දින 14කට රට වසා දමන්නේ නම් රාජ්‍ය සේවකයන් මාස භාගයක වැටුප් පමණක් ලබාගැනීමට එකඟ විය යුතු බවට දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අවධාරණය කර සිටිනවා.
දැන් පාර්ලිමේන්තුව වසා තිබියදී, මන්ත්‍රී වැටුපෙන් භාගයක් ගැනීමට සූදානම් බවක් නම් ඔහුගේ ප්‍රකාශයේ තිබුණේ නෑ.
ඒ, ඊයේ (19) කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කිව්ව කතාව මෙහෙමයි.
“ඉතිං විවිධ පාර්ශ්ව වලින් ඒ යෝජනා ඉදිරිපත් වෙනවා රට වසන්න කියලා. ඉතිං අපි විශ්වාස කරනවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මැති ඇමතිවරුන් සහ සියලුම රජයේ සේවකයිනුත් මාසයේ වැටුපෙන් අඩක් ලබාගන්නවා නම්, අඩක් රජයට පරිත්‍යාග කරලා අඩක් විතරක් නම් ලබාගන්නෙ දින 14කට රට වසා දමන්නේ නම් මන්ත්‍රීවරුත්, ඇමතිවරුත්, රජයේ සේවකයො සියලු දෙනාත් වැඩ කරන දින 14ට පමණක් මාස බාගයක වැටුපට එකඟ වෙන්න ඕනෙ. එවැනි තත්වයකට ගමන් කරනවා නම් එවැනි යෝජනාවක් එක්ක තමයි රට වසා දැමීමට කියලා තීරණය කරන්න ඕනෙ. විශේෂයෙන්ම ඒ ඉතුරු වෙන මුදල මේ රටේ ලක්ෂ 80කට වැඩි පිරිසක් ඉන්නවා එදිනෙදා ජීවත් වෙන. ඒ අයට සහන සැපයීම සඳහා ඒ මුදල් ටික භාවිතා කරන්න ඕනෙ”
කෙසේවෙතත්, ජනතා විරෝධයක් එල්ල නොවූයේ නම් වසංගතයක් මධ්‍යයේ වුවද මන්ත්‍රීවරුන් හට සුඛෝපභෝගී වාහන ගෙන්වීමට පසුබට නොවන පසුබිමක, දෛනික ආදායම් ලබන්නන්ගේ වියදම සපුරාලිය යුත්තේ රාජ්‍ය සේවකයන්ගේ ආදායමෙන් යැයි රාජ්‍ය අමාත්‍යවරයා සිතීම හාස්‍යජනක බව ජනතාවගේ අදහසයි