පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ කෙනෙක්ට සීඅයිඩීය එන්න කියයි

පාස්කු ප්‍රහාරයට මාස 28 ක් සම්පූර්ණ වූණත්, ඒ ප්‍රහාරය සිදු කළ, සැලසුම් කළ කිසිවෙකුට දඩූවම් ලබා දීලා නැති බව කියමින් අගෝස්තු 17 වෙනිදා පවත්වපු මාධ්‍ය සාකච්ඡාවක අදහස් දැක්වූ ශෙහාන් මාලකගේට අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්න කියා දැනුම් දීමක් කරලා තියෙනවා.

අගෝස්තු 23 වෙනිදා හවස 4.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්න කියලා තමයි දැනුම් දීලා තියෙන්නේ.

ඔහුගේ අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහත සඳහන්. ඔහුගේ එම අදහස් දැක්වීමේදී ඉතා තියුණු ප්‍රශ්න කිරීම් ගණනාවක් තිබුණත්, දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් ගැන කතා කිරීමේදී තිබිය යුතු පරෙස්සම් සහගත බව ඔහුගෙන් අවස්ථා කිහිපයකදීම ගිලිහී ගියා. විශේෂයෙන් පාස්කු ප්‍රහාරය ගැන ස්වාධීන විමර්ශනයක් කළ කෙනෙක් සහ තොරතුරු රැසක් එකතු කළ කෙනෙක් ලෙස ඔහු එහිදී අදහස් දැක්වුවා.

වත්මන් ආණ්ඩුව සිතාමතා පාස්කු ප්‍රහාරය එල්ල කළ බවක් ඍජුව හැඟෙන පරිදි කතා කිරීම එතරම් වගකීම් සහගත නැහැ. මීට පෙර වීඩියෝවක අපද මේ ප්‍රහාරය සහ ආණ්ඩුව අතර සම්බන්ධයක් තිබෙනවාද යන මාතෘකාව ස්පර්ශ කරමින් කතා කළා. එහෙත්, අප ඒ ගැන කිසිදෙයක් නොදන්නා නිසා, අප සතුව එවැන්නක් ඔප්පු කිරීමට කරුණුත් නොමැති නිසා ප්‍රශ්න කිරීමකින් එහාට නොගිහින් අදහස් දැක්වීමට අප කටයුතු කළා.

ඇත්තටම පාස්කු ප්‍රහාරයට වත්මන් ආණ්ඩුවේ සම්බන්ධයක් තියෙනවාද, නැද්ද යන්න පිළිබඳ ප්‍රමාණවත් කරුණු කිසිවක් සමාජයේ නැහැ. ඒ වෙනුවට තිබෙන්නේ ඡායා මාත්‍රයන් බඳු සැකයන් මාලාවක් විතරයි. ඒවාට ආණ්ඩුව උත්තර සැපයිය යුතු බව ඇත්ත. ඒ ගැන ප්‍රශ්න කළ යුතු බවත් ඇත්ත.

එතැනින් එහාට ගොස් මේ ජාත්‍යන්තර මට්ටමේ ත්‍රස්ත ප්‍රහාරය අහවලා කළ බව නිශ්චිතව හැඟෙන පරිදි කතා කරනවා කියන්නෙ, අපි නොදන්නා විශේෂ දෙයක් ඒ කෙනා දන්නවා කියන එක.

එවැනි පසුබිමක ප්‍රහාරය ගැන ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස රහස් පොලීසිය දැනුම් දීම සාධාරණයි. කෙසේ වෙතත් එය කළ යුත්තේ ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පමණයි.

හදිසියේවත් ඔහුව අත්අඩංගුවට ගැනීමක් වාගේ කළොත්, එය අදහස් ප්‍රකාශනයට තර්ජනයක්. ඒ ගැන නම් ප්‍රවේශමෙන් බලා ඉන්න ඕනෑ.

අදාල වීඩියෝව