ඊ-නිව්ස් මාධ්‍යවේදියා මරන්න සැලසුමක්ද? නීතිඥයා ප්‍රශ්න කරලා

අගෝස්තු 14 වැනිදා අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී කීර්ති රත්නායකගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා කියලා ඔහුගේ නීතිඥ උපුල් කුමරප්පෙරුම ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලිපියකින් දැනුම් දීලා.

කීර්ති රත්නායක කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට අනතුරක් ඇතැයි තොරතුරක් ලැබී, එය පිළිබඳ වාර්තා නොකර ආරක්ෂාව වෙනුවෙන් එම කාර්යාලයට අනතුරු හඟවා තිබුණා. ඔහු කළ වගකීම් සහගත ක්‍රියාවට උත්තරය වුණේ කොළඹ අපරාධ කොට්ඨාශයෙන් අත්අඩංගුවට ගැනීම.

නීතිඥ උපුල් කුමරප්පෙරුමගේ උපදෙස් මත නීතිඥ අමිල එගොඩවත්ත සීසීඩීයට ගොහින් මේ ගැන විමසා තිබුණාම පොලීසියෙන් දැනුම් දී තිබුණේ කීර්තිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මත රඳවා තබාගැනීමට නියෝගයක් ගන්නා බව.

අගෝස්තු 16 වැනිදා පෙරවරුවේ කීර්ති රත්නායක මහනුවරට රැගෙන යෑමට සැලසුම් කර ඇතැයි තමන්ට මිතුරෙකු මාර්ගයෙන් දැනගන්නට ඇතැයි උපුල් කුමරප්පෙරුම මහතා සිය ලිපියේ සඳහන් කර තිබෙනවා. එය කීර්ති රත්නායකගේ ජීවිතයට අනතුරක්දැයි ඔහු විමසලා.

මේ පොලීසිය ලංකාවේ පුරවැසියන්ට කියා දෙන්නේ අමුතු පාඩමක්.

ඔබ ළඟ යම් ආරක්ෂාව ගැන තොරතුරක් තිබුණොත් කියන්න එපා, එහෙම වුණොත් අත්අඩංගුවට අරන් හිරේ දානවා.

පුරවැසියන්ට දෙන්නේ එවැනි පණිවිඩයක්ද?

සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කරු ජයසූරිය මහතා මේ අත්අඩංගුවට ගැනීම ගැන නිවේදනයක් නිකුත් කරලා තිබුණා.

‘ලංකා ඊ නිවුස් ආයතනයේ මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව අපගේ බලවත් අවධානය යොමු වී තිබේ. ඔහුගේ නීතිඥයන් ප්‍රකාශ කරන අන්දමට කීර්ති රත්නායක මහතා අත්අඩංගුවට ගැනීමට තුඩුදුන් කරුණක් පිළිබඳව පොලීසිය විසින් නිශ්චිතව කිසිවක් සඳහන් කර නැත.

එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පමණක් සඳහන් කර ඇත. එය ඉතාමත් භයානක ප්‍රවනතාවයකි. එබැවින් අප පොලීසිය ද ඇතුළු වගකිව යුත්තන්ගෙන් අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටින්නේ කීර්ති රත්නායක මහතා අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු ප්‍රථමයෙන්ම රටට හෙළිදරව් කරන ලෙසටය.

එමෙන්ම ඔහුට එරෙහිව ඉදිරිපත් කළ හැකි චෝදනාවක් වෙත්නම් ඒ බව සඳහන් කරමින් අධිකරණයක් හමුවට යොමු කරවන ලෙසය. නොඑසේ නම් ඔහු නිදහස් කරන ලෙසය.

මේ පිළිබඳව ඔහුගේ නීතිඥයන් සහ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට කීර්ති රත්නායක මහතා අත්අඩංගුවට ගැනීමට පසුබිම වී ඇත්තේ විදේශ දූත මණ්ඩල කාර්යාලයක ආරක්ෂාවට අදාළ කරුණක් අදාළ ආයතනය වෙත දැනුම් දීමය. එය එසේ නම් එය පණිවුඩයක් ලබාදීමකි. එය එසේ වන්නේ නම් එය සැලකිය හැක්කේ පණිවිඩකරුවකු අත්අඩංගුවට ගැනීමක් ලෙසටය.

විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එවැනි අත්අඩංගුවට ගැනීමක් විමතිය දනවන කරුණකි. එමෙන්ම අසාධාරණ ක්‍රියාවකි. ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි. ඒකාධිපති ක්‍රියාදාමයකි.

මේ රටේ ජනමාධ්‍ය වේදින් බොහෝ දෙනෙකුට පසුගිය කාලය තුළ අත්ව ඇති ඛේදජනක ඉරණම සලකා බැලීමේදී මෙවැනි සිදුවීම් අප තුළ මහත් තැති ගැන්මක් ඇති කරවයි. එමෙන්ම එවැනි ක්‍රියා තවදුරටත් ඒ ආකාරයෙන්ම සිදුවීමේ පෙර නිමිති පහළ වන්නේ ද යන සැකය අප තුළ ඇති කරවයි. එබැවින් මේ පිළිබඳව සමස්ථ සමාජයේම දැඩි අවධානය යොමුවිය යුතුව තිබේ.

එබැවින් අප මේ මොහොතේ පොලීසිය ද ඇතුළු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ කීර්ති රත්නායක මහතාගේ ජීවිත ආරක්ෂාව සහතික කරමින් කටයුතු කරන ලෙසය. එමෙන්ම ඔහුට එරෙහිව නැඟිය හැකි සාධාරණ චෝදනාවක් වෙත් නම් නොපමාවම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසය. නොඑසේ නම් වහාම ඔහු නිදහස් කිරීමට කටයුතු කරන ලෙසය.’

මේ පිළිබඳ ඊනිව්ස් කතෘ සඳරුවන් සේනාධීර මෙහෙම ලියලා තිබුණා.

‘ලංකා ඊ නිව්ස්හි ආරක්ෂක සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන මාධ්‍යවේදී කීර්ති රත්නායක මීට ස්වල්ප මොහාතකට පෙර කුප්‍රකට කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය හෙවත් සීසීඩීය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු සිටි නවාතැන වටලා අත් අඩංගුවට ගත් පිරිස මේ වන විට හෝමාගම පොලිසියේ රැඳී සිටින බව වාර්තා වේ. අත් අඩංගුවට ගත් නිලධාරියා කීර්ති අත් අඩංගුවට ගැනීමට හේතුව ලෙස සඳහන් කරන්නේ ඔහු ලියා ඇති දේ පිළිබඳ සත්‍ය අසත්‍යතාවය සෙවීම පිණිස අත් අඩංගුවට ගත් බවයි.

හෙට ඉන්දීය නිදහස් දිනය දා කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි පුරෝකථනයක් කරමින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයට දැනුම් දුන් අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය යැයි කියා අද(14) උදෑසන 10 ට කොල්ලුපිටිය පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂක මිද්දෙණිය නමැති නිලධාරියෙකු හමුවන්නැයි ජ්‍යෙ.නි.පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දුරකථනය මගින් කීර්තිට දැනුම් දී තිබිණ. ඔහු ඊට එකඟතාවය ප්‍රකාශ කර තිබියදී ඊයේ සවස සහ රාත්‍රිය පුරා ඔහුගේ අඹු දරුවන්ගේ දෙමාපියන්ගේ නිවෙස් වෙත සහ හිතවතුන්ගේ නිවෙස් වෙත පොලිසිය හඹා යමින් ඔහු පිළිබඳ තොරතුරු විමසමින් සිටියේ ය.

ලංකා ඊ නිව්ස් ලන්ඩන් කාර්යාලය සමග අවසන් වරට අද උදෑසන 9 ට පමණ අදහස් දැක්වූ අවස්ථාවේ දී කීර්ති කියා සිටියේ ඔහු දැන් කොල්ලුපිටිය පොලිසිය බලා ගමන් කිරීමට සූදානම් වන බවත් ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරිනියක් ද පොලිසිය වෙත පැමිණෙන බව තමන්ට දැනුම් දුන් බවයි.

ඒ අතරතුර දී සීසීඩීය විසින් අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඔහු තමන්ට ලැබුණු ආරක්ෂක තොරතුර මාධ්‍යයේ ප්‍රසිද්ධ නොකෙළේ ය. කෙළේ වඩා සැලකිලිමත් වීම සඳහා අදාල අංශය වන ඉන්දීය තානාපති කාර්යාලය වෙත දැනුම් දීම ය. දැන් සිදුවන්නේ ඉන්දීය තානාපති කාර්යාලය දඩමීමා කරගෙන සාක්ෂි කරුවෙක් විය යුතු පුද්ගලයා විත්තිකාරයා කරමින් තමන්ට හිසරදයක් වී සිටි මාධ්‍යවේදී කීර්ති රත්නායක දඩයම් කිරීම ය.’