අවුරුදු 40ක ඉතිහාසයක්! සුපර්ස්ටාර්ගේ චිත්‍රපටිය නැවත මතුවීමක් Netrikann 2021 විචාරය

නයනතාරාගේ අලුත්ම චිත්‍රපටිය නෙට්රි කන්. මේ චිත්‍රපටියේ අඩුපාඩු දෙකක් සහ ප්‍රබලතා ගොඩක් ගැන අපි කතා කරනවා. ලේඩි සුපර්ස්ටාර් නයනතාරා නැවත වතාවක් අපට රසවිඳින්න පුළුවන් හොඳ චිත්‍රපටියක් ගෙනල්ලා තියෙන බව කියන්න ඕනෑ.

ඒ වගේම සුපර්ස්ටාර් ලෙවල් එකේ රංගනයක ඇය නිරත වෙන බව කියන්න ඕනෑ.

මේකේ ප්ලොට් එක මෙහෙමයි. නයන්තාරා සීබීඅයි නිලධාරිනියක්. ඒත් ඇය මුලින් හිතුවක්කාර විදියට කරපු වැඩක් නිසා ලොකු අනතුරක් සිද්ධ වෙනවා. ඇගේ ඇස් අන්ධ වෙනවා. රස්සාවත් නැති වෙනවා. දෑස් නොපෙනෙන ඇය අර සීබීඅයි නිලධාරිනිය වගේ නෙවෙයි. අසරණයි.

මේක හරිම ලස්සනට රූපයට නගලා තියෙනවා. නයන්තාරා දන්නවානේ. බැලූ බැල්මට රැජිණක් හෝ දේවතාවියක් වගේ. කොහොමත් මේකප් තොගයක් සහ රාජකීය ගමනක් එක්ක ඇයට ඉහළ කාන්තා පෞරුෂයක් තියෙනවා.

මුලින් පෙන්වන්නේ එහෙම මාස් නයනතාරා කෙනෙක්. මාර පෞරුෂයක් එක්ක ක්ලබ් එකකට කඩාවැදිලා, ඔක්කොම අන්දමන්ද කරලා ඇය තමන් කවුද කියල පෙන්වනවා.

ඒත්, ඇස් පේන්නේ නැති වුණ ගමන් ඇය අසරණ වෙනවා. සුදු සැරයටිය එක්ක, හරියට පාර පනින්නවත් අමාරු විදියට ඇය තනි වෙනවා. කලින් කීව පෞරුෂයෙන් පිරිච්ච රාජකීය නයනතාරා අසරණ තරුණ කාන්තාවක් බවට මාරු වෙන හැටි හරිම ලස්සනයි.

එතැනින් පස්සේ ඇය සටන් කරන්නේ බුද්ධිමත්, දහයකට වුණත් එකපාර ගහන්න පුළුවන් හිත්පිත් නැති සූක්ෂම අපරාධකාරයෙක් එක්ක. කාන්තාවන් පැහැරගෙන ලිංගික හිංසා කරන මිනීමරුවෙක් එක්ක. කතාව පුරා කිහිප වතාවක් මේ දෑස් නොපෙනෙන වීරවරිය සහ නපුරු දුෂ්ඨයා මුණගැහෙනවා. ඒ හැම අවස්ථාවේම ඇය යාන්තමට බේරෙන්නේ.

එක වෙලාවක සංකේතාත්මකව ඇය කියනවා තමන් බැටළුවෙක්, දුෂ්ඨයා වෘකයෙක් බව. ඒත්, ඇය නිකම්ම බැටළුවෙක් නෙවෙයි ධෛර්යය සම්පන්න බැටළුවෙක් බව ඇය කියනවා.

ඇත්ත, මේකේ කතා කරන්නේ ඇගේ ධෛර්යය ගැන. කොච්චර අසරණ වුණත් දුෂ්ඨයා එක්ක මුහුණට මුහුණ හැප්පෙන්න නැවත නැවතත් ඔහුගෙ ඉස්සරහට යන්න ඇය බය නෑ.

ඉතින්, අන්තිමේදී ඇයට පුළුවන්ද දුෂ්ඨයාව පරද්දන්න. ඕකයි කතාව. අපි මුලින් කිව්වනෙ චිත්‍රපටිය මුලදී ඇය වැරැද්දක් කරපු බව. අන්තිමේදී ආපහු ඇය ඒ වගේම අවස්ථාවකට මුහුණදෙනවා. ඇය මුල්ම වතාවේ කරපු වැරැද්ද ආයෙමත් කරයිද? ඕකයි ප්‍රශ්නය.

මීට අමතරව තව නියම උප ප්‍රධාන චරිත දෙකක් මේකේ හම්බවෙනවා. එකක් තමයි එස්අයි මනිකන්නන්. මේ තරුණ පොලිස් නිලධාරියා පොලීසියේම ජෝක් එකට ලක්වෙච්ච කෙනෙක්. කිසිම සීරියස් වැඩක් මිනිහට බාරදෙන්නෙ නෑ. නයනතාරාගේ කේස් එකත් අන්ධ කෙල්ලෙක්ගෙ පිස්සු කේස් එකක් කියල හිතලයි බාර දෙන්නෙ.

අනෙක් චරිතය ගෞතම්. ශරන් ශක්ති කියන මරු තරුණ නළුවා ඒ චරිතය රඟපානවා. ඇත්තටම නයනතාරාගේ දුර්ගා චරිතයත්, මනිකන්නන් චරිතයත්, ගෞතම් කියන තරුණයාත් එකිනෙකාව අඳුනන අය නෙවෙයි. ඒ වගේම මේ තුන්දෙනා කාත් කවුරුවත් නැතිව තනි වූ තුන්දෙනෙක්. පවුලක්, යාළුවෙක් හරියට නෑ.

නොසිතූ අනතුරක් මැද්දේ හම්බවෙන මේ තුන්දෙනා චූටි පවුලක් බවට පත්වෙන හැටි. එකිනෙකා කෙරෙහි බැඳීම් හදාගන්න හැටි සංවේදී විදියට මේ කතාවේ එනවා. මේකේ එක තේමාවක් තමයි ඒ අනාථ බව. හැබෑම දෑස් නොපෙනීම කියන්නේ තනිකම නේද? තනි වීම කියන්නේ ඇස් අහිමි වීමක් වගේ නේද? මෙච්චර මිනිස්සු ඉන්න ලෝකෙ කොච්චර තනිවුණත් අලුත් සම්බන්ධතා හදාගන්න පුළුවන් නේද?

ඒ වගේ තේමා ලස්සනට මතු වෙනවා.

මේ චිත්‍රපටියේ අපි දැකපු ලොකුම අඩුව තමයි දුෂ්ඨයා. අජ්මල් අමීර් මේ චරිතය ගැන කිසිම අවබෝධයක් නැතිවයි රඟපාන්නේ. ඔහු උසයි, බැලූ බැල්මට ඒ චරිතයේ භයානකකම පෙනුමේ තියෙනවා. ඒත් රංගනය අන්තිම දුර්වලයි. මානසිකව විකෘති වෙච්ච මිනීමරුවෙක් වෙන එක ලේසි නෑ. ඇස් ලොකු කර කර අමුතු ඩයලොග් කිව්ව පළියට ඒ උමතුව රංගනයෙන් මතු වෙන්නේ නෑ.

දෙවැනි අඩුව තමයි ඩයලොග්. දුෂ්ඨයා දුර්වල වෙන්නත් ඒ ඩයලොග්වල දුර්වලකම බලපෑවා. මේකේ මුලින්ම තියෙනවා කාර් එකේ යන ගමන් නයනතාරා සහ ඇගේ මල්ලි කතාකරන අන්තිම දුර්වල ඩයලොග් එකක්. ඔයා මගේ මල්ලි, ඒත් අපි දෙන්නා එක්කුස උපන් අය නෙවෙයි, ඔයා නරක යාළුවන් ආශ්‍රය කරනවට මං කැමති නෑ වගේ විස්තර ටික ඔක්කොම කියාගෙන යනව. සෞඛ්‍ය උපදෙස් දෙන මාධ්‍ය සාකච්ඡාවක වගේ ප්‍රේක්ෂකයන්ට මේ චරිතවල පසුබිම ගැන විස්තරයක් ඉදිරිපත් කිරීමක් වගේ.

තව එක්තරා ඇක්ෂන් මොහොතක දුෂ්ඨයා කියනවා මං උඹට කරන දේ ගැන හිතද්දීත් බයයි වගේ ඩයලොග් එකක්. කලින් කිව්ව වගේ දුෂ්ඨයගෙ ඇක්ටින් අවුල් නිසාත් ඒ ඩයලොග් එක එන්නේ අවුල් විදියට. ඒකට නයනතාරගේ උත්තරයත් හරිම දුර්වලයි. දුෂ්ඨයයි, මේ දෑස් නොපෙනන වීරවරියයි මුණගැහෙන අවස්ථා කිහිපයක් තිබුණත්, ඩයලොග්වලින් ඒ අවශ්‍ය ටෙන්ෂන් එක ගොඩනගන්න බැරි වෙලා.

ඒත්, ඒ අඩුපාඩු දෙක සම්පූර්ණයෙන් වැහෙනවා කාරණා ගොඩක් නිසා. ප්‍රධානම දේ තමයි මේ වීරවරියගේ අසරණකම නිසා අපට දැනෙන බය. ඒ වගේම නිකං බබා හුකුං නැතිව මුල ඉඳන් අග දක්වා චිත්‍රපටියෙ කේන්ද්‍රීය චරිත මරලා දාන්න අධ්‍යක්ෂවරයා බය වෙලා නෑ. ඒ නිසාම අහිමිවීම ගැන සැබෑම ඉමෝෂන් චිත්‍රපටිය පුරා දැනෙනවා.

ඒ වගේම කොච්චර ඩයලොග් දුර්වල වුණත්, එක තැනකදී නයනතාරා ඉතාම ප්‍රබල ඩයලොග් එකක් ඩිලිවර් කරනවා. ඒ තමයි ගෑණු අය ගබ්සා කළත්, කොටට ඇන්දත්, මොනවා කළත් ඒකේ හරි වැරැද්ද පෙන්වන්න උඹ කවුද? ඒක එයාලගේ ජීවිතේ කියලා.

අනුන්ගෙ ජීවිත ජජ් කරන සමාජයට සැබෑම ප්‍රශ්න කිරීමක් විදියට ඒක නයනතාරා මතු කරනවා.

මිලින් රාඕ නම් අධ්‍යක්ෂවරයාගේ මේ චිත්‍රපටිය තවත් චිත්‍රපටි දෙකක් එක්ක ආත්මීයව ගැටගැහිලා තියෙනවා. එකක් තමයි මේ චිත්‍රපටියට ප්ලොට් එක ගත්ත බ්ලයින්ඩ් කියන 2011 කොරියන් චිත්‍රපටිය. ඒකේ කතාව ඇසුරෙන් තමයි නෙට්රි කන් ලියා තිබුණේ.

අනෙක් චිත්‍රපටිය තමයි සුපර්ස්ටාර් රැජිණිකාන්ත් රඟපෑව 1981 නෙට්රි කන් කියන චිත්‍රපටිය. පන්ච් ඩයලොග් කියන, සමාජයේ සුපර්හිට් එකක් බවට පත්වෙන සුපර්ස්ටාර් රැජිණිකාන්ත්ගේ ඒ චිත්‍රපටියේ නම, අද ලේඩි සුපර්ස්ටාර් නයනතාරා පාවිච්චි කිරීම හරිම සංකේතාත්මකයි.

හරියට අවුරුදු හතළිහකට කලින් අසූඑකේ අගෝස්තු 15 වැනිදා තිරගත වූ චිත්‍රපටියත්, 2021 අගෝස්තු 13 වැනිදා ලේඩි සුපර්ස්ටාර් කියන ටයිටල් එකෙන් කාන්තාවක් ප්‍රධාන චරිතය විදියට යොදගෙන හදපු මේ චිත්‍රපටියත් අතර අපූරු යුග වෙනසක් පේනවා.

කේ බාලචන්දර් ලියපු ඒ චිත්‍රපටියේත් කතා කරන්නේ සමාජයේ ඉහළ තත්වයක් තියෙන කෙනෙක් තත්වය පාවිච්චි කරමින් කාන්තාවන්ට හිංසා කිරීම ගැන.  මේ චිත්‍රපටියේත් නයනතාරා සටන් කරන්නේ කාන්තාවන්ට හිංසා කරන නපුරෙක්ට විරුද්ධව.