බලා කම්පනයට පත්වෙන්න – The Great Indian Kitchen



සම්පූර්ණ දකුණු ආසියානු කලාපයේම, හැම කෙනෙක්ම බලන්නම ඕනෑ චිත්‍රපටියක් තමයි ‘ද ග්‍රේට් ඉන්දියන් කිචන්’ මලයානම් චිත්‍රපටිය. එහි නාමයෙන් ඉන්දියානු කුස්සිය ගැන සඳහන් වුණත්, ඇත්තටම එහි එන්නේ අපේ කලාපයේ කුස්සි බොහොමයක කතාව.


අපේ තරුණ සිනමාකරුවන් ලස්සන චිත්‍රපටි රූපරාමු හොයන්නට මුහුදු වෙරළක හෝ වැවක් අයිනේ පැය ගණන් කැමරා තබාගෙන ඉන්නවා වෙන්න ඇති. වෙහෙස මහන්සි වී රූපරාමු හොයා යනවා ඇති. එහෙම කතන්දර අප අසා තිබෙනවා.


එහෙත්, මේ චිත්‍රපටියේ රූපරාමුවලින් බහුතරයක් එකම එක කුස්සියක. බත් මුට්ටිය, එළවළු හට්ටිය, පොල් ගාන මැසිම, එළවළු කපන පිහිය, ඒ ලෑල්ල, කුණු වතුර, කරාමය, වතුර බේසම, කුණු වතුර, ගඳ ගසන කුණු ආදී නොයෙකුත් ‘චරිත’ තිබෙන කුස්සියක් චිත්‍රපටියේ මූලිකම දර්ශනතලය වී තිබෙනවා. ඇතැම් වෙලාවක කිසි දෙබසක් නැතිව විනාඩි ගණන් ඒ දර්ශන නැවත නැවත නරඹන්නට ප්‍රේක්ෂකයාට සිද්ධ වෙනවා.


එහෙත්, ඒවා නරඹන ප්‍රේක්ෂකයන් සැබෑ කම්පනයකට පත් වෙනවා. කුස්සියක බිරින්දෑවරුන් විඳින වෙහෙස ගැන කිසිදා නොදුටු විදියේ රූපමය අත්දැකීමක් විඳින්න හැකි වෙනවා.


ගැහැණුන් වෙනුවෙන් කතා කළත්, නැතත් ඕනෑ පිරිමියෙක්ට මේ චිත්‍රපටිය බැලීමෙන් පසු දැනෙන්නේ මහා වරදකාරී හැඟීමක්. ඒ කුස්සියේ රූපවලට තියෙන බලය එතරම්.


මීට කලින් ‘තොන්ඩිමුතාලම් ඩි්‍රෂාක්ෂ්‍යම්’ (මාලයක් කඩාගන්නා සොරෙකු සහ තරුණ යුවළක් තේමා කරගත්) චිත්‍රපටියේ එකට රඟපෑ සුරාජ් වෙන්ජරාමූඩු සහ නිමිශා සජායන් ‘ද ග්‍රේට් ඉන්දියන් කිචන්’ චිත්‍රපටියේ ප්‍රධාන චරිත දෙක රඟපානවා. කතාවේ ප්‍රධානම චරිතය ඉදිරිපත් කරන නිමිශා සුපුරුදු ලෙස තමන්ගේ දක්ෂතාව පෙන්වනවා. ප්‍රධාන චරිත රඟපාන්නට සම්මත ‘ලස්සන’ ඕනෑ නැති බව නිමිශා පෙන්වනවා. ඇගේ සැබෑ ලස්සන චිත්‍රපටියෙන් මතු වෙනවා.


චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ ජෙයෝ බේබි. මීට පෙර මලයාලම් හාස්‍යමය ටෙලි කතා ලියූ ඔහු, කිලෝමීටර්ස් ඇන්ඩ් කිලෝමීටර්ස් නම් ජනප්‍රිය මලයාලම් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළා.


සමහර නූතන සංස්කෘතීන්වල ඉවීම කියන්නේ සීරියල් කෝප්පයට හලාගෙන උඩින් කිරි දැමීම. පාන් පෙති දෙකක් මැද්දට බේකන් පෙත්තක් තබා අවන් එකට දැමීම. කල් තැබූ එළවළු ටින් එකක් කඩා රත් කිරීම.


එහෙත් අපේ අය ඔය ‘සංකර’ වැඩවලට කැමති නෑ. ටින් කළ එළවළු, කල් තැබූ කෑම කෘත්‍රිමයි කියා කෑමට ගන්නේ නෑ. කඩෙන් කන්නත් කැමති නෑ. රසවත්, වර්ණවත් ‘ගෙදර ඉවූ ගමේ කෑම’ කන්නට අපි කැමතියි.
ඒත්, ඒ කෑම මේසයක් හෝ බත් මුලක් සකස් වෙන්නේ කොපමණ මහන්සියකින් පසුවද. කැපීම්, ඇඹරීම්, කෙටීම්, තැලීම්, තැම්බීම්, පොතු හැරීම් කීයක් එක් කෑම වේලකට ඕනෑද. ඒ සියල්ලෙන් පසු පිරිසිදු කිරීම්, කුණු විසි කිරීම් කොපමණද.


තමන්ගේම හීන ඇති තරුණ බිරිඳක් මේ සියල්ල කරන්නේ කෙලෙසද. ඔවුන් එහෙම කරන්නේ ඇයි.
මේ චිත්‍රපටිය එක් පැත්තකින් මෙතෙක් ඉතිහාසය පුරා නිහඬව සියල්ල ඉවසමින් කුස්සියේ රාජකාරී කළ, ඔසප් වූ දවසට අපවිත්‍ර යැය කොන් වුණ ගැහැණියට සිනමාත්මක ආචාරයක්. අනෙක් පැත්තෙන් අදටත් ඒ පීඩා විඳින්නට සිදු වන, එහෙත් එය කරන්නට අකමැති ගැහැණුන්ට සටන්කාමී වෙඩි මුරයක්.

තරිඳු උඩුවරගෙදර