සුපර්කම්පියුරේකින් පයි බෙදලා ලෝක වාර්තාවක් තිබ්බ ස්විස් විද්‍යාඥයෝ

අමිල රත්නායක

සරලව කතාව මේකයි. ස්විස්ටර්ලන්තයේ විද්වතුන් කණ්ඩායමක් සුපිරි පරිගණකයක් පාවිචචි කරමින් දවස් 108ක් තිස්සේ දශම අංක ට්‍රිලියන් 62.8ක් දක්වා  පයි බෙදලා.

ඒ අනුව වැඩිම ගාණක් පයි බෙදුව අය බවට එයාලා ලෝක වාර්තාවක් තියලා. මීට කලින් එය බෙදා තිබුණේ ට්‍රිලියන් 50 දක්වා පමණයි.

හෝව්!

පයි කිව්වාම වාසු සහෝදරයාව මතක් කරගන්න එපා. වැරදි අර්ථයක් ගන්නත් එපා. ඡායාරූප දැම්මේ විනෝදෙට. ඒ විනෝදෙන් අපි ප්‍රඥාව දිහාට යන්න එපායැ.

ඉස්කෝලෙ කාලෙ ගණිත පාඩම මතක් කරගත්තනං හරි.

වෘත්තයක පරිධියත්, විශ්කම්භයත් අතර අනුපාතය. ඒ කියන්නෙ රවුමක වටේ දිගයි, මැදින් අඳින ඉරක දිගයි අතර අනුපාතය තමයි පයි කියන්නෙ. හැබැයි පයි කියන්නෙ ඉවරයක් වෙන නම්බරයක් නෙවෙයි.

ඕකයි කේස් එක.

ඒ කියන්නේ හතර දෙකෙන් බෙදුවම දෙකයි. තුන දෙකෙන් බෙදුවම එකයි දශම පහයි. ඔන්නොහොමයි වැඩේ.

ඒත් මේ කියන පයි අනුපාතය එහෙම බෙදල අහවරයක් කරන්න බෑ. ඒ කියන්නෙ තව දශමෙන් දශමෙ ගාණ බෙදමින් මේ නම්බරේ තවත් දශම පොයින්ට් එකක් දක්වා හැමවෙලේම අදින්න පුළුවන්.

ඒ කියන්නේ හරි උත්තරයක් ලැබෙන්නේ නෑ. බෙදලා ඉවරයක් වෙන්නේ නෑ.

මුලින්ම 3යි දශම 1යි. ඊළඟට 3යි දශම 14යි. ආයෙ වතාවක් ගණං හැදුවම 3.141යි. ඔය විදියට 3.14159265359 විතර වෙනකල් යන්න පුළුවන්. ලියන්න ගත්තත් කෙළවරක් නෑ.

දැන් වෙලා තියෙන්නේ ඔය 3යි දශම ලකුණෙන් පස්සේ තව ඉලක්කම් ට්‍රිලියන ගාණක් දක්වා බෙදපු එක.

ඔන්නොහොම අතීත කාලෙ ගණිතඥයො හත්සීය ගණන්, එක්දාස් ගණන් දක්වා දශම පොයින්ට් එක ඇදගෙන ගියා. මේක බෙදමින් තමන්ගේ ජීවිත කාලයක් නාස්ති කර කර. එක තැනක්වත් වරදින්නත් බෑනෙ. එක ගණිතඥයෙක් මැරෙනකල් විශ්වාස කළේ තමන් හත්සිය ගාණක් වෙනකල් ගාණ හැදුව කියල. පස්සෙ කාලෙක මාට්ටු වුණා ඒ මනුස්සයා හාරසිය ගාණකදී වරද්දගෙන කියලා. ඒ කියන්නෙ එතැනින් පස්සෙ ඔක්කොම වැරදියි.

නිකමට හිතන්න! මනුස්සයෙකුගේ ජීවිතේ යට වුණ හැටි.

ඉතින්, ලෝකෙ පුරා ගණිතඥයො තොගයක් මේ ගාණ තව තවත් දිගු කරලා පරිගණක යුගය දක්වා ආවා. දැන් මේක දශම අංක ට්‍රිලියන ගාණක් දක්වා ඇදෙනවා.

ග්‍රෝබුඑන්ඩෙන් ව්‍යවහාරික විද්‍යා විශ්වවිද්‍යාලය තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඔවුන් නිවේදනයකින් ඒ බව ප්‍රකාශ කරලා තියෙනවා.

2019 දී ගූගල් සමාගමට වඩා දෙගුණයක් වේගයෙන් මෙම ගණනය කිරීම කර තිබුණා. 2020 දී අවසන් වතාවට පයි වාර්තාව තබා තිබුණු අවස්ථාවට වඩා 3.5 වතාවක් වේගයේ මෙදා ගණනය කිරීම කර තිබුණා.

දැන් ලොකුම ප්‍රශ්නය මේකයි. මෙච්චර තියුණු මොළයන් තියෙන මිනිස්සු ටිකක්, ඔච්චර වටින සුපර්කම්පියුටර් පාවිච්චි කරමින් මාස ගණං තිස්සේ ඔය ගාණක් බෙද බෙදා ඉන්න එකේ තේරුමක් තියෙනවද?

ඔය ඔළුගෙඩි ටිකයි, කම්පියුටර් ටිකයි, ඕවාට යට කරන සල්ලි ටිකයි පාවිච්චි කරලා වැඩකට ඇති දෙයක් කරන්න බැරිද?

මෙහෙමයි, ප්‍රායෝගික ලෝකයේදී මේ පයි කියන අංකය හැම මගුලටම පාවිච්චි වෙනවා. අපි ප්ලේ කරන ඩීවීඩී එක වගේ සරල උපකරණයකට ඒක පාවිච්චි වෙනවා. ජීපීඑස්වලට, නොයෙකුත් ඉංජිනේරු ප්‍රශ්නවලට, අභ්‍යවකාශ විද්‍යාවට පාවිච්චි වෙනවා.

සරලව කිව්වොත් තාක්ණය, ඉංජිනේරු විද්‍යාව සහ අනෙකුත් හැම විද්‍යාත්මකම කාරණේකටම පාහේ වැදගත් වෙන අංකයක් මේක.

ඒත්, ඔය කීව ගොඩක් වැඩවලට මේක උපරිම දශම සීයකට වගේ ගියත් ඇති. සමහර වැඩවලට එච්චරවත් ඕනෑ නෑ. කොටින්ම කිව්වොත් මේකට දශම ඉලක්කම් 1000ක් දාන එකෙන් පවා ප්‍රායෝගිකව සිද්ධවෙන වාසිය අඩුයි.

ඉතින් ට්‍රිලියන ගාණක්?

මේ ගැන පැහැදිලි කරද්දී සමහර විද්‍යාඥයන් අහන්නේ ‘එහෙනං උඹල මොකටද ඔච්චර වියදං කරගෙන ඔලිම්පික් දුවන්නෙ? ඔලිම්පික් ලෝක වාර්තා තියන්නේ? සතපහක වැඩක් තියෙනවායැ?’ කියලා.

ඇත්තනේ, එහෙම ගත්තොත් ක්‍රීඩක වාර්තාවලත් වැඩක් නෑ.

ඇත්තටම මේ අගය සෙවීම අද වාර්තා තැබීමේ වැඩක් බවට පත් වෙලා. ඒත් ඒකෙන් යහපතක් සිද්ධ නොවෙනවා නෙවෙයි. මේක පරිගණකවල දියුණුවට අදාල වැඩක් වෙලා. විද්‍යාර්ථීන්ට අභ්‍යාසයක් වෙලා.

විශ්වවිද්‍යාලෙක ඉගෙනගන්න සහ උගන්වන ගණිතඥයො සෙට් එකක් මොළේට අභ්‍යාස විදියට වෙන මොන මගුලක් කරන්න කියලද, ජිම් ගිහින් බර උස්සන්න කියලයැ.