ජනාධිපතිගේ කතාවට උත්තර 10ක්!

කලින් වතාවේ ෆීචර් ෆිල්ම් එකක් වගේ වෙච්ච ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාවට ආපු විවේචන නිසාදෝ මෙදා පාර ඔහු තමන්ගේ කතාව දෙවැනි ඉනිම එපිසෝඩ් එකක් ගාණට කෙටි කළා.

1

ලංකාවට එන්නත් ගෙන්වීමට ‘මම’ විශේෂ උනන්දුවක් ගත්ත බව කියන්න ඔහුට ඕනෑ වුණා. ඒත්, ඔහු පිළිගත්තා මාසයක් එන්නත් දෙන්න පරක්කු වුණ බව.

මේක විශේෂයි. එන්නත පට ගාලා ගෙනාවා කියලයි කලින් ආණ්ඩුවේ ලොක්කෝ කයිවාරු ගැහුවේ. ඒත්, පළවැනි වතාවට ශ්‍රී ලංකාවේ ජනාධිපති කියනවා මේ වසංගතයෙන් රට මුදවගන්න අංක එකේ ක්‍රමය වන එන්නත දෙන ක්‍රියාවලිය පටන්ගන්න මාසයක් පරක්කු වෙච්ච බව.

ඒත් පරක්කු වුණ එක ගැන අනුන්ට වරද පටවලා, එන්නත් දෙන්න ‘මගේ’ උනන්දුව පෙන්වද්දී ඔහු කෙළින්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඇඟිල්ල දික් කළා. ඒ කියන්නේ සයිනොෆාම් එන්නතට අනුමැතිය දෙන්න පරකකු වුණ නිසා එන්නත මාසයක් පරක්කු වුණාලු.

හැබැයි ඔහු හංගපු කෑල්ල තමයි සයිනොෆාම් එන්නතට අනුමැතිය දෙන්න පරක්කු වුණේ ලෝක සෞඛ්‍ය සංවිධානය බව. ඒ පරක්කු වුණේ තුන්වැනි අදියරේ පර්යේෂණවල දත්ත සයිනොෆාම් කම්පැණියෙන් දීලා තිබුණේ නැති නිසා බව. ඔහුගේ හදිස්සියට එන්නත් දෙන්න කවුරුත් බැඳිලා නැති බව.

 මාසයක් පරක්කු වුණේ එන්නත දෙන්න ඔහුට උනන්දුව තිබුණ නිසා නෙවෙයි. චීන හාම්පුත්තු හදපු එන්නතම දෙන්න ඕනෑ වුණ නිසා. සයිනොෆාම් නැතත් ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් ඇතුළු ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත්ත එන්නත්වලට ඖෂධ අධිකාරියේ අනුමැතිය දීලයි තිබුණේ.

ඒ වගේම ඉන්දියාවෙන් ඇස්ට්‍රාසෙනෙකා ගේන්න බැරි වීම ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික අසමත්කමක්. ඒ වගේම ඉන්දියාවෙන් හැකි ඉක්මනින් ඕඩර් එකක් දාලා ඇස්ට්‍රාසෙනෙකා ගෙන්වාගත්තේ නැති එකත් වරදක්. ඔහු මාසයක් කීවාට 2020 දෙසැම්බර්වල මහා පරිමාණෙන් නිෂ්පාදනය කරන්න පටන්ගත්ත එන්නත්වලට අපි අනුමැතිය දුන්නේ මාස කිහිපයක්ම ගිහිල්ලා. වාසුදේව ඇමතිතුමා පාර්ලිමේන්තුවේ කයිවාරුවකුත් ගැහුවා, අපි කොවිඩ් පාලනය කරපු නිසා දැන්ම එන්නත ඕන්නෑ කියා.

අනෙක ඇස්ට්‍රාසෙනෙකා කලින්ම ඉල්ලලා ගත්තනම් මීට වඩා ලාබෙට ගන්නත් තිබුණා. ඉක්මනින් ගන්නත් තිබුණා.

එක්කෝ ඔහුට කියන්න තිබුණා ලංකාවට ඩොලර් තිබුන්නෑ. චීනා අපට දෙන්නෙ චීන සල්ලි විතරක් නිසා, ඒ සල්ලිවලින් ගන්න පුළුවන් චීන බඩු විතරයි, ඒ නිසා චීන එන්නතට අනුමැතිය දෙනතුරු කට ඇරන් බලන් ඉන්න සිද්ධවෙච්ච බව. ඇත්ත.

2

ඔහු කිව්ව වඩා යහපත් සහ බලාපොරොත්තු සහගත දෙයක් තමයි එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය. ඔව්, එන්නත් ගේන්න පරක්කු වුණා. ඒත්, ගෙනාවාට පස්සේ එන්නත් වේගයෙන් ලබා දෙන්න මේ ආණ්ඩුව සමත් වුණා. කලිනුත් වතාවක් කීවා වගේ මිත්‍යාව ප්‍රමෝට් කරපු ආණ්ඩුව මේ විදියටවත් විද්‍යාවේ වැදගත්කම පිළිගැනීම හොඳයි.

සැප්තැම්බර් අග වෙද්දී එන්නත් දීලා ඉවර කිරීමේ සැලසුම ආණ්ඩුව පැත්තෙන් ඉතා හොඳ එකක්. මධ්‍යස්ථව අපි ඔහුගේ ඒ කතාව ගැන බලාපොරොත්තු තියන එක හොඳයි.

ඇත්තටම එන්නත දුන්නොත් මැරෙන සංඛ්‍යාව අඩු වෙන බව විද්‍යාත්මක දැනුම මත අපි විශ්වාස කරනවා. මේ එන්නත සාපේක්ෂව ෆයිසර් තරම් කාර්යක්ෂම නැතිව ඇති, ඒත් එන්නතෙන් අපට සෑහෙන පාලනයක් කරගන්න පුලුවන්.

3

අනෙක් පැත්තෙන් රට වැසීම අසීරු වැඩක් බව කියපු එක වරදක් නෙවෙයි. මිනිස්සු බැලූ බැල්මට යම් යම් දේවල් ඉල්ලන්නේ ඒක කොච්චර අමාරුද කියලා නොදැන තමයි. ඒ නිසා රට වහන එකේ ප්‍රතිඵලය, ආර්ථිකයට වෙන බලපෑම පැහැදිලි කරන එක වටිනවා. ඒත්, රට වැහුවාට පස්සේ ආර්ථිකය ගෙනියන්නේ කොහොමද කියන එක ඔහු යටතේ සැලසුම් කෙරෙන්න ඕනෑ වැඩක්. අපි නං හිතන්නේ තිතටම කළමණාකරණයක් කළොත් හැම වැඩක්ම පාහේ කරන්න පුළුවන්.

ඒත්, මේ දේවල් ගැන කිසිදෙයක් දන්නේ නැති හමුදාව වෙනුවට සර්ව පාක්ෂික සමුළුවක් දාලා, ආපදා කළමණාකරණ ජාතික කොමිසම දාලා, අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙ ඉඳන් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ග්‍රාමසේවකලා දක්වා රටේ රාජ්‍ය සේවක බලය පාවිච්චි කරලා, ඒ ඒ අයට ගමක් ගමක් ගාණේ ඇවිදලා තිබුණ දැනුම පාවිච්චි කරලා තමයි ආර්ථිකය දුවවන්න තිබුණේ.

අපි කලිනුත් කිව්වා. දැනුත් කියනවා. මෙච්චර තාක්ෂණේ දියුණු කාලෙක නිර්මාණශීලී පාලකයෙක්ට ලොක්ඩවුන් දාලා ආර්ථිකය දුවවන්න තිබුණා. ඒත් ඒකට සුදුසු පියවර ගත්තේ නෑ.

සරලව කීවොත් ඔහු කීවා ඉදිකිරිම් කර්මාන්තය නැවතුණා, අවශ්‍ය ආකාරයට සේවකයන් ගෙන්වගන්න බැරි වුණා කියලා. ඉතින්, ඉදිකිරීම් කර්මාන්ත ටික හරියට ටෙස්ට් කරමින්, තාක්ෂණය පාවිච්චි කරලා ඒ ඒ ගම්වලින් සේවකයන් ගෙන එමින් කරන්න බැරි වුනේ ඇයි?

ඇඟලුම් කලාපවල ඉඳන් රටට ඩොලර් එන නිසා සංචාරක කර්මාන්තය පවා මීට වඩා නිර්මාණශීලීව සහ සාර්ථකව දුවවන්න පුළුවන්කම තිබුණා. ඔය විෂයන් බාරදීලා තියෙන දේශපාලන හෙංචයියන්, කිසිදෙයක් බැරි ඇමතිවරුන් වෙනුවට වැඩක් කරන්න පුළුවන් නිර්මාණශීලී අයට තැනක් දීලා තිබුණා නං ඕවා කරන්න තිබුණා.

මොකද අපි කතා කරන්නේ අලුතෙන් ආපු අපි නොදන්න වසංගතයක් ගැන නෙවෙයි, අවුරුද්දක් තිස්සේ අපි වසංගතය එක්ක ජීවත් වුණා. ඔහු තමන්ගේ කතාවේදීත් කියනවා මේ නව සාමාන්‍යකරණයට හුරු විය යුතුයි කියලා. ඒත්, නව සාමාන්‍යකරණය යටතේ ලොක්ඩවුන් වෙලා ආර්ථිකේ ගෙනියන්න අවුරුද්දකට පස්සෙත් ප්ලෑන් එකක් නැත්තේ ඇයි?

ඒක කරන්න තරම් නිර්මාණශීලී වෙන්න ආණ්ඩුවට බැරි වුණේ ඇයි? කාගෙද වැරැද්ද?

4

එතැනින් එහාට ඔහුගේ කටෙන් අර්බුදේ එළියට පැන්නා. රට වහන්නේ නැත්තේ ඇයි? 5000 දීමනාව දෙන්න බැරිකම. ඒකට මාසෙකට රුපියල් බිලියන 30ක් යන නිසා. ඇත්ත. ඒක ලොකු වියදමක්. ඔහු ඒ වියදම පෙන්වාදෙන එක හරි. අවුරුදු ගාණක් තිස්සේ ඔහුගේ පවුලත්, අනෙක් පැත්තත් රට පාලනේ කරපු හැටියට ලංකාවේ මේ දීමනා නැතිව සති කිහිපයක් ඉන්න බැරි පවුල් ගොඩක් තියෙනවා.

රට වැසීමේ ඇත්තම ලෙඩේ තමයි ඕක. හැමෝම ඒ බව දන්නවා. අපි අවංකව කියන්නේ, අපටත් මේ ගැන යෝජනා කරන්න හරි විසඳුමක් නෑ.

අපි අනුමාන කරනවා මේ වගේ කාලෙක ආණ්ඩුව මීට වඩා දැඩි බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න තිබුණු බව.. ඉහළ ආදායම් තියෙන අයගෙන් වැඩිපුර බදු අය කරන්න තිබුණ බව. රජයේ නාස්තිකාර වියදම් සම්පූර්ණ ලිස්ට් එකක් හදලා කපන්න තිබුණ බව. ලංකාවේ පොඩි මිනිසුන් දුක් වින්දාට, මාර අතිරික්ත ප්‍රාග්ධනයක් පාවිච්චි කරන මහා පරිමාණ ධනවතුන් ඉන්නවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වගේ අයටත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටත් විශේෂ බලතල දීලා, විශේෂ නීතිමය සහ අධිකරණ ක්‍රියාමාර්ග පාවිච්චි කරලා ලංකාවේ තියෙන අති දැවැන්ත කළු ආර්ථිකය ට්‍රැක් කරන්න පටන්ගන්න තිබුණා. බදු පැහැරහරින අය හරියට ඇල්ලුවොත්, තව ටිකක් බදු වැඩි කළොත් අපට විශාල මුදලක් හොයන්න පුළුවන් බව අපි අනුමාන කරනවා.

5.

මේ කතාවෙදීත් ජනාධිපතිවරයා මිලියන 1.4ක රජයේ සේවකයන්ගෙ වැටුප් කැපුවෙ නැති එක ගැන කයිවාරුවක් ගැහුවා. ඔව්, පඩි කැපීම ගැන කවුරුත් ඔබතුමාට ස්තූතිවන්ත වෙන්න ඕනෑ නෑ. බලයට ආපු ගමන් කිසි තේරුමක් නැතිව උපාධිධාරීන් සහ තව ලක්ෂ ගාණක් රාජ්‍ය සේවයට බඳවාගත්තෙත් ඔබතුමානේ. අපිත් හිතන්නේ රාජ්‍ය සේවය ලොකු වැඩියි කියලා. ඒත්, රස්සා තොග ගණන් දීලා මහා පරිමාණ රාජ්‍ය සේවයක් හැදීමේ වගකීම මිනිසුන්ට පවරන්න එපා. එහෙම දීලා දීලා, මේ රාජ්‍ය සේවය මිලියන එකහමාරකට පුළුල් කරගත්ත්තේ ඔබතුමාත්, සහෝදරයෝත් තමයි. ඉතින්, මිනිස්සුන්ව එහෙම බඳවගෙන ඉවරවෙලා අමාරුවක් ආපු ගමන් මුල්ම වැඩේ විදියට එයාලගෙ පඩි කපන්න හිතන්න එපා.

රජයේ වියදම් වැඩියි කියල හිතුණ ගමන් මුල්ම වැඩේ පඩි කපලා දාන එක නෙවෙයි.

ඔබතුමට ඕන්නං ආයතන ලොක්කන් සිය ගාණකගේ අධික වැටුප් හා දීමනා කපන්න තිබුණා. වාහන වියදම් කපන්න තිබුණා. අර සෙත්සිරිපාය වගේ තැන්වල සිය ගණන් ගොඩගහලා තියෙන මහා පරිමාණ වාහන ප්‍රමාණය දැන් තියෙන මාකට් එකට දැම්මනං අඩු තරමේ. ආයතනවල මාසික වියදං අතර අනවශ්‍ය දේවල් තියෙනවා.

6

සම්පූර්ණයෙන් රට වසා දැමීම තුලින් වන බලපෑම ජනතාව තේරුම්ගත යුතුයි. ඔහු කීවා. ඇත්තටම, අපට පුදුම හිතුණේ මේ කතාව පුරා තිබුණේ ‘ජනතාව’ කියල යම් පිරිසක් එක්ක එදිරිවාදීව ඔහු කතා කරපු නිසා. රාජ්‍ය නායකයෙක් මෙහෙම කතා කළ යුතුය. එකක් ජනතාව කියලා පොදු ඒකකයක් නෑ.

රට වසා දැමීමේ අවුල ඔය ජනතාව අතරින් දිනපතා වැටුප් ලබන පුංචි මිනිස්සු හොඳට දන්නවා. ස’ ඔබතුමාට හීනෙංවත් හිතන්න බැරි තරං ඒ මිනිස්සු ඒ අමාරුව දන්නවා. අලුතෙන් ඔබතුමා තේරුම් කරන්න දෙයක් නෑ.

පාලකයෙක් විදියට ඔබතුමාට තියෙන්නේ ඔය චූටි මොළේ වෙහෙසලා, වටේ ඉන්න අයට මොළ තියෙනවනං ඒවාත් වෙහෙසවලා, ලොක්ඩවුන් කාලෙ ආර්ථිකේ ගෙනියන්න ක්‍රමයක් හදන එක. ඒත්, පොඩි මිනිස්සුන්ට කෙළින්ම ජීවන අරගලයක් තිබුණේ.

ඊට අමතරව දැනුමක්, බුද්ධියක් තියෙන මිනිස්සු දන්නවා පොදුවේ රට පැත්තෙන් එල්ලවෙන බලපෑම.

ඒත්, ඔබතුමාට කිසි සංවේදීතාවක් නැති වුණාට පොදුවේ මිනිසුන්ට තිබුණ ඇම්ම මොකක්ද දන්නවද?

රට ලොක්ඩවුන් නොකළොත් තියෙන බලපෑම. මිනිසුන්ගෙ ජීවිත නැති වෙන එක. අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය නැති වෙන එක.

7

මේචචර මිනිස්සු මැරුණ මාසෙකට පස්සේ ජාතිය අමතන ජනාධිපතිතුමාගෙන් කෝ ඒ මිනිස් ජීවිත ගැන ශෝකය? කෝ ඒ සංවේදීතාවය? මගේ අම්මා, නංගී හෝ සහකාරිය වැරදිලාවත් මියගිහින් හිටියානම් මුළු ලෝකෙම නැතිවෙච්ච වේදනාවෙන් ඉන්න මට.. කෝ රාජ්‍ය නායකයා විදියට ඔබේ ශෝකයේ දෑත් දිගු කිරීම.

සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කිරීමේ බලපෑම ජනතාව තේරුම්ගත යුතුයි? නෑ. මෙතැන තිබුණ ප්‍රශ්නෙ ඒක නෙවෙයි. ලොක්ඩවුන් නොකිරීමේ බලපෑම ඔබතුමා තේරුම් නොගත්ත එකයි ප්‍රශ්නය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය එක කෝණයකින් බලනවලු. ඔව්! වෙන්න ඇති. ඒත් ඒ කෝණය මොකක්ද? මැරි මැරී වැටෙන, මෝචරි පිරෙන මිනිස් ජීවිතවල කෝණය. මිනිස්සු මැරෙද්දී ඔය ආර්ථික දත්ත පෙන්වන්න ලෑස්තිවෙන එක මොන තරම් අසංවේදී දෙයක්ද?

8

ඔහු කියනවා ලෝකෙ ගොඩක් රටවල් නිව් නෝමල් එකට හැඩගැහුණාලු. ඔව්, ඒත් ඔහු ලොකු බොරුවක් කළේ. නිව් නෝමල් කියල කිව්වේ මිනිස්සු මැරි මැරී වැටෙද්දී රට ඇරගෙන ආර්ථිකය ගෙනියන එක නෙවෙයි. රට ඇරගෙන ඉන්න එක ඉස්සර නෝමල් එක. නිව් නෝමල් කියල යෙදුමක් ආවෙම රට වහලා ආර්ථිකය ගෙනියන එකට තමයි. අපි අවුරුද්දක් තිස්සේ මේ වසංගතය සම්පූර්ණයෙන් පාලනය නොකර හිටියා. ටෙස්ට් කරලා පොසිටිව් වෙන ගාණ පෙන්නමින් අපි තමයි හොඳටම කළේ කියලා බොරු මවාපෑමක් කළා. විශේෂයෙන් 2020 මැද ඡන්දය තියාගන්න.

ඒත්, අපි දකින විදියට කුමන අවස්ථාවකවත් වසංගතය බිංදුවට පාලනය වුණේ නෑ. ඒ නිසා 2020 මුල ඉඳන් මේ දක්වා වැඩි කාලයක් රට ලොක්ඩවුන් කරන්නයි තිබුණේ. ලොක්ඩවුන් යටතේ සම්පූර්ණ ආර්ථිකය ගෙනියන හැටි ප්ලෑන් කරන්නයි තිබුණේ.

අන්න ඒක කරන්න බැරිව තමයි ස’ ෆේල් වුණේ. එදා ඉඳන් මේ දක්වා මිනිසුන් හත්දාහක් මැරුණේ.

9

වෘත්තිය සමිති ගැන ඔහු කිව්ව කතාවෙන් තේරුණේ ඒ අයගේ ක්‍රියාකාරීත්වය ඔහුට සෑහෙන බලපාලා බව. වෘත්තිය සමිති හඬ නගනවාට දැඩි පාලකයන් කැමති නෑ. ඒ වගේම බලය ගිලිහේවි කියන බයෙන් වෙව්ලනවා. ඒ බය තමයි මර්දනයෙන් දකින්න ලැබුණේ.

10

කෙසේ වෙතත්, අපි මේ කළේ දැඩියි කියල පෙන්වන්න උත්සාහ කරන, දුර්වල පාලකයෙක් මේචචර මිනිස්සු මැරෙන්න ඇරලා ලොක්ඩවුන් නොකරන්න හේතුව මිනිස්සුන්ට තේරුම් ගන්න කියලා කියපු  කතාවක අඩුපාඩු පෙන්වාදීම.

අඩුපාඩු තිබුණත් නැතත්, පාලකයා දුර්වල වුණත් නැතත් ඔහු තමයි අපේ පාලකයා. ඇත්තටම අපි ප්‍රාර්ථනා කරන්න ඕනෑ ඔහුගේ සාර්ථකත්වය.

ඒ නිසා අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ ලොක්ඩවුන් කළාට පස්සේ දැන්වත් මේකේ බරපතලකම තේරුම් ගන්න. කැපකිරීම් කරන්න ලෑස්ති වෙන්න. ගජමිතුරන්ට තව ටිකක් බදු දැම්මොත්, දූෂණය වගේම නාස්තිය අඩු කළොත්, ආර්ථිකය නැවත රිවීව් කරලා නවත්වන්න ඕනෑ දේවල් නැවැත්තුවොත්, සියළු පක්ෂවල අදහස් ගත්තොත්, වසංගත ඇතුළු ආපදා වර්ග විසිනවයකට අදාල වන ආපදා කළමණාකරණ පනත අනුව දැන්වත් ක්‍රියා කළොත් මේකෙන් ගොඩ එන්න පුළුවන්.

හැටට වැඩි අය, ලෙඩ්ඩු, එන්නත නොගත්ත අය කියල මැරිච්ච අයගෙ ජීවිත හෑල්ලු කරන්න එපා. එහෙම වයස මතයි, එන්නත නොගත්ත එක මතයි ජීවිත අතෑරලා දාන්න පුළුවන් නං ඔබතුමාගේ සහ අයියලාගේ ජීවිතත් අතෑරලා දාන්න එපායැ. ඇයි, වෙන රටවල නායකයන් එන්නත ගත්ත හැටි ජනතාවට ආදර්ශයක් වෙන්නට පෙන්නුවා. විපක්ෂයෙ නායකයන් ප්‍රසිද්ධියේ එන්නත ගත්තා. ඒත් ඔබතුමාලා එන්නතක් ගත්තද? කවදද? මොකක්ද වර්ගය? චීන එන්නතද වගේ දේවල් අපි දන්නෙත් නෑනෙ.

කොහොමහරි..

පවුලෙන් පිට සමාජයේ තියෙන නිර්මාණශීලී අදහස් දිහා බලන්න. ඒවා පාලනයට ඇඩප්ට කරගන්න බලන්න. අපි දන්නවා අමාරු බව. අපි තේරුම් අරන් ඉන්නේ. ඒත්, ආණ්ඩුව තේරුම් ගන්න මිනිස් ජීවිතවල වටිනාකම.

අන්තිමේ, කියන්න ඕනෑ මේ ආණ්ඩුවත් අපි හැමෝමත් අයිති එක ටීම් එකකට. ඒ නිසා ජනාධිපතිතුමා කීව වාක්‍යයෙන්ම අපි දෙසුම අහවර කරමු.

කණ්ඩායමක් ලෙස එකමුතුව කෝවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා එක්ව වැඩ කරන ලෙස සියලු දෙනාගෙන්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.