ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමට අදාල, ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ප්‍රධානම ආයතනය වන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටවූ පනත සංශෝධනය කරන්නට ආණ්ඩුව තීන්දු කරලා. අගෝස්තු 17 වැනිදා කැබිනට් තීන්දු අතර එම තීන්දුව තිබෙනවා.
වත්මන් ආණ්ඩුව ඖෂධ නියාමන අධිකාරියට කරන ලද බලපෑම් අනුව, මේ පනත සංශෝධනයත් එවැනි අරමුණකින් කරන එකක්දැයි සැකයක් ඇති වෙනවා. බොහෝ අය අවධානය යොමු නොකරන ආයතනයක් වුණත්, ඖෂධ නියාමන අධිකාරිය කියන්නේ රටේ ජීවිත එක්ක සෙල්ලම් කරන විශේෂ ආයතනයක්.
ඒ තීන්දුව මෙහෙමයි.
‘2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් සංශෝධණය කිරීම සඳහා 2019 මාර්තු මස 12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීම සඳහ එකී පනත තවදුරටත් ශක්තිමත් කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව මහජන අදහස් ලබා ගනිමින් තවදුරටත් සිදු කළ යුතු සංශෝධන හඳුනාගැනීම සඳහා කමිටුවක් පත් කිරීමටත්, හඳුනාගනු ලබන එකී සංශෝධන ඇතුළත් කරමින් 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහාත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.’
ඖෂධ කියන්නේ ගොඩක් අය කතා නොකරන ලෝකයේ ලොකුම ජාවාරමක්. ඒ වගේම නින්දිතම ජාවාරමක්. මිනිසුන් බොන බෙහෙත් ටිකෙන් වංචා කිරීම ඉතා නරක බව අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි.
සරලව කීවොත් ලංකාවේ මිනිසුන්ට ලබා දෙන ඖෂධ වර්ගවලට සහ ඖෂධ වර්ග ආනයනයට අනුමැතිය දෙන ආයතනය තමයි ඖෂධ නියාමන අධිකාරිය. මිනිසුන්ට අහිතකර බාල ඖෂධ වර්ගවලට කොමිස් අරන් අනුමැතිය ලබා දීම හෝ රටේ මිනිසුන් පර්යේෂණ මීයන් කරමින් ඖෂධවලට අනුමැතිය ලබා දීම සිදු විය හැකියි. විශේෂයෙන් දූෂිත ඖෂධ සමාගම් තුන්වැනි ලෝකයේ රටවල්වලට බාල ඖෂධ දෙනවා.
වෛද්‍ය සේනක බිබිලේ සටන් කළේ එයට විරුද්ධව. ඔහුගේ ඖෂධ ප්‍රතිපත්තියේ එක කොටසක් තමයි කාගේවත් බලපෑමට යට නැති, විද්වත් තීන්දු ගන්න ඖෂධ නියාමන අධිකාරියක් හැදීම.
මෙම පනත 2015 දී ගෙන ඒම යහපාලන ආණ්ඩුව ගත් ඉතාමත් වැදගත් පියවරක්. එහෙත්, ඒ පනතේ අඩුපාඩුත් නොතිබුණා නෙවෙයි.
ඖෂධ නියාමන අධිකාරියට ස්වාධීන නිලධාරීන් පත් වුණත්, එහි ස්වාධීනත්වයට බාධා වෙන ලක්ෂණ තිබුණා. කිහිප
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යටතේම මෙම ආයතනයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කරමින් එහි ප්‍රධානීන් දෙදෙනෙකු දේශපාලන ගැටුමකට මැදි වී මාරු කරනු ලැබුවා.
වත්මන් ආණ්ඩුවත් එවැනිම බලපෑමක් කළා. බලයට පත්වීමෙන් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරියට සයිනොෆාම් එන්නතට අනුමැතිය දෙන ලෙස ඉල්ලමින් බලපෑම් කළා. එම බලපෑම් හමුවේ ඇතැම් නිලධාරීන් ඉල්ලා අස් වූ අතර, ආණ්ඩුවේ නායකයන් තමන්ට හිතවත් පුද්ගලයන් එතැනට පත් කළා.
එවැනි තත්වයක් හමුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතට සංශෝධන ඉදිරිපත් කරනවා නම් කරන්න ඕනෑ ඒක තවත් ස්වාධීන, කාටවත් බලපෑම් කරන්න බැරි ආයතනයක් බවට පත් කිරීම.
ඒත් මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් 20 වැනි සංශෝධනය ආදී ක්‍රියාවලින් කළේ ස්වාධීන ආයතනවල කොඳු කැඩීම.
ඒ නිසා ඖෂධ පනතටත් මොනවා වේවිදැයි රටේ මිනිස්සුන්ගෙ ජීවිත ගැන උනන්දු වෙන අය විමසිල්ලෙන් බලා ඉන්න ඕනෑ.