ලෝකෙ රටවල් ෂේප් කරගන්න තාලිබාන් ක්‍රිකට්වලට ඉඩදෙන හැඩයි! පරණ විරෝධය අත්හරීවීද?

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම මෑත ඉතිහාසයේ ක්‍රිකට් ලෝකයේ වැඩිම දියුණුවක් පෙන්වූ කණ්ඩායම වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටෙන වේගයෙන්ම ඇෆ්ගන් ක්‍රිකට් ඉහළට ආවා. අද ලොව ඕනෑ කණ්ඩායමක් ඇෆ්ගනිස්ථානය අතින් ඕනෑ වෙලාවක පරාද වෙන්න ඉඩක් තියෙනවා.

එවැනි පසුබිමක ඇෆ්ගනිස්ථාන පාලනය අල්ලාගත් තාලිබාන් නායකයන් එරට ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මුණගැසී තිබුණා.

මීට පෙර ඉතිහාසයේ ක්‍රීඩා උත්සව සංවිධානය අන්තවාදී අදහස් මත තහනම් කළ සංවිධානයක් වුණත්, මෙවර ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් පාලනය ‘පිරිමි ක්‍රීඩාවලට’ ඉඩ දෙන බවක් පෙනෙනවා.  

මීට පෙර තාලිබාන් කාබුල් නුවර බලය අල්ලාගත් පසු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම සාමය ඉල්ලා ට්විටර් පණිවිඩ දමා තිබුණා. නුදුරේදී පවත්වන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේදී ඇෆ්ගන් ජාතික කණ්ඩායම මෙන්ම අයිපීඑල් තරගවලදී ඇෆ්ගන් ක්‍රීඩකයන් තරග වැදීමට සැලසුම් කර තිබුණා.

තාලිබාන් ට්විටර් ගිණුමක ඇෆ්ගන් ක්‍රිකට් නායකයා සමඟ ඡායාරූපය පළ කර තිබුණා. එහි වැඩිදුරටත් කතා කර තිබුණේ ඇෆ්ගන් කණ්ඩායමේ ‘ප්‍රමිතිය සහ හැකියාවන්’ දියුණු කිරීමට අදාල අනාගත සැලසුම් සාකච්ඡා කළ බව.

ඉස්ලාමීය එමිරේටයේ දේශපාලන බියුරෝවේ සාමාජිකයෙකු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කාබුල් අගනුවරදී හමු වුණා. ඔවුන් අනාගත සැලසුම් ගැනත්, ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩාමය හැකියාවන් සහ ප්‍රමිතිය වර්ධනය ගැනත් කතා කළා.

ට්විටර් සටහන

කෙසේ වෙතත් මේ සීමිත අවස්ථාව පවා ලැබෙනු ඇත්තේ පිරිමින්ට පමණයි. ඇෆ්ගන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ආරම්භ කිරීමට එරට ක්‍රිකට් කමිටුව සැලසුම් කර තිබුණ්, ඒ සැලසුම් අත්හැරලා.

දැනටමත් පවතින ඇෆ්ගන් ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් රටින් පිට කරගැනීම සඳහා උත්සාහ ගනිමින් ඉන්නේ, ‘ක්‍රීඩා කළ වරදට’ ඔවුන්ගේ ජීවිතවලට හානියක් සිදුවේයැයි බියෙන්. ෆිෆා සංවිධානය ලොව රජයන් කිහිපයකටම ලිපි යවමින් ඉල්ලා තිබුණේ මෙම ක්‍රීඩිකාවන් එරටින් පිට කර දෙන ලෙස.