ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට ඇතුළු වූ තාලිබාන් සංවිධානයේ පාලනය යටතේ ඇෆ්ගනිස්ථානයේ බුදුපිළිමවලට හානි නොකරන බව එහි මාධ්‍ය ප්‍රකාශක සුහේල් ෂහීන් ඩේලි මිරර් පුවත්පත කළ විමසීමකදී කියා තිබුණා.
‘බුදුපිළිමවලට හානි කරනු ඇතැයි පැතිරෙන අදහස් ප්‍රතික්ෂේප කරනවා.’ ඔහු එසේ කියා තිබුණා.
ඊට අමතරව ඔහු එල්ටීටීඊ සංවිධානය සමඟ තාලිබාන් සංවිධානයට සම්බන්ධතා ඇතැයි පළවෙන අදහස් ප්‍රතික්ෂේප කර තිබුණා. ‘අපි ඇෆ්ගනිස්ථානය පසුගිය වසර 20ක් තිස්සේ විදෙස් පාලනයෙන් ගලවාගැනීමට සටන් කරනවා. අපි ස්වාධීන විමුක්ති අරගල සංවිධානයක්. එල්ටීටීඊ එක්ක සම්බන්ධයක් නැහැ.’ ඔහු කියා තිබුණා.
වැඩිදුරටත් ඔහු තර්ක කර තිබුණේ තාලිබාන් සංවිධානය විමුක්ති සංවිධානයක් වන නිසා ‘ත්‍රස්තවාදීන්’ ලෙස ඔවුන්ව හැඳින්වීම නුසුදුසු බව.
කෙසේ වෙතත් මීට පෙර තාලිබාන් සංවිධානය පාවිච්චි කළ උපායමාර්ග බොහොමයක් ත්‍රස්තවාදී උපායමාර්ග. එමෙන්ම අන්තවාදී ආගමික අදහස් මත පදනම් වූ, කාන්තාවන්ගේ අයිතිවාසිකම් ඇතුළු මිනිස් අයිතිවාසිකම් සීමා කරන විශ්වාස ඔවුන් පදනම් කර ගන්නවා.
එමෙන්ම මීට පෙර 2001 දී බෞද්ධ ඉතිහාසයේ වටිනාම පුරාවස්තු කලාපයක් සහ ආගමික පුදබිමක් වූ බාමියන් බුදුපිළිම විනාශ කළේ තාලිබාන් ත්‍රස්තවාදීන්.
කෙසේ වෙතත් මෙවැනි ප්‍රකාශ සිදු කිරීම, ඉදිරියේදී රජයක් ලෙස ලෝකයේ පිළිගැනීම ලබාගන්නට තාලිබාන් සංවිධානය ගන්නා උත්සාහයක ප්‍රතිඵලයක් විය හැකියි. හැකි තරම් රටවල් ප්‍රමාණයකින් ‘නිල රජයක්’ ලෙස පිළිගැනීමක් ලැබීම තාලිබාන් සංවිධානයට වාසිදායකයි.