විමල්ලා තාලිබාන් සංවිධානයට සමාන කරමින්, පොහොට්ටුවෙන් ගහපු දරුණු ගැහිල්ල! සමහරු යටගසන විවේචනයේ දරුණුකම

අගෝස්තු 23 වැනිදා හැන්දෑවේ මාධ්‍ය හමුවක් පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් සහ අමාත්‍ය ගාමිණී ලොකුගේ ඉතා දැඩි ලෙස විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිළ යන කැබිනට් ඇමතිවරුන්ව විවේචනය කළා.

ඒ, කැබිනට් මණ්ඩල රැස්වීමේදී නිහඬව සිට රට වසන ලෙස ඉල්ලමින් එම ඇමතිවරුන්ගේ පක්ෂ ඇතුළු පක්ෂ ගණනාවක් ලිපියක් යොමු කළ නිසා.

මෙය තවත් එක් පොහොට්ටු- විමල් පිළ අතර ගැටුමක් නෙවෙයි. මෙවර විවේචනය ඉතා දැඩියි. දරුණුයි. ඇතැම් මාධ්‍ය මෙම විවේචනවල බරපතළකම හෑල්ලු කරමින් මේ ගැන වාර්තා පළ කර තිබුණා.

එහෙත් අප මීට කලින් වීඩියෝවකින්ද පැහැදිලි කළ පරිදි, ආණ්ඩුව ඇතුළේ ඉතා දරුණු බෙදීමක් තිබෙන බව මෙම විවේචනයෙන් පැහැදිලියි.

එම විවේචනයේදී ත්‍රස්තවාදී සංවිධානයක් වන තාලිබාන් සංවිධානයට පවා මේ අයව සමාන කළා. එතැනින් එහා ගොස් ජාත්‍යන්තරයෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිළ හා වාසුදේව නානායක්කාර බිලිගෙන ඇතැයි චෝදනා එල්ල කර තිබුණා.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ඒ මාධ්‍ය හමුවේදී මෙහෙම කියා තිබුණා.

“මුළු විපක්ෂයම ඉල්ලන්නේ ලොක්ඩවුන් කරන්න කියලා. ඒකට අපෙත් සමහර අය රුකුලක් දෙනවා. බොහොම කනගාටු වෙනවා. කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමා එක්ක එකඟවෙලා එනවා. එළියට ගිහින් කොළ අත්සන් කරනවා රට වහන්න කියලා. ජනාධිපතිතුමාට කැබිනට් මණ්ඩලයෙදි කියන්නේ නෑ. ජාත්‍යන්තර බළල් අතකට අහුවෙලා වගේ අපිට පේන්නේ. සමහරු හිතනවා ඇති තලෙබාන් ගත්තා වගේ මේගොල්ලන්ටත් එහෙම වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා. ජාත්‍යන්තරය බොහොම වේගෙන් අපේ අයව බිලිබාගෙන වගේ පේනවා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මෙසේ කියා තිබුණා.

“ගිය සඳුදා තිබිච්ච කැබිනට් මණ්ඩල රැස්වීමේදී රට වහන්නේ නෑ කියලා සියලු කැබිනට් ඇමතිවරු ඒකමතිකව තීන්දුවක් ගත්තට පස්සේ.. ඒ තීරණයට අත උස්සපු සමහරක් ඇමතිවරු එළියට ගිහිල්ලා රජයට ලියුමක් දෙනවා වහාම රට වසාදමන්න කියලා. ඉතාම පහත් ආකාරයේ ක්‍රියාවක්. කැබිනට් මණ්ඩලයේ කතා කරන්න කොන්දක් පණ නැතුව එළියට ගිහිල්ලා ලියුම් ගහලා ඒ ලියුම් ජනාධිපතිට යන්න කලින් මාධ්‍යට කවුරුහරි නිකුත් කරනවා නම් එය ඉතා බැරෑරුම් තත්ත්වයක්. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට බොහොම කනගාටු වෙනවා රට වහන්න වෙච්ච එක ගැන.”