යුක්‍රේනයෙන් ප්‍රභේද ආ බවක් උදයංගගේ කටින් ඉඟි වුණා, චමුදිතගෙ මොළේට අහු වුණේ නෑ! හොරාගෙ අම්මගෙන් පේන ඇසූ හැටි!

ගිය අවුරුද්දේ හෙවත් 2020 දෙසැම්බර් 28 ඉඳන් ජනවාරි 09 දක්වා ශ්‍රී ලංකාවට පැමිණි යුක්‍රේන සංචාරකයන්ගෙන් 4 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයන්යැයි තහවුරු වූ බව රුසියාවේ හිටපු තානාපති සහ පාලක පවුලේ සාමාජික උදයංග වීරතුංග මහතා පිළිගත්තා.

ශ්‍රී ලංකාවට භයානක කොවිඩ් ප්‍රභේද, විශේෂයෙන් බ්‍රිතාන්‍ය ප්‍රභේදය ආවේ යුක්‍රේනයෙන් බවක් ඒ ප්‍රකාශයෙන්ම ඉඟි වෙනවා. ඒ කොහොමද කියලා අපි ඉස්සරහට කතා කරමු.

කොහොම නමුත් යුකේ‍්‍රන සංචාරකයන් මෙරටට කිරීමේ ව්‍යාපෘතිය තමන් නවත්වන්නේ නෑ කියලයි ඔහු කියා තිබුණේ.

චෝදනා ඔක්කොම ප්‍රතික්ෂේප කරමින්, වෛරසවේද විශේෂඥයා වගේ කොවිඩ් ආවේ යුක්‍රේනයෙන් නෙවෙයි කියලා උදයංග වීරතුංග මහතා කයිවාරු ගහපු ඉන්ටවීව් එකකදී තමයි මේ කතාව කියා තිබුණේ.

මීට කලින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගත් යුක්‍රේනයෙන් ප්‍රභේද ආපු බවට වන කතාව ප්‍රතික්ෂේප කළා.

පුදුම වෙන්න දෙයක් නෑ. මේ මනුස්සයාට ඉන්ටවීව් එක දීලා තිබුණේ චමුදිත සමරවික්‍රම. ලංකාවේ නරකම චරිතවලට කතා කරන්න වේදිකා හැදීම කලාවක් නම්, ඒකේ පිකාසෝ තමයි චමුදිත.

මේ වෙද්දී උදයංග වීරතුංග මහතා ඒ රටවලින් පුද්ගලයන් ගෙන ඒමේ බිස්නස් එකක ඉන්න බව දැන් පැහැදිලියි. ඒ බිස්නස් එක කරපු කෙනාගෙන් ලංකාවට කොවිඩ් ප්‍රභේද ආපු විදිය ගැන විශේෂඥ මතයක් ගැනීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් නෙවෙයි කෙළින්ම හොරාගෙන් පේන ඇසීමක් බව අමුතුවෙන් කියන්න ඕනෑද.

හරි නම් මේ මාතෘකාව ගැන කතා කරන්න ඕනෑ ස්වාධීන විශේෂඥයෙක් එක්කයි.

‘සංචාරකයන් ගේන එක මම නවත්වන්නෑ’ කියන්නේ ආණ්ඩුවටත් ඉහළින් ලංකාවට සංචාරකයන් ගෙන්නනවද නැද්ද කියන තීන්දු ගන්න කෙනා බවට වීරතුංග මහත්තයා පත් වෙලා වගෙයි. ඒ තරම් බලයක් උදයංගට කොයින්ද?

සංචාරක බුබල යටතේ ක්‍රියාත්මක කරන ලද එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට කොරෝනා පැතිරුණේ නෑ කියලත් ඔහු කියනවා. හැබැයි ඔහු කියන්නේ කොහොමද? අනෙක ඔහුගේම කතාවේදී ඊට වෙනස් දෙයක් ඉඟි වුණා.

යුක්‍රේනයෙන් එයාලා සංචාරකයන් ගෙන්වනකොටත් දරුණු කොවිඩ් ප්‍රභේද ඒ රටේ තිබුණ බව පැහැදිලිව ප්‍රවෘත්ති වාර්තා වුණා. ඒවා අපේ මාධ්‍යවල ලීවා.

මේ ඉන්ටවීව් එකේදී උදයංග වීරතුංග මහතා කීවා. මාර්තු මාසයේලු යුක්‍රේනයට බ්‍රිතාන්‍ය ප්‍රභේදය ආවා කියලා ප්‍රවෘත්ති ආවේ.

ඒක ඇත්ත. මාර්තු 4 වැනිදා තමයි යුක්‍රේනයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය තියෙන දෙන්නෙක් තහවුරු කළේ. හැබැයි ඒ වෙද්දී යුක්‍රේනයේ සෑහෙන රැල්ලක් පටන් අරන් ඉවරයි. අපේ රටේත් අප්‍රේල්වල කොවිඩ් රැල්ල වැඩි වුණාට පස්සේ තමයි අහවල් ප්‍රභේද තියෙනවා කියලා සැක කළේ.

ඉහළම මට්ටමෙන් හැම රෝගියාගේම ප්‍රභේද හොයන තැනක හැර, අනෙක් රටවල යම් ප්‍රභේදයක් මහා පරිමාණෙන් පැතිරුණාට පස්සේ තමයි ඒක තහවුරු වෙන්නේ.

ඉතින්, යුක්‍රේනයේ මාර්තු 4 තහවුරු වුණාට, ඊට කලින් බ්‍රිතාන්‍ය ප්‍රභේදය නොතිබුණ බවක් කියැවෙන්නේ නෑ.

අනෙක් භයානක  දේ තමයි තවත් භයානක ප්‍රභේද ගණනාවක් 2020 දෙසැම්බර් වෙනකොටම යුක්‍රේනයේ තියෙන බව තහවුරු වුණා.

බිස්නස් ස්ටෑන්ඩර්ට් කියන වෙබ් අඩවියේ 2020 දෙසැම්බර් 31 වැනිදා පළ වුණ වාර්තාවක් තියෙනවා යුක්‍රේනයේ 50 දෙනෙක්ට විතරක් පරීක්ෂණ කිරීමෙන් පස්සේ භයානක ප්‍රභේද කිහිපයක් හම්බවුණ බව. බී1, බී1.1.1, වී1.5, වී2 කියන ප්‍රභේද හම්බවුණා කියලා තමයි ඒකේ තිබුණේ. ඒකත් යුක්‍රේනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයක තමයි තිබුණු බව කියන්නේ.

කාරණාව මෙහෙමයි. තවමත් තිතට තහවුරු වෙලා නෑ. යුක්‍රේන සංචාරකයන්ගෙන් තමයි ආක්‍රමණශීලී කොවිඩ් ප්‍රභේද ආවේ කියලා. සමහරවිට මේ ප්‍රභේද එක තැනකින් නෙවෙයි, තැන් කිහිපයකින්ම ආවා වෙන්න පුළුවන්. යම් රටක ඉඳන් ආපු ශ්‍රී ලාංකිකයෙකුගෙන් ආවා වෙන්නත් පුළුවන්.

ඇයි, ඔය දවස්වලම තමයි එංගලන්තෙ ක්‍රිකට් ටීම් එක ලංකාවට ආවේ. මොයින් අලි පොසිටිව් වුණේ.

අපට සාධාරණව තේරුම් ගන්න පුළුවන්. යුක්‍රේන සංචාරකයන්ට විතරක් බ්ලේම් එක දාන්න බෑ.

ඒත් යුක්‍රේනයෙන් ආපු හතරදෙනෙක් පොසිටිව් වූ බව පිළිගැනීමෙන්ම වීරතුංග මහතාගේ කටින් එළියට පැන්නා. චමුදිත විචක්ෂණශීලී මාධ්‍යවේදියෙක් නම් ඒ ප්‍රකාශය පසුපස යා යුතුව තිබුණා.

කොවිඩ්-19 කියන්නේ මත්ද්‍රව්‍ය ජාතියක් වගේ නෙවෙයි. ‘එහෙන් එක්දාස් දෙසීයක් ආවම හතරක් ළඟ විතරයි තිබුණේ’ කියන්නේ මත්ද්‍රව්‍ය පැකට් නෙවෙයිනේ. එහෙනම් අනුමාන කරන්න පුළුවන්, ‘ආ හතරකට විතරක් තිබුණ නිසා රටටම දුන්නේ එයාලා නෙවෙයි කියලා.’

අපි මේ කතා කරන්නේ ලෝකයේ වේගයෙන්ම පැතිරෙන වෛරස් එක ගැන. දවස් දෙකක් ඇතුළත දෙගුණ තෙගුණ වෙලා පැතිරෙන්න පුළුවන් වෛරස් එකක් ගැන. ඒකේත් වේගයෙන්ම පැතිරෙන ප්‍රභේද ගැන. ඉතින්, හතරදෙනෙක් හිටියා කියන්නේ ටෙස්ට් කරන වෙලාවේ ඇඟේ වයිරල් ලෝඩ් එක අඩු නිසා පොසිටිව් නොවුණ කීදෙනෙක් නිදැල්ලේ යන්න ඇතිද? අර ආසාදිතයන්ගෙන් යම් මතුපිටක වෛරස් එක ගෑවිලා යන්න ඇතිද?

එක පුද්ගලයෙක්ට හෝ ආසාදනය වෙලා නොතිබුණත්, ලගේජ් එකක හෝ වෙනත් භාණ්ඩයක වෛරස් තැවරිලා තිබුණත් ඇති, රටකට ඒ වෛරසය ඇතුළුවෙන්න.

ඉතින් ඔච්චර කටකාර චමුදිතට ඒ කාරණය ගැන තදින් අහන්න හැකියාව තිබුණා. ඒ වගේම යුක්‍රේන සංචාරකයන්ගෙන් ප්‍රභේද ආපු බවට වන පොසිබිලිටි එක ප්‍රතික්ෂේප කරන්නම බෑ. විශේෂයෙන් උදයංගට මාධ්‍ය හමුවකදී ප්‍රතික්ෂේප කරන්න බෑ.

ඒ සංචාරකයන්ගෙන් ප්‍රභේද ආපු බවට සැක කරන්න පැහැදිලි හේතු තිබුණ නිසයි විශේෂඥයන් ගොඩක් යුක්‍රේනයෙන් බඩු ආපු බව අනුමාන කළේ.

මොකද ඇත්තටම ට්‍රැවල් බබල් කිව්වට තිබ්බ බබලක් නෑ. බබල් නීති එයාලා කැඩුවා.

ට්‍රැවල් බබල් කියල දාලා, යුක්‍රේන් සංචාරකයන් එක්ක මාස්ක් නැතිව එකට ඉඳං, ඊට පස්සේ කොළඹ හෝටලේක නැවතිලා මාධ්‍ය සාකච්ඡා තිය තියා, මාධ්‍යවේදීන් සහ පුද්ගලයන් හමුවෙවී නිරෝධායන නීති කඩපු කෙනා වීරතුංග. ඒ ආපු සංචාරකයනුත් බබල් එක කඩලා විවිධ තැන්වල ඇවිදලා, අන්තිමේ කිසිදෙයක් දන්නැතුව ඒ අය අරන් ගිය මිනිස්සුන්ව නිරෝධායනේට දැම්මා. ඒත් එතකොට ඒ අය සමාජයේ හැසිරිලා ඉවරයි.

ඒ විතරක් නෙවෙයි, මීට කලින් අපිම වාර්තාවක් ලීවා ඔය බබල් එකේ තියෙන හෝටල්වලත් හරියට කට්ටිය බෙදලා වෙන් කරලා තිබුණේ නැහැ. හෝටල් සේවකයන්ගෙන් පිරිසක් බබල් එකේ කියලා හෝටලේම නිරෝධායනය වුණා තමයි. ඒත්, හෝටලේ අකවුන්ට් අංශ වගේ අනෙකුත් අංශවල අයට ගෙදර යන්න ලැබුණා. මේ සේවකයන් වර්ග දෙක සාමාන්‍ය විදියට එකිනෙකා මික්ස් වුණ බව ඕවායේ වැඩකරන අය අපිත් එක්කම කීවා.

කොටින්ම කිව්වොත් මේ බබල් එක හැබෑ බබල් එකක් විදියට තිබුණේ නැහැ. ඒකේ තේරුම යුක්‍රේන් සංචාරකයන්ගෙන් කොච්චර ප්‍රතිශතේකට කොවිඩ් තිබුණද, කීයක් පොසිටිව් වුණාද කියන එක නෙවෙයි ප්‍රශ්නය.

එකම එක්කෙනෙක්ගෙන් කොවිඩ් ප්‍රභේදයක් ආවත්, පට ගාලා රට ඇතුළට පැතිරෙනවා. ඒ අනුව සෞඛ්‍ය විද්‍යාත්මක දැනුමක් තියෙන උදවිය යුක්‍රේනයෙන් කොවිඩ් ප්‍රභේද ආපු බව අනුමාන කරන්නේ පදනමක් ඇතිව.

කිසි සෞඛ්‍ය දැනුමක් නැති මේ මනුස්සයා කොච්චර බෙරිහන් දුන්නත්, මේකෙන් දරුණු ප්‍රභේද ආපු නැති බව, ඒක අපි පිළිගන්නේ කොහොමද?

විශේෂයෙන් මෙතැන ප්‍රශ්නගත මාතෘකාව යුක්‍රේන අයගෙන් කොවිඩ් ආවාද නැද්ද කියන ප්‍රශ්නයම නෙවෙයි. මෙහෙම අවදානමක් තියෙන වෙලාවක, වගකීම් විරහිත විදියට සංචාරකයන් ගෙනාපු විදිය ගැනයි ප්‍රශ්නය තියෙන්නේ. ඒකයි මෙතැන මාතෘකාව. ඒ වගකීම ගැනයි ඔහුගෙන් ප්‍රශ්න කරන්න ඕනෑ.

දුම්බීම පිළිකා ඇති කරයි කියන එක වෛද්‍ය විද්‍යාත්මක ඇත්තක්. ඒ නිසාම කවුරුහරි දුම්බොනවා කියන්නෙ ඒක තමන් ගැනම වගකීම් විරහිත වැඩක්. විචාරශීලී මනුස්සයෙක් දුම් බොනවනං බොන්නෙ ඒ බව හොඳට දැනගෙන. ඒ වගේම එහෙම කෙනෙක් තව කෙනෙක්ට හානිකර විදියට දුම්බොන්නේ නෑ.

හැබැයි අනෙක් පැත්තෙන් දුම්බොන හැමෝටම පිළිකා හැදෙන්නෙ නැති බවත් ඇත්තක්. පෙණහළු පිළිකා හැදුණ හැමෝම දුම්බීපු අය නොවන බවත් ඇත්තක්.

හැබැයි ඔය දෙවැනි තුන්වැනි කාරණා පාවිච්චි කරමින් කාටහරි වගකීම් විරහිත විදියට හැසිරෙන්න පුළුවන්ද? තමන් දුම්බීව එක සාධාරණීකරණය කරන්න පුළුවන්ද? විශේෂයෙන් අනෙක් අයටත් දුම ආඝ්‍රාණය වෙන විදියට දුම් බිව්වොත් ඒක හරිද?

සාටකේ දාලා හරි කෝට් එක ඇඳල හරි නෙවෙයි, සරමක් ඇඳන් ඔළුවෙන් හිටං ඔහු කිව්වත්, යුක්‍රේනයෙන් සංචාරකයන් ගෙන්වීමත්, ගෙන්නපු විදියත් අතිශය වැරදි වැඩක්. වැරදි ක්‍රමවේදයක්. අපේ ආර්ථිකේ ගොඩගියේත් නෑ. අනවශ්‍ය අවදානමක් ඇති වුණා විතරයි.

චමුදිතලා කොච්චර හාඩ්ටෝක් කියල පෙන්නුවත්, ඔය ටික ප්‍රශ්න කරන්න ඔහුට බෑ.