ආණ්ඩුව අධිකරණයට ‘කවුද බොස්’ කියලා පෙන්වන්න හදලා! ලියුමකින් අන්තිම නරක බලපෑමක්!

පාර්ලිමේන්තුවේ තුනේ දෙකක බලයත්, විධායක බලයත් සියල්ල තමන් වටේට කේන්ද්‍ර කරගත් ආණ්ඩුව පැත්තෙන් ඉතාම භයානක වැඩක් කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අධිකරණ විනිසුරුවරුන්ව පාලනය කිරීමට ආණ්ඩුවකට තිබෙන අවිය වන උසස්වීම්, වැටුප් සහ අනෙකුත් පහසුකම් වැරදියට පාවිච්චි කරමින්. ඒ බලය පාවිච්චි කරමින් තමන්ට ඕනෑ විදියට විනිසුරුවරුන්ව පාවිච්චි කරන්නට ආණ්ඩුව ගත් කැත උත්සාහයක් තමයි මාධ්‍යවලින් හෙළි වූ ලියුමකින් මතු වී තිබෙන්නේ.

කොවිඩ්-19 වසංගතය හමුවේ අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කරන ‘වෙබිනාර්’ එකක් හෙවත් ඔන්ලයින් සම්මන්ත්‍රණයක් පිළිබඳ තමයි මේ ලියුමේ සඳහන් වෙන්නේ.

සම්මන්ත්‍රණය පවත්වන්නේ අගෝස්තු 13 වැනිදා.

සංවිධානය කර තිබෙන්නේ අධිකරණ සේවා කොමිසම. අධිකරණ සේවා කොමිසම එක්තරා ආකාරයකට විධායකය හෙවත් අපි ‘ආණ්ඩුව’ කියලා කියන පැත්තයි, අධිකරණය කියන ආයතන පද්ධතියයි එකට සම්බන්ධ කරන ආයතනයක්. ඒක බාගෙට විධායකයටත්, ඉතිරි බාගෙ අධිකරණයටයත් අයිතියි.

විනිසුරුවරුන්ගේ උසස්වීම්. පඩි ගෙවීම් සහ අනෙක් ඒවා තින්දු කරන්නේ ඒ ආයතනය.

මීට පෙර 19 වැනි සංශෝධනය තිබුණු අතීතයේ මේ කොමිසම පත් කිරීම සාපේක්ෂව මධ්‍යස්ථ ක්‍රියාදාමයක් වුණා. එහෙත් 20 වැනි සංශෝධනය පැමිණීමෙන් ජනාධිපතිට වුවමනා හැටියට ඒ කොමිසම පත් කරන්නට පසුබිම හැදුණා. එම පත් කිරීමේ ක්‍රමවේදය නිසා අධිකරණ කොමිසම කෙළින්ම ජනාධිපතිගේ වුවමනාවට යටත් ආයතනයක් බවට හැරෙමින්, ස්වාධීන කොමිසමේ කොන්ද බිඳුණා.

එවැනි පසුබිමක අධිකරණ කොමිසම යැවූ මේ ලියුම ගැන සාංකාවක් ඇති වීම පුදුමයක් නෙවෙයි.

මේ ලිපියේ එක කොටසක මෙසේ සඳහන්.

”මෙම සම්මන්ත්‍රණයට සහභාගි වීමට අසමත් වුවහොත් එය උසස්වීම් දීමේද, වැටුප් වර්ධක දීමේදී, විදේශ පුහුණූ සඳහා යැවීමේදී සහ මහාධිකරණයට පත්කිරිමේදී සැළකිල්ලට ගැනෙන බව ඔබට දැනුම් දෙමු!” 

මේ ලියුමෙන් කෙළින්ම විනිසුරුවරුන්ට මතක් කරලා තියෙනවා ‘තොපේ උසස්වීම්, වැටුප් සහ විදේශ පුහුණු වගේ ඔක්කොම පාලනය කරන්නෙ අපි තමයි’ කියලා.

පහුගිය කාලසීමාවේ මහේස්ත්‍රාත් විනිසුරුතුමන්ලා තීරණාත්මක තීන්දු ගණනාවක්ම ගත්තා. පනහ සීය එකතුවෙලා වෙඩින් නටන්න දුන්න, චිත්‍රපටි හෝල්වල ෆිල්ම් බලන්න දුන්න, ස්පාත් ඇරල තිබුණ, බැසිල් ආවම කිරිබත් කන්න දුන්න, සේරුවිල චෛත්‍යයට වතුර ගහන්න දුන්න, කොච්චිවල බස්වල තද වෙලා ඔෆිස් එන්න කියල රාජ්‍ය සේවකයන්ට කිව්ව, නුවර පෙරහැරටත් සිය ගණන් එකතුවෙන්න දුන්න කාලෙක, මන්ත්‍රීවරුන් හා නිලධාරීන් දාහකට එහා එක දවසකට එකතුවෙන පාර්ලිමේන්තුවත් රැස්වෙන කාලෙක උද්ඝෝෂණ කරපු අයව විතරක් පන්න පන්නා මර්දනය කරන සෙල්ලමක් ආණ්ඩුව දැම්මා.

ඒ කියන්නේ අනෙක් හැමෝටම රට ඇරලා යන්න එන්න දෙන අතරේ ආණ්ඩුව අකමැති අයව විතරක් නවත්වන්න උත්සාහ කළා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නිරෝධායන නීති කැඩුවා කියලා අත්අඩංගුවට ගත්තේ ‘මාස්ක් නොදා’ ආපු පොලිස්කාරයෙක් ඇතුළු පිරිසක්.

ජෝසෆ් ස්ටාලින්ලාව බලෙන් නිරෝධායනේට දාන්න මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක් ඉල්ලුවාම මහේස්ත්‍රාත් කිව්වේ ඒකට තමන්ට අයිතියක් නැති බව.

කොළඹ උද්ඝෝෂකයන් කිහිපදෙනෙක් අල්ලගෙන ඇවිත් උසාවි දැම්මම මහේස්ත්‍රාත්වරයෙක් කුණු බැණුම් බැණලා තිබුණා.

තවත් අවස්ථාවල උද්ඝෝෂණ පැවැත්වීම මර්දනයට නියෝග ඉල්ලුවාමත් මහේස්ත්‍රාත්වරුන් ප්‍රතික්ෂේප කරලා තිබුණා.

එවැනි පසුබිමක ‘කවුද බොස්’ කියලා පෙන්වන්න ගන්න බාල උත්සාහයක් විදියටත් කවුරුහරි මේ ලියුම දකින්න පුළුවන්.