ආණ්ඩුව කියන්නේ බොරු? දවසට මරණ 250ක් හා රෝගීන් 5000ක්? GMOA ලංකාදීපයට කී කතාව

ආණ්ඩුවේ දත්ත බොරු බවත්, තත්වය ඊට වඩා ඉතා දරුණු බවත් හඟවන පුවතක් තිබුණා.

වෛද්‍ය නවීන් සොයිසා උපුටා දක්වමින් දිනකට රෝගීන් 5000ක් පමණ වාර්තා වන බවත්, 250ක් පමණ මියයන බවත් ‘නිල නොවන දත්ත’ සඳහන් කරන බව ඒ පුවතේ තිබුණා.

ඉරිදා ලංකාදීප පුවත්පතේ දයාසීලි ලියනගේ ලියූ පුවතක තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්වරයාව උපුටා දක්වමින් ඒ කරුණ සඳහන් කර තිබුණේ.

ඒ පුවත මෙසේයි.

‘දිනකට කොරෝනා ආසාදනය වන රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවා ඇති අතර මිය යන සංඛ්‍යාව 250 ඉක්මවා ඇති බවට රෝහල්වල නිල නොවන වාර්තාවලින් හෙළි වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියයි.

වෛරසයේ ව්‍යාප්තිය ඉතාම වේගවත්ව සිදුවන නිසා මෙම සංඛ්‍යාව ඉදිරි දින කීපය තුළදී දෙගුණ තෙගුණ විය හැකි බවද වෛද්‍ය සොයිසා මහතා අනතුරු අඟවයි.

මේ තත්වය අවම කර ගැනීම සඳහා එන්නත් ලබා දිය යුතු ප්‍රමුඛතා ලැයිස්තුවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කර ඇත්, සෞඛ්‍ය අමාත්‍යාංශයට බාහිර පිරිසකගේ බලපෑමෙන් එය හරියාකාරව සිදු නොවන බව පෙනෙන්නට ඇතැයි ද ඔහු කීය.

මෙහි ප්‍රතිඵලයක් ලෙසට වයස අවුරුදු 60 ඉක්ම වූ ජනතාවට තවමත් පළමු මාත්‍රාව ලබා දීමත් සිදු වන බවද ඔහු කීය. අද වන විට එන්නත් මාත්‍රා මිලියන 19.5ක් මෙරටට ගෙනැවිත් තිබුණත් ඉන් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සම්පූර්ණ ප්‍රතිශක්තීකරණය ළඟා කර ගෙන ඇත්තේ මුළු ජනගහනයෙන් සීයට 15ක් බවද ඔහු කීය.

එන්නත්කරණය නිවැරදි ක්‍රමවේදයට සිදු කළා නම්, සම්පූර්ණ ප්‍රතිශක්තිය ජනගහනයෙන් සියයට 45කට ළඟා කර ගැනීමට හැකිව තිබෙන අතර මිය යන සංඛ්‍යාවද අඩු වන බවත් වෛද්‍ය සොයිසා මහතා කීය.’