මෛත්‍රීගේ නිවේදනයකින් ඉතිහාසය විකෘති කළ හැටි! තොරතුරු පනතේ වීරයන්ට මැද ඇඟිල්ල! ඒ පනත මෛත්‍රීගේ බූදලයක් කරගනී

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් නිකුත් කළ නිවේදනයක තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ ඉතිහාසය විකෘති කරමින් එය ඔහු ‘ස්ථාපිත කළ’ එකක් බව සඳහන් කරලා.

්තො‍රතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය අවුරුදු ගාණක් තිස්සේ සටන් කළ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන් පිරිසක් දිනාගත් දැවැන්ත ජයග්‍රහණයක්.

සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය, නිදහසේ වේදිකාව ඇතුළු අද ‘එන්ජීඕකාරයන්’ සහ දේශද්‍රෝහීන් කියා බැණුම් අසන විශාල පිරිසක් මේ පනත සම්මත කරගැනීම උදෙසා දශකයකට දැවැන්ත සටනක් කළා. අන්තිමේ එය පෞද්ගලික මන්ත්‍රී පනතක් ලෙස ගෙන ඒමට කරු ජයසූරිය මහතා උත්සාහ කළා.

එයට එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විරුද්ධ වුණේ ‘තොරතුරු ඕන්නම් මගෙන් අහන්න, මම දෙන්නම්, පනතක් ඕනෑ නැහැ’ කියමින්. එදා මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මහලේකම් ලෙස මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නිහඬව සිටියා.

එහෙත් තමන් ලබාගත් දැවැන්ත නිල නිවස ගැන බිමල් රත්නායක හිටපු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකට උත්තර බඳින්නට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් දැමූ නිවේදනයක සඳහන් වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ස්ථාපිත කරන ලද තොරතුරු දැනගැනීම පනත යටතේ ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් හෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිල නිවාස වල අයිතිය පිළිබඳව කරුණු දැන ගැනීමට හැකි වනු ඇත කියායි.

තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් කළ 19 වැනි සංශෝධනය සම්මත කරගැනීම වෙනුවෙන් එදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ වෙහෙසක් ගත් බව ඇත්ත. එහෙත් ඒ සංශෝධනය කෙටුම්පත් කිරීම, ඉදිරිපත් කිරීම හෝ ඡන්දය ලබාදීම ඔහු නොවන වෙනත් විශාල පිරිසකගේ දායකත්වයෙන් සිදු වූ දෙයක්. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත කෙටුම්පත් කිරීම හෝ ඡන්දය ලබාදීම පවා ඔහු සිදු කළ දෙයක් නෙවෙයි.

ඒ පනත ස්ථාපිත කිරීම කෙසේ වෙතත් 2017 දී තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලූ විට එය ලබාදීමත් ඔහු යටතේ වූ ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කළා.

මෛත්‍රීපාල සිරිසේන මහතා තම නිවේදනයේ සඳහන් කර තිබුණේ හිටපු ජනාධිපතිවරුන්ට නිල නිවාස ලබාදීම සාමාන්‍ය සම්ප්‍රදායක් බවත්, මේ නිල නිවාස එකතු කිරීම මීට පෙර සිදු කළ දෙයක් බවත්, ඒ වගේම මෙය ජනාධිපතිවරයාට ජීවිතාන්තය දක්වා ලැබෙන නිත්‍යානුකූල අයිතියක් බවත්.

එහෙත් එම කරුණු අර්ධ සත්‍යයන්. රජයේ ඇමතිවරුන්ට ලබා දෙන ඉහළම මට්ටමේ නිල නිවාස දෙකක් එකතු කර අලුත් ඉදිකිරීම් ඔහු ජනාධිපති වූ කාලයේ කර තිබුණා. පොළොන්නරුවේ සිට රට පාලනය කරනවායැයි කී ඔහු සුඛෝපභෝගීම නිවසක් ලෙස එම නිවාස දෙක අලුත්වැඩියා කළා. සාමාන්‍ය සම්ප්‍රදායට පිටින් ගොස්, තමන් ජනාධිපතිවරයාව සිටියදීම කැබිනට් පත්‍රිකාවකින් තමන්ට ඒ නිවස ලබාගැනීමටත් ඔහු කටයුතු කළා. එම කරුණු නිවේදනයේ නැහැ.

නිවේදනය පහතින්,

‘මාධ්‍ය නිවේදනයයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බිමල් රත්නායක මහතා විසින් හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපල සිරිසේන මහතාගේ නිල නිවස සම්බන්ධව සිදුකළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයකි.

2021.08.22 දින අන්තර්ජාලය ඔස්සේ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බිමල් රත්නායක මහතා විසින් ප්‍රකාශ කරමින් සිටියේ හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා විශ්‍රාම යාමට මත්තෙන් කොළඹ නගර මධ්‍යයේ තිබෙන සුවිශාල මන්දිර දෙකක් එකට එකතු කොට තමන්ට ලියා ගත් බවත්, එය නැවත භාරදෙන වාද යන ලෙසත් ප්‍රශ්න කරන ලදී.

මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් වන අතර එම ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමි. 1986 අංක 4 දරන ජනාධිපති හිමිකම් පනත යටතේ සහ අංක 503/2005 (FR) දරන ශ්‍රේෂ්ඨාධිකරණයේ අයදුම්පත ප්‍රකාරව විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට ජීවත්ව සිටින තාක්කල් ජීවත්වීමට නිල නිවසක් රජයෙන් පිරිනමන අතර එය මුළුමනින්ම රජය සතු දේපලකි.

මින් පෙර සිටි සියලුම විශ්‍රාමික ජනාධිපතිවරුන් හටද රජයේ නිල නිවාස පිරිනමා තිබේ. එම සියලු නිවාස රජය සතු දේපලකි. මෙය දේශපාලනය පිළිබඳව හෝ පරිපාලනය පිළිබඳව යම් හෝ සුලු දැනුමක් තිබෙන අයකු ඉතා සරලව දන්නා කරුණකි.

හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ස්ථාපිත කරන ලද තොරතුරු දැනගැනීම පනත යටතේ ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් හෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිල නිවාස වල අයිතිය පිළිබඳව කරුණු දැන ගැනීමට හැකි වනු ඇත.

1976 නොබැඳි සමුළුවට ඉදිකරන ලද “සමිට් ෆ්ලැටි” දෙකක් එක්කර ඇත්තේ ඩී.බී. විජේතුංග හිටපු ජනාධිපතිතුමාගේ කාලයේදීය. මෙම නිල නිවස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ලබාගත්තේ කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යවරයෙකු ලෙස භාවිතා කර නැවත රජයට භාරදුන් පසුවයි .

එසේ තිබියදී මෙවැනි ප්‍රකාශයක් කිරීම පිළිබඳව අප මවිතයට පත්වන අතර ඉදිරියේදී මෙම ප්‍රකාශය නිවැරදි කරනු ඇතැයි විශ්වාස කරමි.

ස්තුතියි

සමිර දසිල්වා
පුද්ගලික ලේකම්
හයවන විධායක ජනාධිපති’