අධිකරණයෙන් පැන යාමට වළිකන දේශබන්දුලා…….- පෝද්දල ජයන්ත

අප්‍රේල් 21 පාස්කු දින මිලේච්ඡ ප්‍රහාරය ‘නොවැළැක්වීමේ’ චෝදනා ලැබ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ඉහළම පොලිස් නිලධාරීන් පිරිසක් අධිකරණයට කොකා පෙන්වීමේ ‘නින්දිත’ උත්සාහයක යෙදී සිටී.

එනම් එකී චෝදනාවන්ට අදාළව තමන්ට එරෙහිව නඩු පැවරීම නවත්වා ගැනීම පිණිස විවිධ බලවත් පාර්ශව හරහා අයුතු බලපෑම් සිදු කිරීමට පටන් ගැනීම යි.

මේ ක්‍රියාව ‘නින්දිත’ උත්සාහයක් ලෙස ලියුම්කරු හදුන්වනේ අන් කිසිවක් නිසා නොව , රටේ නීතිය ක්‍රියාවේ යෙදවීමට රාජ්‍යය විසින් පත්කර ඇති නිලධාරීන් අතුරින් විශේෂිත ‘රාජ්‍ය නිවේදිත’ නිලධාරීන් පිරිසක්ම රටේ ජනතාව ඉදිරියේ අධිකරණය හෑල්ලුවට ලක් කිරීම නිසා ය.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පහළම නිලධාරියා වන පොලිස් කොස්තාපල්වරයාගේ සිට පොලිස්පතිවරයා දක්වා රටේ සෙසු වැසියන් යම් යම් වැරදි මත අධිකරණයට ඉදිරිපත් කිරීමේ තීරණයට එළඹීමේ අභිමතානුසාරී බලය හිමිකර දී ඇත. (එකී බලය හිමි තවත් සිවිල් නිලධාරීන් ද සිටී)

විනය විරෝධී ක්‍රියාවක්……

එහෙත් එවැනි අවස්ථාවක කවර හෝ පුද්ගලයෙක් , පුද්ගල කණ්ඩායමක් තමන් අධිකරණයට ඉදිරිපත් කිරිම නවත්වන්නැයි , කවර හෝ පාර්ශ්වයකට ආයාචනය කර ඔවුන් හරහා නඩු පැවැරීමට අදාළ ආයතනයට සෘජු හෝ වක්‍ර බලපෑමක් කරන්නේ නම් , එය නීතියේ ආධිපත්‍යයට කරන නිගරුවකි. අධිකරණ ක්‍රියාවලියට සහ එහි ස්වාධීනත්වයට එල්ල කරන බරපතල අයුතු බලපෑමකි.

මේ වූකලී රටේ සෙසු වැසියන්ට වඩා නීතිය ක්‍රියාවේ යොදවන ඉහළම රාජ්‍ය නිවේදිත නිලධාරීන් පිරිසක් විසින් විශේෂයෙන් නිල ඇදුම් ඇග ලා ගෙන තම නිල වාහන ද යොදා ගෙන නිල රාජකාරියක් ලෙස සිදු කරන්නේ නම් , ඔවුන් නිරතුරුවම ආරක්ෂා කිරීමට නීතියෙන් බැඳී සිටින පොලිස් ආඥා පනතට සහ ආයතන සංග්‍රහයට අනුකූලව බරපතල විනය විරෝධී ක්‍රියාවකි.

අප්‍රේල් 21 පාස්කු දින ප්‍රහාරය නොවැළැක්වීමේ චෝදනාව

අප්‍රේල් 21 පාස්කු දින ප්‍රහාරයෙන් මිය ගිය පිරිස තුන්සිය දෙනෙකුට ආසන්න ය. පූර්ණ කාලීනව ආබාධිත වූ පිරිස ඒහා සමානය. ඇතැම් කුඩා දරුවන්ට තම මව , පියා , සහෝදර , සහෝදරියන් සියලු දෙනාම අහිමි වී ඇත. ඇතැම් මව්පියන්ට තමන්ගේ දරුවන් සියලු දෙනාම අහිමි වී තිබේ. මේ ප්‍රහාරයේ මිලේච්ඡත්වයට ඊට වඩා උදාහරණ අවැසි ද ?

පූර්ව අනතුරු ඇගවීම පිළිබද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම

ඉහත අපරාධය සිදු වීමට පෙරාතුව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් පූර්ව දැනුම් දීම් ගණනාවක්ම එවකට රාජ්‍ය බුද්ධි ප්‍රධානියා හරහා සිදුකර තිබේ. එදා රාජ්‍ය බුද්ධි ප්‍රධානියා වූයේද පොලීසියේ ඉහළම නිලධාරියකු වූ නිලන්ත ජයවර්ධන ය. අද ඔහු මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා ය.( ඔහුගේ ක්‍රියාකලාපය ගැන වෙනම ලිවිය යුතුය) ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවට අනුව දැනට චෝදනා ලැබ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සියලුම දෙනාට අදාළ අනතුරු ඇඟවීම් කල්තියා දැනුම් දී තිබේ. එහෙත් ඔවුන් ප්‍රහාරය වැළක්වා ගැනීම පිණිස ගතයුතු ක්‍රියා මාර්ග කිසිවක් අනුගමනය කර නැත. දැන් ඔවුන් නිදහසට ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය වන්නේ අනතුරු ඇගවීම ලැබුණත් ගතයුතු පියවර කවරෙකු හෝ දැනුම් නොදුන් බවයි.

අපරාධයක පුර්ව තොරතුරු ලැබුණු පසු එය නොතකා හැරීම දඩුවම් ලැබිය යුතු වරදකි.

ඉහළම පොලිස් නිලධාරියකු නොවූ , පහළම කොස්තාපල් වරයකුට වුව තමන්ට ලැබෙන අපරාධ තොරතුරක් නොතකා සිටීමට නීතියෙන් ඉඩක් නැත. ඉහළින් උවදෙස් නොලැබුණේ යැයි කියමින් ඉන් නිදහස් වීමටද නීතියෙන් ඉඩක් නැත. දණ්ඩ නීති සංග්‍රහයට අනුවත් එය “නොකර හැරීමේ” චෝදනාව යටතේ දඩුවම් ලැබිය යුතු වරදකි. පාස්කු දින ප්‍රහාරය පිළිබද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉහත පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නිර්දේශ ඉදිරිපත් කරන්නේ ඒ නිසා ය.

අධිකරණයට ‘කොකා’ පෙන්නීමට වළිකන්නේ ඇයි?

ඉහත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රාජකාරි නිල ඇදුමින් සැරසී අස්ගිරි මහනායක හිමියන් සහ අටමස්ථානාධිපති හිමියන් බැහැදැක ඉල්ලා සිටින්නේ තමන් සියලු දෙනාම සිංහල බෞද්ධ නිලධාරියන් නිසා මේ නඩු පැවරීම කෙසේ හෝ නවතා දෙන ලෙසයි. ජාතිය. ආගම පවා ඉදිරියට ඇදගෙන මොවුන් සිදු කිරීමට අර අදින නීච ක්‍රියාවට රටේ නීති ගරුක වැසියන් විරුද්ධ විය යුතු නැද්ද ? ඔවුන් නිසි ලෙස තම රාජකාරිය ඉටු කළේ නම් , අධිකරණය ඉදිරියට ගොස් සෙයු වැසියන් සේ තමන්ගේ නිර්දෝෂී භාවය අධිකරණය ඉදිරියේ ඔප්පු කර නිදොස් කොට නිදහස් වීමට නොහැකි ද ?

රාජකාරියට පැමිණි දවසේ සිට සෙසු වැසියන් අධිකරණය ඉදිරියට පමුණුවන නීතිය ක්‍රියාවේ යොදවන ඉහළම පොලිස් නිලධාරීන් (පොලිස්පති වීමට බලා සිටින දේශබන්දු තෙන්නකෝන් ඇතුළු) රටේ නීතියට පයින් ගසා වට වංගු ගසා නීතියෙන් කට්ටි පැනීමට අර අදින්නේ නම් , රටේ යුක්ති ගරුක ජනතාව ඊට සපුරා එරෙහි විය යුතු ය. නීතිය ක්‍රියාවේ යොදවන්නන් මෙලෙස ක්‍රියා කරන විට සෙසු වැසියන්ට දෙන පූර්වාදර්ශය කුමක්ද ? හැකි උපරිමයෙන් උපක්‍රම යොදා නීතියෙන් පැන යන ලෙස ද ?

අධිකරණ තීන්දුව ගැන පූර්ව නිගමනයකට ඇවිත්

තමන්ට එරෙහිව නඩු පැවරීම නවත්වා ගැනීමට මහනුවර දළදා මාළිගාවට ගොස් මහනායක හිමිවරුන් බැහැ දැක මාධ්‍ය ඉදිරියේ කරුණු දැක්වූ එක් ඉහළ නිලධාරීයකු ප්‍රකාශ කළේ කුමක්ද ? “අපිට මහ උළු ගෙදර ළගින්න වෙයි. එල්ලුම් ගහට යන්න වෙයි” යනුවෙනි. මේ කිසිවෙකුට තවමත් නීතිපති දෙපාර්තමේන්තුව අධිචෝදනා ගොනු කර නඩු පවරා නැත. තමන්ට ඇති චෝදනා පත්‍රයවත් නොදැක අධිකරණය දෙන තීන්දුව ගැන ගැරඩින්ට ලාම්පු තෙල් වැදුණා සේ දැවිල්ල ගෙන නළියමින් සිටින්නේ ඇයි ? ඒ කිසිවක් නිසා නොව , තමන් දැන දැනම මේ සහාසික අපරාධය සිදුවන්නට ඉඩ හැර බලා සිටීම නිසා නොවේද ? අධිකරණයේදී වින්දිත පාර්ශ්වයේ හරස් ප්‍රශ්න හමුවේ නිරත්තරවන නිසාද ?

කවරෙකුගේ කවර දේශපාලන බල උන්මාදයක් ඉටුකර ගැනීමට සැළසුම් කළත් , තමන් නිසි ක්‍රියාමාර්ග ගත්තේ නම් මේ මහා අපරාධය නවත්වා ගන්නට ඉඩ තිබුණා නොවේදැයි නොනිදන හෘද සාක්ෂිය හැම නිමේෂයකම කියා පාන නිසාද ?

අංශු මාත්‍රයක හෝ හෘදය සාක්ෂියක් තිබේ නම්…..

හෘදය සාක්ෂියක් ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී මහතුනි..! චෝදනා ලැබ සිටින පිරිස අතර ඇතැම් අයට අංශු මාත්‍රයක හෝ හෘදය සාක්ෂියක් නොමැති බව මේ ලියුම්කරු දනී. ඒවාට ඇවැසි උදාහරණද ඕනෑ තරම් පවතී. එහෙත් චෝදනා ලැබ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතුරින් හෘදය සාක්ෂියක් ඇති එක් නිලධාරීයකු මේ වේ නම් නිර්භයව අධිකරණයට ගොස් පොළොව නුහුලන මේ අපරාධය ගැන පාපොච්චාරණය කළ යුතු ය. ප්‍රහාරය වැළැක්වීමට කිසිවක් නොකරන ලෙස ලැබුණු නියෝග අධිකරණය ඉදිරියේ නිරාවරණය කළ යුතු ය. වරද පිළිගෙන සිපිරි ගෙදරට ගියත් එය ඔබ ඇග ලා සිටි නිල ඇදුමට කළ ගෞරවයක් ලෙස ඉතිහාසයට එක්වෙනු ඇත.