(R0 අගය යනු රෝගය වලඳුණු එක් පුද්ගලයකුගෙන් දළ වශයෙන් තවත් නිරෝගී පුද්ගලයින් කීදෙනෙකුට වෛරසය පැතිරී රෝගය වැලඳේ ද යන්න පිළිබඳ විද්‍යාත්මකව නිර්ණය කරන අගයකි.)

වූහාන් ප්‍රභේදයට වඩා ඇල්ෆා ප්‍රභේදය ද, ඉන්පසු ඩෙල්ටා ප්‍රභේදය ඇතිවීමත් සමග සිදුවන මරණ අනුපාතික ඉහළ යෑමක් දැක ගැනීමට හැකි විය.

එමෙන්ම එන්නත් සඳහා දක්වන ප්‍රතිරෝධය වෙෙරස් ප්‍රභේදයේ වෙනස්වීමත් සමඟ ඉහළ යනු දැක ගැනීමට හැකි වේ. එබැවින් අද වනවිට අප එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන රෝගීවූ සහ මරණයට පත් වූවන් ගැන කතා කරන යුගයක් එළඹ ඇත.

මෙම වෛරස් ප්‍රභේදවල දරුණුවීමත් සමඟ පළමු රැල්ලට වඩා දරුණු දෙවන රැල්ලක්ද, දෙවන රැල්ලට වඩා පාලනයට අපහසු වූ තුන්වන රැල්ලකටද, ඊටත් වඩා දරුණු වූ හතරවන රැල්ලකටත් අද වනවිට අපට මුහුණ දීමට සිදුවී ඇත.

අප මෙම අවදානම නිවැරදිව තේරුම් නොගෙන පස්වන රැල්ල සහ ඊළඟ කොවිඩ් ප්‍රභේදයට මුහුණදීමට සූදානම් නොවුවහොත් නැවත නැවතත් රට වසා දමමින් රටේ ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන යුගයක් ඇතිවීම, වැළැක්වීම නොහැකිවේ.