බේසෝස් නාසාට නඩු දාලා! ඒ ඊලෝන් මස්ක්ට මනාපෙ දුන්නාට විරුද්ධව!

ඇමසන් සමාගමේ අයිතිකාරයා වගේම ලෝකෙ ලොකුම ධනවතෙක් වෙච්ච බිලියනපති ජෙෆ් බේසෝස් නාසා කම්පැණියට විරුද්ධව නඩුවක් දාලා.

බිලියන 2ක වන්දියක් ඉල්ලලා මේ නඩුව දාලා තියෙන්නේ ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් කම්පැණියට නාසා ආයතනයේ චන්ද්‍ර යානාවක කොන්ත්‍රාත්තුවක් දුන්න එකට විරුද්ධව. බේසෝස් කිව්වට ඒ මනුස්සයා උසාවියට ගිහින් නෙවෙයි. ඔහුට අයිති බ්ලූ ඔරිජින් කියන කම්පැණිය තමයි නඩුව දාලා තියෙන්නේ.

සෝවියට්කාරයා බැල්ලියෝ යැව්ව, ඇමෙරිකන්කාරයෝ හඳට ගිය කාලෙන් පස්සේ ලෝකෙ අභ්‍යවකාශ සීතල යුද්ධය තියෙන්නේ දැන්. එක් පැත්තකින් රටවල්වලින් අභ්‍යවකාශ වැඩසටහන් කරනවා. දැන් ඉන්දියාව, එක්සත් අරාබි එමීර් සහ චීනය ඇතුළු රටවල් සෙට් එකක් මේ වැඩේ කරනවා.

ඒත්, මේ අලුත් අභ්‍යවකාශ සටන උණුසුම් කරන්නේ බිලියනපතියෝ. ඊලෝන්ගේ ස්පේස් එක්ස්, බේසෝස්ගේ බ්ලූ ඔරිජින්, රිචඩ් බ්‍රැන්සන්ගේ වර්ජින් ගැලැක්ටික් වගේම බෝයිං ආදී සමාගම් මේ සෙල්ලමේ ඉන්නවා.

බ්ලූ ඔරිජින් කියන්නෙ ඔය ජෙෆ් බේසෝස්ගේ වාණිජමය අභ්‍යවකාශ ගමන් සඳහා හදපු සමාගම. සරලව කීවොත් අභ්‍යවකාශෙට යන වැඩ වලින් සල්ලි හොයන සමාගමක්. අභ්‍යවකාශෙට යන්නට අවශ්‍ය සේවා සපයලා සල්ලි ඉපයීම තමයි වැඩේ. ඉතින් ඒ වෙනුවෙන් සල්ලි ගොඩක් යට කරලත් ඇති.

ඉතින් එහෙම ‘අභ්‍යවකාශ බිස්නස්’ පඳුරකට ගලක් ගැහුවොත් විසිවෙනවායැ.

මොකෝ ලංකාවේ පාරවල් හදන කොන්ත්‍රාත් නෙවෙයිනේ. මේ කියන කොන්ත්‍රාත් එක ස්පේස් එක්ස් සමාගමට දීලා තියෙන්නේ ඩොලර් බිලියන 2.9ක වටිනාකමකට.

ඒත් ඒ වැඩේම ඩොලර් බිලියන 2ක වටිනාකමට කරන්න බ්ලූ ඔරිජින් යෝජනා ඉදිරිපත් කරලා. ඒත්, නාසා ආයතනය ඒ යෝජනාව හලලා ස්පේස් එක්ස් යෝජනාව බාර අරන්. ඒකට තමයි බ්ලූ ඔරිජින් විරෝධය දක්වන්නේ.

වෙලා තියෙන දේ සංකේතාත්මකව කීවොත් ‘ඔය මස්ක් කොලුව තරුණකමට ලස්සනට හිටියට ඊට වඩා මං හොඳයි. මට මනාපෙ දෙන්න’ කියල.

නාසා ආයතනය ඉදිරි කාලයේදී හඳ මත පොඩි ජනපදයක් හදන්නත් ලෑස්ති වෙනවා. ජනපදයක් කීවාට ඒක ජනපදයක්ම නෙවෙයි. සඳේ අභ්‍යවකාශ තොටුපොළක්. අනාගතේ අඟහරු යනගමන්, උල්කාපාතයක ඛනිජ හාරන්න යන ගමන් යානය නවත්තලා තේ එකක් බීල යන්න වගේ තැනක්.

හරියටම කීවොත් තේ බොන්න නෙවෙයි. ඉන්ධන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න වගේ කටයුතුවලට.

ඒ වගේම හඳ මත පර්යේෂණ කරන්නත් ඒ වැඩේ ලේසි වේවි.