දිවයිනේ ප්‍රවෘත්ති බාගය! ආණ්ඩුවට ගහන්න පිටරටින් කෝටි 85ක් ලංකාවට ඇවිල්ලලු! ඒත් කතාවේ බාගයයි, ඉතිරි බාගේ හිතින් පුරෝගන්න

ආණ්ඩුවට ගහන්න විදේශ සංවිධානයක් ලංකාවට රුපියල් කෝටි 85ක් එව්වා කියලා දිවයින ඉරිදා පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියලා. ඒත්, ඇත්තටම ඒක ප්‍රවෘත්තියක් නෙවෙයි ප්‍රවෘත්ති බාගයක්.

ඒත් ඒ කතා බාගෙට උද්ඝෝෂණයක ඡායාරූපයක් දාලා පිටරට සල්ලිවලින් උද්ඝෝෂණ කරන බව අඟවන්නත් දිවයින උත්සාහ කරලා.

සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රවෘත්තියක් මේසය මත ඉඳගෙන හිතට එන ඕනෑ කුමන්ත්‍රණ න්‍යායක් ආණ්ඩුව රැකගැනීම වෙනුවෙන් ලියන්නත් පුළුවන්. ඒක එහෙම නෙවෙයි කියලා පාඨකයාට ඉන්තීරුවෙන් හැඟෙන්නේ සල්ලි එව්ව සංවිධානයේ නම, ගත්ත සංවිධානයේ නම ආදිය ලියන්න පුළුවන් නම්.

ඒත්, ඒ ටික ලියන්න අමාරු නම් අඩු තරමේ මුදල් ආපු දවස, මුදල් ආපු විදිය, මේ මුදල් ආවේ කුමනාකාරයේ ලියවිල්ලකින්ද, සාමාන්‍යයෙන් මෙවැනි මුදල් එවීමකදී රාජ්‍ය නොවන සංවිධානයක් නිශ්චිත අරමුණක් සඳහන් කරනවා. නිකම්ම ‘ආණ්ඩුවට ගහන්න’ කියලා ලෝකෙ රාජ්‍ය නොවන සංවිධානයකට සල්ලි එවන්න විදියක් නෑ. එහෙනම් ඒ මාතෘකාවවත් සඳහන් කළා නම්, ප්‍රවෘත්තියේ ඇත්ත නැත්ත පිළිබඳ හැඟීම තහවුරු වෙනවා.

ඒත් මේක කිසි තොරතුරක් නැති ප්‍රවෘත්ති කෑල්ලක්. සමහරවිට දිවයින ඔෆිස් එකේ වැසිකිළියේ ඉතිරි කෑල්ල වැටිලාද දන්නෑ.

කෝටි 85ක් කියන්නේ මේ වෙලාවේ දළ වශයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 4ක් විතර. ඩොලර් නැති වෙලාවක ඔය කියන ප්‍රවෘත්තිය ඇත්තක් වුණත් ආණ්ඩුව සතුටු වෙන්න ඕනෑ.

ඒත්, මේක ඇත්තක් කියා පිළිගන්න අවශ්‍ය තොරතුරු දිවයිනේ ප්‍රවෘත්ති බාගයේ නම් නැහැ.

දිවයින ප්‍රධාන ප්‍රවෘත්තිය මෙච්චරයි. කියවලා බලන්න, ඉතිරිය මිස් වෙලාද කියලා අහන්න හිතේවි.

‘රජය අපහසුතාවට පත් කිරීමට කටයුතු කිරීම සඳහා විදේශ සංවිධානයක් විසින් රුපියල් කෝටි 85ක පමණ මුදලක් රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙරටට ලබාදී ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ගයකින් ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ වාර්තා වේ.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම මුදල් මෙරට දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය සමිති කිහිපයකට ද ප‍්‍රසිද්ධ හිමිනමකට හා මාධ්‍ය කණ්ඩායමකට ද ලැබී ඇත.

අදාළ විදේශ සංවිධානයේ සිටින ඉහළම නිලධාරියකුගේ මැදිහත්වීමෙන් මෙම මුදල් ලබාදී තිබේ.

මෙම මුදල් වලින් රුපියල් කෝටි 50ක් අදාළ මාධ්‍ය කණ්ඩායමටත් ප‍්‍රසිද්ධ හිමිනමට රුපියල් කෝටි 5ක් සහ වෘත්තීය සමිති හා දේශපාලන පක්‍ෂ සඳහා රුපියල් කෝටි 30ක් වශයෙනුත් බෙදා දී ඇත.’

මෙහෙමයි, ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ ගොඩක් රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, සෞඛ්‍යය, ඉදිකිරීම් ආදී නොයෙකුත් දේවල්වලට විදෙස් ආධාර එනවා. ලංකාවේ සෞඛ්‍යයට හෝ වෙනත් දේකට රජයට නිල වශයෙන් මුදල් ආවොත් ආඩම්බරයෙන් ඒවා වාර්තා වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය හෝ ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් යම් සංවිධානයකට සල්ලි ආවොත්, ඒ නිදහස කඩන ආණ්ඩු දේශද්‍රෝහී වැඩක් විදියට ඒ මුදල් ගැනීම ලේබල් කරනවා.

කෙසේ වෙතත් මෙලෙස විදේශ මුදල් ලබා ගන්නේ විවිධාකාර අරමුණු ඇති රාජ්‍ය නොවන සංවිධාන මිසක් වෘත්තිය සමිති නෙවෙයි. සාමාජික අරමුදලින් ඒ ඒ වෘත්තීන්ට අදාල අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීම තමයි වෘත්තිය සමිති කරන්නේ. ඒ නිසා මේ ප්‍රවෘත්ති බාගය එක්ක විරෝධතාවක ඡායාරූපයක් දැමීම නම් ආණ්ඩුව වෙනුවෙන් ප්‍රචාරයක් කරන්න ගත්ත බාල උත්සාහයක් වගෙයි පෙනෙන්නේ.