නිල වශයෙන් උපදෙස් දුන්නෙ නෑ! දුන්නානං වහනවා – ඇමති චන්න කියයි

රට වැසීම සඳහා නිල වශයෙන් සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලැබෙනවානම් එය ක්‍රියාවට නංවන්නට පැකිළෙන්නේ නැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන කියා තිබෙනවා.

ඒ අනුව ඔහු රට වැසීමට උපදෙස් දෙන සංවිධානවලට ‘දේශපාලන බලවේගවල බළල් අත්’ ලෙස චෝදනා එල්ල කර තිබෙනවා. දේශපාලන බලවේගයක බර කකුලක් වන ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රමුඛ ලංකාවේ ගෞරවණීයම සංවිධානවලට ‘බළල් අත්’ ලෙස චෝදනා කිරීම උත්ප්‍රාසජනකයි.

සැබෑවට නිදාගෙන සිටින අය ඇහැරවීමට හැකි වුණත්, බොරුවට නිදාගෙන ඉන්න අය අවදි කරන්නට බැරි බව කතාවක් තියෙන බවත් අතුරු කාරණයක් විදියට සිහි කළ යුතුයි. ආණ්ඩුවට රට ඇරීමේ වුවමනාවක් නැති බවත් වෙනත් ආකාරයකට ‘ඇරීමේ’ වුවමනාවක් තියෙන බවත් පැහැදිලියි.

නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් හත්පට්ටයක් හෙව්වත් එකයි, නැතත් එකයි.

ඉතින්, ‘විශේෂඥ උපදෙස් ආවත්’ අරීවිද?

චන්න ජයසුමන රාජ්‍ය අමත්‍යවරයාගේ ප්‍රකාශය පහතින්.

“වසංගත රෝග විද්‍යා ඒකකය තියෙනවා. කොවිඩ් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධන බළකායක් තියෙනවා. ඒ වගේම ඊට පරිබාහිරව කටයුතු කරන විවිධ අධ්‍යයන ආයතන, වෘත්තීය සමිති ගණනාවක් තියෙනවා. එතකොට අපිට නිල වශයෙන් දෙන උපදෙස් නිර්දේශ ක්‍රියාත්මක කරන්න අපි බැඳී සිටිනවා. හැබැයි දේශපාලන බලවේගවල බළල් අත් හැටියට වැඩකරන ඇතැම් පුද්ගලයෝ ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ආණ්ඩුව පෙරළන්න. රට වහන්න සෞඛ්‍ය අංශවලින් නිල වශයෙන් අපිට උපදෙස්, නිර්දේශ ලැබෙනවා නම් එය ක්‍රියාවට නංවන්න අපි පැකිලෙන්නේ නෑ. ඒ වගේම එදිනෙදා ආදායමක් හොයාගෙන ජීවන්වෙන මිනිස්සුන්ටත් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ.”