බීරි අලියාට තව වීණාවක්! රට වහන්න කියලා ශ්‍රීලනිපයෙන් ඉල්ලීමක්!

යම් කිසි කාලයකට රට වැසීම හෝ ඇඳිරිනීතිය පැනවීමක් සිදුකළහොත් කොවිඩ් මරණ සහ ආසාදිතයින් ඉහළයාමේ චක්‍රය පාලනය කරන්න පුළුවන් නිසා, රට වැසීම ගැන සලකන්න කියා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඉල්ලලා තියෙනවා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබුණ මාධ්‍ය හමුවකදී. ඒ අනුව ඉල්ලීම එන්නේ රාජ්‍ය ඇමතිවරයෙකුගේ පැත්තෙන් නෙවෙයි ශ්‍රීලනිපය කියන දේශපාලන පක්ෂය පැත්තෙන්.

මේ අවස්ථාවේ රටේ වෛද්‍ය විශේෂඥයින්, විද්වතුන් මෙන්ම දේශපාලන පක්‍ෂ නායකයන්ගේ ද ඉල්ලීම වී ඇත්තේ වසංගතය පාලනයට සති දෙකකට හෝ තුනකට රට වසා බව ඔහු මතක් කරලා.

රටේ පවතින ආර්ථික තත්වය අනුව ඒක අමාරු බව තමන්ට තේරෙනවා කියලත් ඔහු කියා තියෙනවා.

එන්නත් දෙන එක ඉක්මන් කරපු එක හොඳයි, ඒත් ඒක ක්‍රමානුකූල වෙන්නත් ඕනෑ බව ඔහු මතක් කරලා. ඒ වගේම රට වහනවාද, නැද්ද කියා තීන්දු කරන්න ඕනෑ සෞඛ්‍ය විශේෂඥයන් මිස දේශපාලනඥයන් නෙවෙයි කියලත් ඔහු මතක් කරලා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හෙවත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුවක් ඉල්ලපු බවත් ඔහු මතක් කරලා. ඒ රට දැන් තියෙන අර්බුදයෙන් ගොඩ ගන්න නම් සියළු පක්ෂවල මතය වැදගත් නිසා.