ලොක්ඩවුන් තීන්දුව ගත්තේ සෞඛ්‍ය වුවමනා නිසාද? සිංහල-බෞද්ධ ඡන්ද පදනම රැකගැනීමේ පටු අරමුණෙන්ද?

අගෝස්තු 20 රාත්‍රී 10 සිට අගෝස්තු 30 පාන්දුර 04 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය දාන බව කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයා ට්විටර් පණිවිඩයකින් නිවේදනය කරලා.

කොවිඩ් පාලනය පිළිබඳ කමිටු රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇති බව පෙනී යනවා.

මේ පිළිබඳ යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ ලොක්ඩවුන් කාලසීමාව තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකාර්මික කටයුතු සහ ඖෂධහල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා හැකි බව. නිවෙස්වලට ගොස් එන්නත් කරන බවත් හමුදාපතිවරයා කියා තිබෙනවා.

උක්ත රැස්වීමෙන් පසු රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ‘මහානායක හිමිවරුන්ගේ’ ඉල්ලීම සාධනීය ලෙස ගෙන ජනතාව ඊට ඇහුම්කන් දෙන බව කීම විශේෂත්වයක්.

එම රැස්වීමෙන් අනතුරුව එළියට බහින මොහොතේ අමාත්‍ය ගාමිණී ලොකුගේගෙන් මාධ්‍යවේදීන් විමසද්දී ඔහුත් ලොක්ඩවුන් ගැන කියා තිබුණා.

මාධ්‍යවේදියා : රට වහනවද කොහොමද ?

ඇමති ගාමිණී ලොකුගේ : නෑ. එහෙම අදහසක් නෑ. නමුත් අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යනවා. අනෙක් දේවල් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා මොකක්ද කරන්නේ කියලා. 

මාධ්‍යවේදියා : ඒ කියන්නේ රට ලොක්ඩවුන් කිරීමක් වන්නේ නැත්ද ?

ඇමති ගාමිණී ලොකුගේ : අත්‍යවශ්‍ය සේවා නැතිව රට දුවන්න බෑනේ..

මාධ්‍යවේදියා : අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් ඒවා ලොක්ඩවුන් කරනවාද? 

ඇමති ගාමිණී ලොකුගේ : ඔව්..ලොක්ඩවුන්.

මෙතෙක් සෞඛ්‍ය විශේෂඥයන් දිගින් දිගටම රට ලොක්ඩවුන් කරන ලෙස ඉල්ලුවත් ආණ්ඩුව ගණනට ගත්තේ නැහැ. අන්තිමේ සෞඛ්‍ය විශේෂඥයන් නොවන, ආගමික නායකයන් ඉල්ලනතුරු හිටියා. එම ඉල්ලීමට ඇහුම්කන්දීම පවා තමන්ගේ ඡන්ද පදනම ගැන සැලකිල්ලෙන් ගත් තීන්දුවක්ද, සැබෑ ලෙස මහජන ජීවිත සහ සෞඛ්‍ය උපදෙස් මත ගත් තීන්දුවක්ද යන්න සැකයක්.

ඒ කෙසේ වෙතත් රට ලොක්ඩවුන් කිරීම ගැන ආණ්ඩුව කී එක දෙයක් ඇත්ත. ලොක්ඩවුන් කිරීමෙන් පස්සේ පීඩාවට පත් වෙන විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට පහසුකම් සැලසීම ලෙහෙසි පහසු වැඩකුත් නෙවෙයි.

කෙසේ වෙතත් ජනතාව වැඩකරන විරුවෙක් බලයට ගෙනාවේ ඒ අසීරු කටයුත්ත කළමණාකරණය කරන්නයි. මේ අසීරු මුහුදේ රට නම් නෞකාව පැද යන්නයි.