අගෝස්තු 23 වැනිදා සිට වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹෙන වෘත්තිය සමිතිවල ඉල්ලීම හුදෙක් රට ලොක්ඩවුන් කිරීම පමණක් නොවන බව අපි කළ විමසීමකදී වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ වසන්ත සමරසිංහ කීවා.
අගෝස්තු 21 සිට එළඹෙන සති අන්තය වෙද්දී රට ලොක්ඩවුන් නොකළහොත් ඊළඟ සතියේ වෘත්තිය සමිති රැසක් එක්ව දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සමග ස්වයං නිරෝධායනයට යොමු වෙන ලෙස රටේ ජනතාවට යෝජනා කිරීමටත් තීන්දු කර ඇතැයි ඔබ දැනටමත් දන්නවා ඇති.
මෙය මීට පෙර වරාය නැගෙනහිර පර්යන්තය අරගලයෙන් පසු ආණ්ඩුවේ අත්තනෝමතික ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයකට විරෝධය පාමින් රටේ වැඩකරන ජනතාව අතරින් පැනනගින දැවැන්ත අරගලයක් වේවි.
විද්‍යාත්මක පදනමක් මත රට වසා දැමීමත්, පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ අඩු තරමේ ලක්ෂයක්වත් කරමින් රෝගීන් හඳුනාගැනීමත්, රෝහල්වල ඇඳන් දසදහසක් පමණ වෙන් කිරීම සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කිරීමත්, එම කාලසීමාවේදී රටේ ජනතාවට අවශ්‍ය සේවා සහ පහසුකම් සැපයීමත් අත්‍යවශ්‍ය බවත් ඔහු සිහිපත් කළා. රටට විදේශිකයන් ඇතුළු කිරීම සීමා කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.
දැනට පවතින පැතිරීම සියයට අසූවක් පමණ පාලනය වනතෙක් එවැනි විද්‍යාත්මක ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත්, අනෙකුත් අර්බුදවලින් රට ගලවාගැනීම ගැන ඉන් පසු සැලසුම් කළ යුතු බවත් ඔහු කීය.
එවැනි සැලසුමක් නොමැතිව හුදෙක් රට වසන ලෙස ඉල්ලීමෙන් පලක් නැති බව ඔහු පැවසුවා.
අගෝස්තු 17 වැනිදා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගැන වෘත්තිය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.
මේ පිළිබඳ විමසීමකදී ක්ෂේත්‍ර ගණනාවක ස්වාධීන වෘත්තිය සමිති විශාල ප්‍රමාණයක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට සහයෝගය දක්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පෙන්වා දුන්නා.
මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට දායක වන වැඩි පිරිසක් රජයේ දෙපාර්මේන්තු සහ ආයතනවල වෘත්තිය සමිති වනු ඇති. අප කළ විමසීමකදී වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ වෘත්තිය ක්‍රියාමාර්ගයට තවත් පාර්ශ්ව එකතු කර ගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව.
කෙසේ වෙතත් අප කළ විමසීමකදී ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලම ස්වාධීන වෘත්තිය සමිතියක් වන එක්සත් වෙළඳ හා පොදු සේවක සංගමයේ (සීඑම්යූ) ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි ප්‍රකාශ කළේ උක්ත ක්‍රියාමාර්යට සහයෝගය පළකිරීම ගැන තවමත් තීන්දුවක් ගෙන නොමැති බව.
මීට අමතරව නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමයේ ඇන්ටන් මාකස් මහතා ප්‍රකාශ කළේ තමන් නියෝජනය කරන වෘත්තිය සමිතිය මෙම ක්‍රියාමාර්ගයට සහයෝගය නොදක්වන බව.
ලංකාවේ ප්‍රධාන කර්මාන්තශාලා ගණනාවක මෙම වෘත්තිය සමිති දෙකේ සාමාජිකයන් සේවය කරනවා. මෙවැනි පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති විවිධ ආයතනවල ශාඛා ගණනාවකින් සැදුම්ලත් ඒවා. ජාතික මට්ටමේ නායකයන්ට ක්ෂණික තීන්දු ගෙන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට සහභාගී වීමේ හැකියාවක් එම වෘත්තිය සමිතිවලට නැහැ. අනෙක් අතට පෞද්ගලික අංශයේ මෙවැනි සේවකයන් බොහොමයක් දවසේ පඩියට වැඩ කරන අය. තවත් අය මාසික වැටුප් ලැබුවත්, ජීවිතය ගැටගසාගන්නේ ඒ ඒ දිනවල වැඩ කිරීිමෙන් ලබන අතිරේක දීමනා මත. පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති මෙවැනි ක්‍රියාමාර්ගයකට යොමු වීම ඔවුන්ගේ පැත්තෙන් ඉතා අසීරුයි.
කෙසේ වෙතත් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එකතු කර ගැනීම සඳහා ඉදිරියේදී සාකච්චා පවත්වනු ඇති.
එම කාරණා කෙසේ වෙතත් වසංගතයක් හමුවේ විද්‍යාත්මක තීන්දු ගන්නා ලෙස බලපෑම් කිරීම සඳහා රටේ වැඩ කරන ජනතාවට වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වීම ඛේදවාචකයක්.