ඇමෙරිකාව අවුරුදු විස්සක් යට ගහපු, ඇමෙරිකන් මාධ්‍යයක් හෙළිකරපු ඇෆ්ගන් යුද්ධයේ ඇත්තම කතාව

The Afghanistan Papers, A Secret History of the War by Washington Post reporter Craig Whitlock. (Washington Post illustration, Photos clockwise from top left: Lorenzo Tugnoli for The Washington Post, Marvin Joseph/The Washington Post, Mark Makela/Getty Images, Anja Niedringhaus/AP)

තරිඳු උඩුවරගෙදර

‘අපට ඇෆ්ගනිස්ථාය ගැන මූලික අවබෝධයක්වත් නෑ. අපි දන්නෙ නෑ අපි මොනවද කරන්නේ කියලා.’

– ඩග්ලස් ලූට් (ඇමෙරිකාවේ තරු තුනේ හමුදා ජෙනරල්)

ඇෆ්ගනිස්ථානයෙන් ඇමෙරිකන් හමුදාව ඉවත් වෙන මේ වෙලාවේ, ඇමෙරිකාවේ වගේම බටහිර ලෝකයේ ලොකුම මාධ්‍යවලින් ගෙන්වලා ඉන්ටවීව් තොග ගාණක් ගන්න ඕනෑ මිනිහෙක් ඉන්නවා. ඇෆ්ගන් යුද්ධය ගැන ලෝකෙම කැළඹුණ අඳුරුම කතාව ඒ මනුස්සයා හෙළිදරව් කළා.

ඒත්, ඒ බටහිර හිතවාදී මාධ්‍ය හිතාමතාම වගේ ඔහුට ඉඩ දෙන්නේ නෑ. ඇෆ්ගන් යුද්ධය ගැන ඇමෙරිකාව කතා කරන්න ඕනෑ ලොකුම කතාව මඟහැරලා ඒ මාධ්‍ය වෙන වෙන බයිලා ගසමින් ඉන්නවා. වමයි දකුණයි කියලා දේශපාලනිකව දෙකට බෙදුණ ඇමෙරිකාවෙ මාධ්‍යය ගොඩක් තම තමන්ගේ දේශපාලන කඳවුර හරි කියලා පෙන්වන්න විවිධාකාර කතා මවමින් ඉන්නවා.

ඇත්තම ඛේදවාචය, ඇත්තම අවුල හංගලා.

කවුද අපි කියන පුද්ගලයා, ක්‍රෙග් වයිට්ලොක් නම් වොෂිංටන් පෝස්ට් මාධ්‍යවේදියා.

ඔහු අවුරුදු දෙකකට කලින් ලෝකයම කැළඹෙන ගවේෂණාත්මක හෙළිදරව්වක් කළා. ඒ තමයි ඇෆ්ගන් පේපර්ස්. සිංහලෙන් කීවොත් ඇෆ්ගන් පත්‍රිකා. 2021 අගෝස්තු 31 වැනිදා ඇෆ්ගන් පේපර්ස් ගැන ඔහු ලීව පොතත් පිටවෙනවා. “The Afghanistan Papers: A Secret History of the War” ඉංග්‍රීසියෙන් කියවන කෙනෙකට මේ පොත ඕඩර් කරන්නත් පුළුවන්.

ඇමෙරිකන් ආණ්ඩුවේ, ඒ කියන්නේ පෙන්ටගන් එකේ රහසිගත ලියකියවිලි වගයක් තමයි ඒ ඇෆ්ගන් පේපර්ස් කියලා හෙළි වුණේ. වොෂිංටන් පෝස්ට් එක මේ තොරතුරු හෙළි කරගෙන තිබුණේ ලෙහෙසි පහසු ක්‍රමේකට නෙවෙයි.

අපේ රටේ තොරතුරු දැනගැනීමේ අයිතිය වගේ, ඇමෙරිකාවේ තියෙන තොරතුරු අයිතිය පනත යටතේ මේ තොරතුරු ඉල්ලුවාට දීලා නෑ. ඒ පාර පෝස්ට් එක අවුරුදු තුනක් තිස්සේ නඩු කියලයි තොරතුරු අරන් තියෙන්නේ.

මේ තොරතුරුවල තිබුණේ අවුරුදු 18ක් තිස්සේ ඇෆ්ගනිස්ථානයේ වැඩකරපු ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ සිට පහළ මට්ටමේ සෙබළුන් එක්ක කරපු ඉන්ටවීව්. හමුදා ජෙනරල්ලා, ආධාර සපයන්න ගිය අය, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් වගේ අයව පවා ඉන්ටවීව් කරලා තිබුණා.

එයාලාගෙන් ඇෆ්ගනිස්ථානේ යුද්ධය ගැනත්, ඇමෙරිකන් රජයේ තීන්දු ගැන ඔවුන් හිතන දේ ගැනත් අවංකව අහලා තිබුණා. ඒත්, එයාලා ඒ ඉන්ටවීව්වලදී කිව්ව ඇත්තම කතාව ඇමෙරිකන් රජය මිනිස්සුන්ට හෙළි කළේ නෑ. හංගලා, යටගහලා තියාගත්තා.

ඒ වෙනුවට ජෝජ් බුෂ්, ඔබාමා සහ ට්‍රම්ප් කියන ඇමෙරිකාවේ පක්ෂ දෙකෙන් පත්වෙච්ච ජනාධිපතිවරුන් තුන්දෙනෙක්ම යටතේ කිව්වේ ‘ඇෆ්ගනිස්ථානයේ යුද්ධය සාර්ථකව යනවා’ කියලයි.

මේ මහා ගවේෂණාත්මක හෙළිදරව්වෙන් මතු වුණේ ඊට සම්පූර්ණයෙන් පරස්පර භයානක කතාවක්. ඇමෙරිකාව අවුරුදු 18ක් තිස්සේ ඇත්තටම ඇෆ්ගනිස්ථානයේ තත්වය ගැන බොරු කියලා, වැඩේ හොඳට යනවා කියලා බොරු චිත්‍රයක් තමයි ඇමෙරිකාවෙ මිනිස්සුන්ට සහ ලෝකෙට කියල තිබුණේ.

ඒ අනුව අද ඇෆ්ගනිස්ථානයේ ඉඳන් හඬාවැටෙන කාන්තාවක්, ගුවන් යානයක එල්ලිලා ගිහින් වැටිලා ජීවිතය නැති වුණ අහිංසක මනුස්සයෙක් ආදී හැමෝගෙම ජීවිත ගැන ඇමෙරිකාව වගකියන්න ඕනෑ. ඒ වගේම මේ අර්බුදය ඇමෙරිකාව නොදැන ඇති වූ එකක් නෙවෙයි. අවුරුදු විස්සක් තිස්සේ බොරුව මත ගොඩනැගුණ අර්බුදයක්.

බීපු කොලු රංචුවක් වගේ

ඇෆ්ගනිස්ථානයෙ ඇත්තටම වෙන දේ ගැන, ඇමෙරිකාව ඇත්තටම කරන දේ ගැන වැදගත්ම තොරතුරු ගොඩක් යටගහලා, තවත් සමහර තොරතුරු විකෘති කරලා, ඒ වගේම ඇමෙරිකාවේ වාසියට හිටින තොරතුරු විතරක් ප්‍රසිද්ධ කරලා තමයි මේ බොරු චිත්‍රය මවලා තිබුණේ.

අර ඉන්ටවීව්වලදී අදහස් දක්වපු අය ඇත්තටම කියලා තිබුණේ මොකක්ද, ‘ඇෆ්ගනිස්ථානයේ අපි මොනවා කරනවද කියල අපිවත් දන්නෙ නෑ.’ වගේ අදහස්. නිකං සෙබළු නං ‘අපි මොනව කරනවද දන්නෙ නෑ’ කියද්දී ඒක සාමාන්‍ය තත්වයක්.

ඒත් ඇෆ්ගනිස්ථානයෙ හිටපු ඉහළම නිලධාරීන් පවා තමන් කරන්නෙ මොකක්ද කියල දැනගෙන හිටියේ නෑ.

ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානෙට ගියේ ලෝක බලවත්ම රට පොඩි රටක යුද්ධයකට යනවා වගේ වගකීමකින් නෙවෙයි. අපේ ගමේ කොලු රංචුවක් සංගීතෙකට යනවා වගේ, නැත්නම් කොළඹ ඉස්කෝලෙක කොලු රංචුවක් බිග්මැච් එකක් බලන්න යනව වගේ.

‘බීලා වලියක් පටලෝගෙන දෙතුන්දෙනෙක්ට අනින්න බලාගෙන යන්නෙ. ඒ කාටද කියල දන්නෙත් නෑ.’

කාත් එක්කද යුද්ධ කරන්නෙ, මොන අරමුණෙන්ද යුද්ධ කරන්නේ කියලා ඔවුන්ට කිසිම අවබෝධයක් නොතිබුණ බව තමයි ඇෆ්ගන් පත්‍රිකාවලින් හෙළි වුණේ.

වොෂිංටන් පෝස්ට් හෙළිදරව් කරපු මේ ඉන්ටවීව් ටික, පිටු 2000ක ඉන්ටවීව් තොගයක්. මේ ඉන්ටවීව් ඇමෙරිකන් රජයම තමයි කරලා තිබුණේ. ඒවායේ අරමුණ වුණේ ඇෆ්ගනිස්ථානයේදී ආණ්ඩුව කරපු දේවල්වල අසමත්කම් ගැන හොයා බැලීම.

අවුරුදු විස්සක් තිස්සේ ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයේ ඉන්නවා. ඇත්තටම ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයට ගියේ එක ප්‍රධාන හේතුවකට. 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වුණ 9-11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ, ඒ ප්‍රහාරයට යුක්තිය ඉටු කරන්න කියලා.

ත්‍රස්තවාදය විනාස කරන්න කියලා.

එතකොට ඇෆ්ගනිස්ථානයේ පාලන බලය තියාගෙන හිටපු දරුණු ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් වන තාලිබාන් සංවිධානයට විරුද්ධව යමක් කරන්නම නෙවෙයි ඔවුන් ගියේ. ඔසාමා බින් ලාඩන් සහ තවත් අල්-ක්වායිදා නායකයන්ට ආරක්ෂාව සපයන නිසයි ගියේ. බින් ලාඩන් අල්ලන්න.

ඒත් කාලය ගතවෙනකොට ඇෆ්ගනිස්ථානය මේ යුද්ධයට මැදි වුණා. තාලිබාන්ලා එක්කත් යුද්ධ කරන්න වුණා. ඒ වගේම මේ යුද්ධයෙන් රට, රටේ ජන ජීවිතය දුර්වල වුණා. ඒ නිසා මේ රට අතෑරලා යන්න ඇමෙරිකාවට බැරි වුණා.

ඒ නිසා දෙවැනි කාරණයක් විදියට ‘ඇෆ්ගන් ජාතිය ගොඩනැගීම’, ‘ප්‍රජාතන්ත්‍රවාදය උදා කිරීම’ වගේ දෙවැනි, තුන්වැනි අරමුණු මත ඇෆ්ගනිස්ථානයේ රැඳී ඉන්නවා කියලා ඇමෙරිකාව කීවා.

කිසිදෙයක් දන්නෑ

ඇෆ්ගන් පත්‍රිකාවලින් හෙළි වෙන්නේ, ඒ අරමුණුවලට ළඟා වෙන්නේ කොහොමද කියලා සතපහක අවබෝධයක් ඇමෙරිකන් රජයට නොතිබුණ බව.

ඇමෙරිකාවේ තරු තුනේ හමුදා ජෙනරාල්වරයෙක් වන ඩග්ලස් ලූට් ඇෆ්ගන් පේපර්ස්වලදී මෙහෙම කියා තියෙනවා. ‘අපට ඇෆ්ගනිස්ථාය ගැන මූලික අවබෝධයක්වත් නෑ. අපි දන්නෙ නෑ අපි මොනවද කරන්නේ කියලා.’

2015 දී තමයි ඔහු මේ කතාව කියලා තිබුණේ.

‘අපි මෙහේ (ඇෆ්ගනිස්ථානේ) කරන්න උත්සාහ කරන්නේ මොකක්ද? අපට මෙහේ කරන්න ඕනෑ දේ ගැන පොඩි සංකල්පයක්වත් නෑ.’

‘ඇමෙරිකන් ජනතාව දන්නවානම් මේ අසාර්ථකභාවයේ තරම…. ජීවිත 2400ක් නැති වුණා.’

ඔහු වැඩිදුරටත් එහෙම කියලා. ඒ වගේම මේ ජීවිත හානිය ගැන ඇමෙරිකානු කොංග්‍රසය, පෙන්ටගනය සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවට දෝෂාරෝපණය කර තිබුණා.

‘කවුද කියන්නේ? මේ ජීවිත නැතිවුණේ තේරුමක් නැති දේකට කියලා.’

ඇෆ්ගන් යුද්ධයට ඇමෙරිකාවේ සිට මිලියනයකට ආසන්න සෙබළුන් සංඛ්‍යාවක් යවා ඇති.

‘අපි දුප්පත් රටවල් ආක්‍රමණය කරලා එයාලාව ධනවත් කරනවා නෙවෙයි. අපි ඒකාධිපති රටවල් ආක්‍රමණය කරලා ඒවා ප්‍රජාතන්ත්‍රවාදී කරනවා නෙවෙයි. අපි හිංසාකාරී රටවල් ආක්‍රමණය කරලා, ඒවා සාමකාමී කරන්නයි ඕනෑ. ඒත්, ඇෆ්ගනිස්ථානයේදී අපි සම්පූර්ණ‍යෙන් අසමත් වුණා.’

ඇෆ්ගන් පත්‍රිකාවලට ඇමෙරිකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් කියා තිබුණා.

කාටද ගහන්න ඕනෑ?

ඇෆ්ගනිස්ථානයේදී ඇමෙරිකන් හමුදාව සටන් කරන හතුරා අල්-ක්වායිදාද? නැත්නම් තාලිබාන්ද? පාකිස්ථානය මිතුරෙක්ද? නැද්ද? එතකොට අයිඑස් සංවිධානය ගැන මොද කරන්නේ, නැගී එන විදෙස් ජිහාද් සංවිධාන ගැන කරන්න තියෙන්නෙ මොකක්ද? එතකොට සීඅයිඒ එකෙන් පඩිගන්න ඇෆ්ගන් ප්‍රාදේශීය හමුදා කල්ලිවල ලොක්කන් ගැන සද්ද නැතිව ඉන්නවද?

ඇෆ්ගන් පත්‍රිකාවලින් හෙළි වෙන්නේ මේ කිසි ප්‍රශ්නයකට හරි උත්තර නොතිබුණ බව. කවුද හතුරා, කාටද ගහන්නේ, කොහෙට ගැහුවොත්ද හොඳ වගේ කාරණා ගොඩක් ගැන ඇමෙරිකන් හමුදා කණ්ඩායම් වගේ වගක් නැතිව ඉඳපු බවයි මේ පේපර්ස්වලින් හෙළි වෙන්නේ.

යුද්ධය කරන හැටි ගැන උපදෙස් දුන් ඇමෙරිකානු යුද උපදේශකයෙක් 2017 දී කී කතාවක් පත්‍රිකාවල මෙහෙම සඳහන්.

‘ඒගොල්ලන් හිතුවේ මම ඇවිල්ලා සිතියමක් දිගහැරලා හොඳ කට්ටිය කොහෙද, නරක කට්ටිය ඉන්නේ කොහෙද කියලා පෙන්නයි කියලා. මගේ ළඟ කිසි තොරතුරක් නෑ කියල කියන්නත් සෑහෙන වෙලාවක් පැහැදිලි කිරීම් කරන්න සිද්ධ වුණා. මං පැහැදිලි කරගෙන එද්දී මුලින් එයාලා දිගින් දිගටම ඇහුවේ ‘ඒක හරි, නරක උං කවුද, කොහෙද උං ඉන්නෙ?’ කියලා.’

ඔසාමා හිනාවේවි

මේ ඇෆ්ගන් පේපර්ස්වල තියෙන සම්මුඛ සාකච්ඡා බොහොමයක්, ඒ ඒ නිලධාරීන් දීලා තිබුණේ කවදාවත් ප්‍රසිද්ධ වේවි කියලා හිතලා නෙවෙයි. ඒ නිසාම තිත්ත ඇත්ත ඔවුන් කියා තිබුණා.

ඒ අනුව ඇෆ්ගනිස්ථානය දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට හරවන්න කියලා කිසි තේරුමක් නැතිව මහා පරිමාණ මුදලක් (ඩොලර් බිලියන 934ක්) ඇමෙරිකාව නාස්ති කරලාත් තිබුණා.  ඒත්, ඇත්තටම ඇෆ්ගනිස්ථානයේ දූෂණය ඉහවහා ගිහින්. මහා පරිමාණ ‘ඔපියුම්’ (මත්ද්‍රව්‍ය) නිෂ්පාදන කර්මාන්තයක් ඇෆ්ගනිස්ථානයේ නිර්මාණය කෙරුණේත් ඔය කාලයේ.

කෙසේ වෙතත් මේ ඩොලර් ට්‍රිලියනයකට ආසන්න මුදල ගණනය කරලා තියෙන්නේ සීඅයිඒ ආදී සමහර ආයතනවල වියදම එකතු නොකර.

‘අපි ඩොලර් ට්‍රිලියනයක් වියදම් කරලා මොනවද ගත්තේ?’

ජෝජ් බුෂ් සහ ඔබාමා පාලන කාලවලදී වයිට් හවුස් එකේ වැඩකරපු, විශ්‍රාමික නේවි සීල් කෙනෙක් වන ජෙෆ්රි එගර්ස් ඇෆ්ගන් පේපර්ස්වලදී එහෙම අහලා තිබුණා.

‘ඔසාමා බින්ලාඩන් මැරුවාට පස්සේ, අනිවාර්යයෙන් වතුරෙන් පිරිච්ච සොහාන යට ඉඳන් ඔසාමා අපට හිනාවෙනවා ඇති. අපි ඇෆ්ගනිස්ථානයේ වියදම් කරපු මුදල ගැන හිතලාම.’

ජෙෆ්රි කියා තිබුණේ එහෙම.

දූෂණය

ඇතැම් නිලධාරීන් ඇෆ්ගනිස්ථානයේ දූෂණ වංචා පිළිකාවකට සමාන කර තිබුණා. එය ගොඩගැනීමට බැරි තරම් දූෂිත ආණ්ඩුවක් බවට පත්ව තිබූ බව කීවා.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, තාලිබාන් රට ඇල්ලූ පසු කී කතාව මතකද? ‘අපි ඇෆ්ගන් හමුදාවට ආයුධ දුන්නා, සෙබළුන් ලක්ෂ තුනක් විතර දුන්නා. ඒත් අපට බැහැ ඔවුන්ට සටන් කිරීමේ උණ දෙන්න.’ වගේ කතාවක් තමයි ජෝ බයිඩන් ජනාධිපතිවරයා කීවේ.

එහෙත්, ඇෆ්ගන් හමුදාවට කියා යට කළ මුදල් පවා කිසි තේරුමක් නැති බව කල් තියා ඇමෙරිකන් ආණ්ඩුව දැනගෙන හිටියා. ඉතින්, දැන් ‘බබා පාට්’ දාලා වැඩක් නැහැ.

ඒ වගේම ඇෆ්ගන් හමුදාව හොල්මන් හමුදාවක් ලෙසත් ඇතැම් තැන්වල සඳහන් වුණා. ඇතැම්  හමුදා සෙබළුන්ට පඩි ගෙව්වත්, ඇත්තටම එවැනි හමුදා සෙබළුන් හිටියේ නැති බවත්, හමුදා ලොක්කන් දස දහස් ගාණක් බොරු නම් දමා වැටුප් වංචා කරන බවත් එම වාර්තාවල සඳහන්. ඒ වගේම ඇෆ්ගන් හමුදාවේ සෙබළුන් නිතර සේවය හැර යෑම නිසා ඇමෙරිකන් බදු ගෙවන්නන්ගේ මුදල් විශාල ප්‍රමාණයක් ඇෆ්ගන් වංචා දූෂණවලට යට වූ බව සඳහන්.

ඇෆ්ගන් පොලීසියත් අන්තිම සවුත්තු බව මේ වාර්තාවල සඳහන්. එක් නිලධාරියෙක් කියා තිබුණේ ඇෆ්ගන් පොලීසියේ සෑහෙන පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය හෝ තාලිබාන් සාමාජිකයන් බව. පතුලටම වැටිච්ච රටක පවා ඉන්න පුළුවන් පතුලටම වැටිච්ච සවුත්තු මිනිසුන් පොලීසියේ ඉන්න බව ඔවුන් කියා තිබුණා.

මේ දූෂිත, නරක පොලීසියෙන් ඇෆ්ගන් ජනතාවට යුක්තිය ඉටු නොවෙන තැන ඇතැම් මිනිසුන් යුක්තිය ඉල්ලා තාලිබාන් සංවිධානයේ පිහිට පැතූ අවස්ථා පවා තිබුණා.

ඇමෙරිකන්කාරයන් රැවටීම

මේ පත්‍රිකාවල ඇමෙරිකාවේ ජනාධිපතිවරුන්, මිලිටරි නිලධාරීන් සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇමෙරිකාවේ ප්‍රසිද්ධ සමාජයට කරපු ප්‍රකාශ ගණනාවකුත් තියෙනවා. ඒවායේ තියෙන්නේ යුද්ධයේ සාර්ථකත්වය ගැන කියපු කතන්දර. ටිකෙන් ටික ප්‍රගතියක් ලබන බව කී දේවල්. මේ යුද්ධයට තේරුමක් තියෙනවා කියලා කියපු කාරණා.

ප්‍රසිද්ධ නොවේවි කියලා හිතාගෙන කට්ටිය කියපු කතා සහ ප්‍රසිද්ධියේ කියපු කතා අතර වෙනස මොකක්ද? මේ වාර්තාවලින් හෙළිවෙන හැටියට ප්‍රසිද්ධියේ කියපුවා පට්ටපල් බොරු.

හිටපු හමුදා කර්නල්වරයෙකු වන බොබ් ක්‍රෝලි මෙහෙම කියා තියෙනවා.

‘හැම දත්ත පොයින්ට් එකක්ම විකෘති කරලා තියෙන්නේ, හොඳම චිත්‍රය මතු වෙන විදියට.’

ක්‍රෝලි 2013 හ 2014 අවුරුදුවල මේ යුද්ධයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු විදියට සේවය කරලා.

‘උදාහරණයක් විදියට සමීක්ෂණ වාර්තා සම්පූර්ණයෙන් විශ්වාස කරන්න බෑ.’

ඔහු වැඩිදුරටත් කියා තිබුණා.

ඇමෙරිකන් රජය වෙනුවෙන් මේ ඉන්ටවිව් පවත්වපු ඇමෙරිකාවේ ආයතනයේ ලොක්කා ජෝන් සොප්කෝ. ඔහුගෙන් වොෂිංටන් පෝස්ට් එක මේ කාරණා ගැන ඇහුවාම ඔහු කියා තිබුණා ඇමෙරිකන් ජනතාවට දිගින් දිගටම බොරු තොරතුරු දුන්න බව.

ගත් පාඩම්

ජෝන් සොප්කෝගේ ආයතනය හරියටම කීවොත් ඇෆ්ගනිස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ විශේෂ ඉන්ස්පෙක්ටර් ජනරාල් කාර්යාලය. කෙටියෙන් සිගාර් කියලා මේක හඳුන්වලා. මේ ආයතනය තමයි ඩොලර් මිලියන 11ක වියදමක් දරලා උගත් පාඩම් කියලා විශේෂ ව්‍යාපෘතියක් කරලා තිබුණේ. ඒකෙදී තමයි අපි උඩින් කීව ඉන්ටවීව් කළේ. ‍හරියටම කීවොත් 600කට වැඩි පරිසක් ඉන්ටවීව් කරලා තිබුණා. ඇමෙරිකන්කාරයන් විතරක් නෙවෙයි, ලන්ඩන්, බ්‍රසල්ස්, බර්ලින් ආදී තැන්වලටත් ගිහින් නේටෝ නිලධාරීන් ගණනාවක් ඉන්ටවීව් කරලා තිබුණා.

ඒ විතරක්ද, ඇෆ්ගන් නිලධාරීන් 20 දෙනෙක් ඉන්ටවීව් කරලා තිබුණා.

මේකෙ අරමුණ වුණේ ඇෆ්ගනිස්ථානයෙදී ඇමෙරිකන් ආණ්ඩුව ගත්ත වැරදි තීන්දු අඳුනගෙන, ඒවා හරිගස්සාගැනීම. ඒ අනුව ඉදිරියේදී යුද්ධය හරි තැනකට ගැනීම.

ඒ අනුව 2016 දී ඇෆ්ගනිස්ථානයේ යුද්ධය ගැන නිර්දේශ පවා ඔවුන් ඉදිරිපත් කරලා තිබුණා. කොහොම නමුත්, ඇෆ්ගනිස්ථායේ ඇත්තම තත්වය ගැන සම්මුඛ සාකච්ඡාවල තිබුණ හැබෑ තත්වය මේ වාර්තාවට දාලා තිබුණේ නෑ. ඒ වගේම ඒ සම්මුඛ සාකච්ඡාවලදී කතා කරපු 90 දෙනෙකුගේ විතර නම් යටගහලා තිබුණා. ඒ කියන්නේ වාර්තාවට දාලා තිබුණේ නෑ.

ඒ ආයතනයේ අරමුණ ඉටු නොවුණ බව තමයි 2021 අගෝස්තු මාසය වෙනකොට අපි දැක්කේ.

හෙල්ප්!

මේ තත්වය ඇමෙරිකන් ආණ්ඩුවට තේරුණේ නැතිව නෙවෙයි. මේ යුද්ධය පටන්ගත්ත 2001 ඉඳන් 2006 දක්වා ආරක්ෂක ලේකම් විදියට හිටපු ඩොනල්ඩ් එච්. එම්ස්ෆිල්ඩ් 2002 අප්‍රේල් 17 වැනිදා මෙහෙම ලියා තිබුණා.

‘මම නොඉවසිල්ලෙන් ඉන්නවා ඇති. හරියටම කීවොත් මං දන්නව මං ඉන්නේ නොඉවසිල්ලෙන්. (ඇෆ්ගනිස්ථානයෙන්) පිටවෙන්නට සුදුසු තරම් ස්ථාවත්වයක් ළඟා කරගන්නට යම් ක්‍රමයක් දිහා අපි පරෙස්සමෙන් බැලුවේ නැත්නම් අපට සදහටම ඇෆ්ගනිස්ථානයේ ඉන්න වෙනවා.’

‘හෙල්ප්!’

යනුවෙන් ඔහු ඉංග්‍රීසියෙන් ලියා තිබුණා.

මෙය ලියා තිබුණේ ඇෆ්ගන් යුද්ධය පටන් අරන් මාස හයක් ඇතුළත. එතැන් පටන් අවුරුදු 20ක් යනතුරු එවැනි ස්ථාවර ඉලක්කයකට ළඟා වෙන්න ඇමෙරිකාව අසමත් වුණා.

අන්තිමේ සිද්ධ වුණේ කිසිම දෙයක් ළඟා කර නොගෙන, ‘අපට හැමදාම ඇෆ්ගනිස්ථානෙ ඉන්න බෑ’ කියලා ඇෆ්ගනිස්ථානයෙන් පැන යන තැනට ඇමෙරිකාව පත් වීම.

වියට්නාම් වගේමයි

බොහෝ අය වියට්නාම් යුද්ධය ඇමෙරිකාව පරාජය වී, වියට්නාමයෙන් පලා යෑම සහ ඇෆ්ගන් යුද්ධය සංසන්දනය කරනවා. ඒ ඇමෙරිකාව ඉවත් වෙද්දී හෙළිකොප්ටරයක් උඩ නගින ඡායාරූපයක් හෙම පෙන්වලා.

ඒත් වියට්නාම් යුද්ධය සහ ඇෆ්ගන් යුද්ධය එකිනෙක සංසන්දනය කරන්න ඕනෑ ප්‍රධාන වශයෙන් මේ ඇෆ්ගන් පේපර්ස් කියන තොරතුරු ගොනුවත්, වියට්නාම් යුද්ධයට අදාල පෙන්ටගන් පේපර්ස් කියන තොරතුරු ගොනුවත් සංසන්දනය කරමින්.

පෙන්ටගන් පේපර් කියන්නේ වියට්නාම් යුද්ධය ගැන ඇත්ත තොරතුරු යටගහලා, බොරු කාරණා ගොඩක් ඇමෙරිකාවේ මිනිසුන්ට එදා ආණ්ඩුව කී බවට කරපු හෙළිදරව්වක්. පෙන්ටගන් පේපර්ස් හෙළිදරව් කිරීමේ ගෞරවයෙනුත් දැවැන්ත කොටසක් අයිති වෙන්නේ වොෂිංටන් පෝස්ට් පත්තරයට.

1971 දී ආපු පෙන්ටගන් පේපර්ස් පත්තරවල දාන්න එදා ආණ්ඩුව දුන්නෙ නෑ. ඒත්, මේක පත්තරේ දාන්න එපා කියලා තියෙද්දීත්, නිර්භීතව ආණ්ඩුවට අභියෝග කරමින් පත්තරේ විස්තරේ දාන්න වොෂිංටන් පෝස්ට් කටයුතු කළා. ඒක නඩුවකට පවා ගියා. පෝස්ට් නඩුවෙන් දින්නා.

එදා පෙන්ටගන් පේපර්ස් ප්‍රසිද්ධ නොකර ඉන්න ඇමෙරිකන් ආණ්ඩුව උත්සාහ කළේ, ‘ජාතික ආරක්ෂාවට හානියක්’ කියලයි. ඒත් යම් රටක හමුදාවක් කරන යුද්ධයක් ගැන මහජනතාවට ඇත්ත කීම ජාතික ආරක්ෂාවට හානියක් නොවන බව අධිකරණයටත් ගිහින් එදා වොෂිංටන් පෝස්ට් කණ්ඩායම තර්ක කළා.

ලෝකය පුරා මාධ්‍ය නිදහස ගැනත්, ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය ගැනත් ඓතිහාසික කාරණයක් බවට පෙන්ටගන් පේපර්ස් පත් වුණා.

මාධ්‍ය මුරබල්ලා

මෙදා ඇෆ්ගන් පේපර්ස් හෙළි කරන්න ආණ්ඩුවෙන් තහංචි ආවේ නෑ. අද ඇමෙරිකාව ඊට වඩා දියුණු ලෙවල් එකක ඉඳන් ප්‍රකාශනයේ අයිතිය පිළිගන්නවා.

මාධ්‍යයක කාර්යභාරය වන්නේ හැමවිටම ආණ්ඩුවක් සැඟවූ මෙවැනි දේවල් හෙළි කිරීම.

ලෝකයේ අනෙක් රටවල්වලට වඩා ඇමෙරිකාව විශේෂ වන්නේත් තමන්ගේම රටේ වැරදි ගැන මෙවැනි මාධ්‍යවලින් කරන හෙළිදරව් නිසා. ඇමෙරිකාවට ලෝකයේ රටක් විදියට ගෞරවයක් ලැබෙනවානම් ලැබෙන්න ඕනෑ පොදුවේ ඒ සමාජයේ තියෙන ඔය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය නිසා. කොටින්ම කිව්වොත් ඔය හෙළිදරව් කළාම, මාධ්‍යවේදියාට හිරේ යන්න හෝ මැරුම් කන්න සිද්ධ නොවෙන නිසා. ඇෆ්ගනිස්ථාන යුද්ධයේ අවුල ගැන ඇමෙරිකාව ඇතුළේම සංවාදයක් තියෙන නිසා.

ඒත්, අනෙක් පැත්තෙන් එහෙම තිබුණ පළියට ඇමෙරිකාව ‘මාරයි’ කියන්නත් බෑ. ඇෆ්ගන් අවුල සෑහෙන දුරට ඔවුන්ගේම අවුලක්.