එක් චිත්‍රපටියකින් ඉතිහාසයක් කී – Virus


නව පරපුරේ මලයාලම් සිනමාවෙහි පූර්වගාමී අධ්‍යක්ෂවරයෙකු වන ආශික් අබූ අධ්‍යක්ෂණය කොට, 2019 වසරේ තිරගත වූ වෛරස් නම් චිත්‍රපටිය සුවිශේෂී එකක්. එය නිපා නම් අති භයානක වෛරසය කේරළයේ කෝලිකොඩේ දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැතිරයෑම පිළිබඳව නිර්මාණය වූවක්.

ලෝක සෞඛය සංවිධානයට අනුව ලොව භයානකම වෛරස් දහය අතර නිපා පවතිනවා. කෙටි කාලසීමාවක් ඇතුලත කෙතරම් ශක්තිමත් මිනිසෙකු වුව ඝාතනය කරන්නට නිපා වෛරසය සමත්. ආසාදනය වූ අයගෙන් ජීවිත ගලවාගන්නේ සීයට විස්සක් වූ ප්‍රතිශයක් පමණයි. නිපා වෛරසය ජෛව අවියක් ලෙස පාවිච්චි කිරීමට ඉඩ ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවනවා. 2018 වර්ෂයේදී නිපා වෛරසයේ පැතිරයෑමක් කේරළයේ සිද්ධවුණා.


සැබෑ සිදුවීම මෙන්ම චිත්‍රපටියටද තේරුම් ගන්නට මේ වෛරසය පැතිර යෑම පසුපස තිබුණු දේශපාලන කතාවත් අවබෝධ කරගත යුතුයි. 2019 මුල මහමැතිවරණයක් පවත්වන්නට නියමිතව තිබුණු බව අප දන්නවා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ මැතිවරණ ව්‍යාපාරය ගොඩනැඟී තිබුණේ ඉස්ලාම් ත්‍රස්ත භීතිකාව හා පාකිස්ථානු විරෝධය මත බවත් අප දන්නවා. ඉන්දියාව පුරා මෝඩිගේ මුස්ලිම් විරෝධී හින්දුත්තමවාදී රැල්ල පැතිර ගොස් තිබුණත් ඉන්දියාවේ ප්‍රගතිශීලීම ප්‍රාන්තය වන කේරළයේ ඒ රැල්ලට ඉඩක් තිබුණේ නැහැ. කේරළයේ කතෝලික, හින්දු, ඉස්ලාම් මිනිසුන් ඉතාම සමීපව සංස්කෘතික වශයෙන් ගැටගැසී සිටියා. ඒ පසුබිමේ පැතිර ගිය මේ වෛරසය ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වන්නට ඇතැම් අය උත්සාහ කර තිබුණා.

පළමු ආසාදිතයා මුස්ලිම් ජාතිකයෙකු වීම නිසා ඒ කුමන්ත්‍රණ න්‍යාය තවත් ශක්තිමත් වුණා. ඒ නිසාම මේ වෛරසය පළමු රෝගියාට වැළඳුණේ කෙසේද යන්න සොයායෑම අවශ්‍ය වුණා. මොහොතකට කල්පනා කර බලන්න, රෝගියෙකුට වෛරසයක් වැළඳුණේ කෙසේදැයි සොයාගන්නේ කෙලෙසද. සීසීටීවී කැමරා පරීක්ෂා කරමින් එය කරන්නද. වෛරසය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නද.

රෝගයෙන් මියගිය රෝගියාව මරණයෙන් අවදි කරවන්නද. චිත්‍රපටියට තේමා වී තිබුණේ ඒ උභතෝකෝටිකයයි. කේරළ ප්‍රාන්ත ආණ්ඩුවේ නිලධාරීන් මෙය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බවත්, වවුලෙකුගෙන් පළමු රෝගියාට එය ආසාදනය වී තිබුණු බවත් සොයාගත්තා. ඒ සොයායෑමේ කතාව චිත්‍රපටියෙහි එනවා. ඒ අතර රෝගීන්ගේ ජීවිත, තමන්ටත් රෝගය වැළඳීමේ අවදානම තිබියදී නිර්භයව සේවය කළ සෞඛ්‍ය සේවකයන්ගේ ජීවිත, සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත, ඉහළ නිලධාරීන්ගේ ජීවිත පැය දෙකහමාරක් තුළ එකවර අල්ලාගන්නට චිත්‍රපටිය ප්‍රශංසනීය ලෙස සමත්ව තිබෙනවා. දරුණු වෛරසයක් නිසා සිදුවූ මරණ ගැන කතාකරන චිත්‍රපටියකදී ප්‍රේක්ෂකයාව කම්පනය කරන දර්ශන මිස වෙන මොනවා දකින්නද.


සියල්ලට වඩා මේ චිත්‍රපටියේ විශිෂ්ඨත්වය තදින්ම දැනුණු අවස්ථාව වන්නේ අවසාන මොහොතේ ප්‍රේක්ෂකයන්ගේ හිත්වලට සැහැල්ලුවක් ගෙනදුන් එක් දර්ශනයක් නිසායි. මහේෂිතේ ප්‍රතිකාරම්, තොණ්ඩිමුතාලුම් ඩ්‍රිෂාක්ෂියම් ආදී අතිවිශිෂ්ඨ චිත්‍රපටිවල අධ්‍යක්ෂකවරයා වූ, සෝල්ට් ඇන්ඩ් පෙපර් චිත්‍රපටියේ සම තිර රචකයා වූ ඩිලීෂ් පොතන් අවසාන මොහොතේ රෝහලකට පැමිණෙනවා. ඒ ඔහුටත් රෝග ලක්ෂණ පහළ වී තිබුණු නිසා. ඉහත කී සැහැල්ලුව ගෙනෙන දර්ශනය එන්නේ එතැන. අතිශය ඛේදජනක මාතෘකාවක් කතාකළ චිත්‍රපටියක, ප්‍රේක්ෂකයා කම්පනයෙන් කම්පනයට පත්ව සිටියදී චිත්‍රපටිය අවසානයට ළඟාවෙනවා.

එහෙත් මේ ඛේදවාචකය රැගත් චිත්‍රපටිය සතුටුදායක ස්වරයක් රැගත් අවසානයකට ගෙනයෑමට අධ්‍යක්ෂවරයා ඕනෑ වෙනවා. ඒ කටයුත්ත සඳහා අතිශය සියුම් ලෙස, කතාවේ මූලික ස්වරය වන ඛේදවාචක තත්වයට හානියක් නොකරම, කම්පනය වූ ප්‍රේක්ෂකයාගේ සිතට හාස්‍යමය සැහැල්ලුව එන්නත් කරන්නට නිර්මාණකරුවන් සමත්ව තිබෙනවා. එය, මේ චිත්‍රපටිය කෙතරම් විශිෂ්ඨද යන්න තහවුරු කරනවා.


අප කලින් කී පරිදි මේ වෛරසයේ බලපෑමට ලක්වූ පාර්ශ්ව ගණනාවක් අල්ලාගන්නට අධ්‍යක්ෂවරයා සමත්වෙනවා. ඒ නිසා තනි රේඛාවක ගලායන කතා ශරීරයක් වෙනුවට එකිනෙකට මිශ්‍ර කළ කෙටි චිත්‍රපටි ගණනාවක් ලෙසත් සැලකිය හැකියි. ඒ ඒ කෙටි චිත්‍රපටිවලට ප්‍රධාන චරිත තිබෙනවා. සම්පූර්ණ චිත්‍රපටියට එක් ප්‍රධාන චරිතයක් නැහැ. නිපා වෛරසය පැතිර යෑමට අදාලව සම්පූර්ණ සමාජයේ සම්පූර්ණ ඉතිහාසය පැය දෙකහමාරකට අල්ලාගන්නට අධ්‍යක්ෂවරයා සමත්ව තිබෙවා. එයින් මනුෂ්‍යත්වය, සොබාදහම, වෛරය, ආදරය, පසුතැවිල්ල, නිලධාරීන් සතු වගකීම, කුරිරු දේශපාලනය ආදී එකිනෙකට වෙනස් බොහෝ දේ කැටිකර පෙන්වනවා.


මේ චිත්‍රපටියෙහි මලයාලම් සිනමාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පීන් ගණනාවක් ඉන්නවා. පාර්වතී, රේවතී, මැඩෝනා සෙබෙස්තියන්, කන්චකෝ බොබන්, ටොවීනෝ තෝමස්, අසිෆ් අලී, රහ්මන්, ඉන්ද්‍රජිත් සුකුමාරන්, ඉන්ද්‍රන්ස්, ෂවුබින් ෂහීර්, ශ්‍රීනාත් භාසි, රීමා කාලිංගල් වැනි දැවැන්ත නළුනිළි එකතුවක් මේ චිත්‍රපටියෙහි ඉන්නවා.

චිත්‍රපටියේ හමුවන සුළු චරිත පවා දකුණු ඉන්දීය සිනමාවෙහි ප්‍රධාන චරිත ඉදිරිපත් කරන අය. උදාහරණයක් ලෙස ජනප්‍රිය නිළි මැඩෝනා සෙබෙස්තියන් මෙහි පෙනී සිටින්නේ දර්ශන කිහිපයකට පමණයි. එවැනි පුංචි චරිතවලට පවා දැකපුරුදු නළුනිළියන්ව පාවිච්චි කිරීමට හේතුව පැහැදිළියි. කතා ගණනාවක් එකවර කියද්දී ප්‍රේක්ෂකයාට ඒ ඒ චරිත සහ මුහුණු මතක තබාගන්නට සිදුවෙනවා. නුපුරුදු නළුනිළියන්ව යොදාගනිමින් මෙය කළානම් ප්‍රේක්ෂකයන්ගේ හිස අවුල් කරන චිත්‍රපටියක් බවට පත්වීමේ ඉඩක් පවා තිබුණා.


ඉන්දීය සිනමා ඉතිහාසයේම සුවිශේෂී තැනක් වෛරස් චිත්‍රපටියට අයිතියි. මෙහි විස්තර කරන්නට උත්සාහ කළේ ඒ විශිෂ්ඨත්වයෙන් ඉතාම සුළු කොටසක් පමණයි. ඇත්තෙන්ම මෙය සැලකිය යුත්තේ පුළුල් සංවාදයකට ලක් කළ යුතු චිත්‍රපටියක් ලෙසයි.