දහස් ගාණක හමුදාවක් ඉන්න තාලිබාන් විරෝධී ඇෆ්ගන් කැරළිකාර කණ්ඩායම! තාලිබාන් විරෝධය පටන්ගන්න නිම්නය

(බීබීසී වාර්තාවක් ඇසුරෙන්)

ඇෆ්ගනිස්ථානයේ පාලන බලය දැන් ඉල්ලාගෙන ඉන්න තාලිබාන් සංවිධානයට විරුද්ධව සටන් කරන්න ලෑස්ති දහස් ගාණක හමුදාවක් තමන් සතු බව කියන ඇෆ්ගනිස්ථායේ විප්ලවකාරී සංවිධානයක් වන ඇෆ්ගන් නැෂනල් රෙසිස්ටන්ස් ෆ්‍රන්ට් හෙවත් එන්ආර්එෆ් ගැන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.

එම සංවිධානයේ විදේශ සම්බන්ධතා අංශයේ ලොක්කා වන අලි නසාරි කියා තිබුණේ සාමකාමී සාකච්ඡා සඳහා පිවිසීමට තමන්ට අවශ්‍ය බව. එහෙත් ඒ සඳහා අසමත් වුණොත් ඕනෑ විදියක සටන්කාමී ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්න ලෑස්තියි කියලත් ඔහු කියා තිබුණා.

කෙසේ වෙතත් මෙයට ප්‍රතිචාර ලෙස තාලිබාන් සංවිධානය එම කන්ඩායම සිටින පන්ජ්ෂිර් ප්‍රදේශයේ පන්ජ්ෂිර් නමින්ම හඳුන්වන නිම්නය වට කරමින් හමුදා කණ්ඩායම් රඳවා ඇති බවත් වාර්තා වෙනවා.

ඇෆ්ගන් අගනුවර වන කාබුල් නුවරට ඊසාන දිගින් පිහිටා ඇති මෙම පන්ජ්ෂිර් ප්‍රදේශය තුළ දැන් ඇෆ්ගනිස්ථාන රජය විදියට පෙනී ඉන්න තාලිබාන් කණ්ඩායම් පෙරමුණට ගමන් කරමින් ඉන්නවාලු. තාලිබාන් සංවිධානය පිහිටවූ ‘ඇෆ්ගන් රජයේ උප ජනාදිපති අම්රුල්ලා සලේ ට්වීට් පණිවිඩයකින්ද කියා තිබුණේ තාලිබාන් සංවිධානයේ දැවැන්ත හමුදා කණ්ඩායම් නිම්නය දොරටුවේ ඉන්න බව.

කෙසේ වෙතත් මේ පන්ජ්ෂිර් ප්‍රදේශය සහ නිම්නය ඓතිහාසික එකක්ලු. ඉතිහාසය පුරා ආක්‍රමණිකයන්ට එරෙහිව සාර්ථකව සටන් මෙහෙයවන්නට නිම්නයේ සිටි සටන්කරුවන් සමත් වුණාලු. 1979 සිට 1989 දක්වා සෝවියට්-ඇෆ්ගන් සටන්වලදීත් මේ නිම්නය වැදගත් සටන් භූමියක් වුණාලු.

ඒ අනුව තාලිබාන්ලාට එරෙහි නැගිටීම පටන්ගන්න තැන පන්ජ්ෂිර් වනු ඇති. අප කියන්නේ නැහැ තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලාගැනීම යහපත් බව. එහෙත්, මෙවැනි සංවිධානයක පාලනය දුර්වල කරන්න පුළුවන් විදේශීය ආක්‍රමණිකයන් ඇවිත් බලෙන් රටේ ඉඳගෙන ඉඳීමෙන් නෙවෙයි. එයින් තව තවත් ඒ සංවිධානවල මතය ශක්තිමත් වෙනවා. රටක් සාර්ථකව පාලනය කරන්න බැරි, පසුගාමී අදහස් ඇති, මර්දනකාරී මෙවැනි පිරිස් බලයට ආවාම, ජනතාව අතරින්මයි නැගිටීම එන්නේ.

පන්ජ්ෂිර්වල තාලිබාන් විරෝධී නැගිටීමක් සංවිධානය වුණොත්, ටිකෙන් ටික ඒ පිරිස්වල සටන් කිරීමේ ශක්තිය වැඩි වේවි.

තරුණ මසූඩ් හමුදා කණ්ඩායම් සමග

මේ එන්ආර්එෆ් නම් ඇෆ්ගන් සංවිධානය ආරම්භ කර තිබුණේ අහ්මඩ් මසූඩ්. ඔහුගේ පියා අහ්මඩ් ෂා මසූඩ්.

ඔය තාත්තා ලෙහෙසි පහසු චරිතයක් නෙවෙයි. මීට කලින් සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරපු වෙලාවේ ඊට විරුද්ධව නැගී හිටපු ඇෆ්ගන් කැරළිකාර හමුදාවේ නායකයෙක්. අතිදක්ෂ ගරිල්ලා කමාන්ඩර්වරයෙක්.

සෝවියට් දේශය එළෙව්වාට පස්සේ ඇෆ්ගනිස්ථානයේ විවිධ කඳවුරු අතර ගැටුම් ඇති වුණාට පස්සේ තමයි තාලිබාන් සංවිධානය බලවත් වෙලා, ඉස්ලාම් අන්තවාදී පාලනයක් හැදුවේ. එයින් පස්සේ තාලිබාන් සංවිධානයට විරුද්ධව අහ්මඩ් ෂා සටන් කළා. එහි ප්‍රතිඵලයක් විදියට 2001 දී ඔහු ඝාතනයට ලක් වුණා.

දැන් නැගී ඉන්නේ ඔහුගේ පුතා.

අප කලින් සඳහන් කළ මේ එන්ආර්එෆ් සංවිධානයේ ප්‍රකාශක නසාරේ බීබීසී රේඩියෝ 4 වෙත අදහස් දක්වා තිබුණා. එහිදී ඔහු කියා තිබුණේ මේ වෙද්දී ඇෆ්ගනිස්ථානයේ විවිධ ප්‍රදේශවල ඉඳන් තාලිබාන්ලාට එරෙහි අදහස් ඇති පිරිස් පන්ජ්ෂිර් වෙත ඇවිත් සිටින බව. ඒ සටන් කරන්නට සූදානමෙන්. විවිධාකාර ප්‍රාදේශීය හමුදා කණ්ඩායම් ඒ අතර ඉන්නවාලු.

කෙසේ වෙතත් එම ප්‍රකාශය බීබීසී වැනි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන තහවුරු කර නැහැ. එහි තේරුම එන්ආර්එෆ් සංවිධානය කයිවාරු ගහනවා විතරක් වෙන්නත් පුළුවන්.

මේ සංවිධානය උත්සාහ කරන්නේ ඇෆ්ගනිස්ථානයේ බලය බෙදුණු පාලන රටාවක් හදන්නට. ඒ ඒ ප්‍රදේශවල ස්වාධීන පාලන ව්‍යූහයන් ඇති කරන්නට. ඒ වෙනුවෙන් තමයි තාලිබාන් එක්ක සාකච්ඡා කරන්නත් ඔවුන් විවෘත බව කියා තිබුණේ.

ඇත්තටම ඇෆ්ගනිස්ථානය විවිධාකාර ප්‍රාදේශීය නායකයන්ගෙන් පිරිච්ච රටක් නිසා බලය බෙදුණු පාලනයක් ඒ රටට ගැලපෙනවා. ඒ ගැනත් එන්ආර්එෆ් මාධ්‍ය ප්‍රකාශකයා කියා තිබුණා.

‘එන්ආර්එෆ් විශ්වාස කරන්නේ සදාකාලික සාමයක්. ඇෆ්ගනිස්ථානය විවිධ සුළුතර ජනකොටස්‍ ගොඩක් එකතුවෙලා හැදුණ රටක්. කවුරුත් බහුතරය නෙවෙයි. බහු සංස්කෘතික දේශයක්. ඒ නිසා බලය බෙදීමක් අවශ්‍යයි. එක් කණ්ඩායමක් දේශපාලනයේ බලවත් වුණොත් අභ්‍යන්තර යුද්ධයක් සහ වත්මන් ගැටුම තවත් ඉදිරියට යෑමක් සිද්ධවේවි.’ ඔහු වැඩිදුරටත් කියා තිබුණේ එහෙමයි.

කෙසේ වෙතත් සාම සාකච්ඡා අසාර්ථක වුණොත්, අනෙක් පාර්ශ්වය (තාලිබාන්) අවංක උනන්දුවක් නොදක්වන බව හැඟුණොත් ඔවුන්ගේ බලහත්කාරය පිළිගන්නේ නැතිව නිහඬව ඉන්න ලෑස්ති නැති බවත් ඔහු කියා තිබුණා.

‘පහුගිය අවුරුදු 40ක් තිස්සේ අපේ ඉතිහාසය බලපු කෙනෙක් දන්නවා අපේ කලාපය ආක්‍රමණය කරන්න කාටවත් බැහැ. විශේෂයෙන් පන්ජ්ෂිර් නිම්නය ආක්‍රමණය කරන්න බෑ. රතු හමුදාවට (සෝවියට් දේශයේ) විශාල අවි බලයක් තිබිලාත් ඒක කරන්න බැරි වුණා. අපි හිතන්නේ නැහැ රතු හමුදාව තරම් අවි බලයක් තියෙන කිසිම කණ්ඩායමක් දැන් ඇෆ්ගනිස්ථානයේ ඉන්නවා කියලා. අවුරුදු 25කට කලින් තාලිබාන් සංවිධානය මේ නිම්නය ආක්‍රමණය කරන්න උත්සාහ කළා. එයින් ඔවුන්ට අන්ත පරාජයක් ලැබුණා.’

නිම්නය