කතරගම දේවාලයේ සල්ලි හිතූ හැටියට හොරාකන්නට ඉඩ

විගණකාධිපති වාර්තාවකින් හෙළි වූ කතාව


රුහුණු කතරගම දේවාලය හෙවත්, අප කෙටියෙන් හඳුන්වන ආකාරයට කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරට අවසන් වරට නිලවරණයක් තිබුණේ 2015 දීය. දැන් වසර 5ක් ගෙවී හමාරය. කතරගම ඉන්නේ වැඩබලන බස්නායක නිලමේ කෙනෙකි. නිලවරණයක් 2020 දී පැවැත්විය යුතුය. නිලවරණයක් පැවැත්වීම කෙසේ වෙතත්, කතරගම දේවාලයේ මුදල් හොරා කෑමට බස්නායක නිලමේවරුන් ප්‍රමුඛ පරිපාලන නිලධාරීන්ට ඇති නිදහස සීමා කළ යුතුය. කතරගම දේවාලයේ මුදල්ද දෙවියන්ගේ මුදල් නොව, මහජන මුදල්ය.


කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේය. ඔහු 2015 දී ඡන්දයෙන් තේරී පත්වුණේ වසර 5ක කාලයක් සඳහාය. එහෙත් 2018 දී ඔහු තනතුරෙන් ඉවත් කොට, තාවකාලික බස්නායක නිලමේවරයෙක්ව පත් කරන්නට බුද්ධ ශාසන අමාත්‍යාංශයට සිදු විය. වැඩ බලන බස්නායක නිලමේ ලෙස පත් වුණේ දිල්රුවන් රාජපක්ෂය.


හිටපු බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ ඉන්ධන පිරවුම්හල් හිමියෙකි. ඔහු බස්නායක නිලමේ ලෙස කටයුතු කළ කාලයේ කතරගම දේවාලයට අයත් වාහන වලට ඉන්ධන පිරවීමට මහනුවර පිහිටි ඔහුගේ ඉන්ධන පිරවුම්හල් පාවිච්චි කර ඇත. 2016 ඇසළ පෙරහැරේදී පමණක් ඔහු ඩීසල් වලින් ඉපයූ මුදල රුපියල් 5,016,000කි. එවර මහනුවර සිට කතරගමට ඉන්ධන ප්‍රවාහනය සඳහා යැයි කියමින් රුපියල් 146,875ක් ලබාගෙන ඇත. 2017 ඇසළ පෙරහැරේදී තමන්ගේ පිරවුම්හල්වලින් ඩීසල් ගසා ඔහු හම්බ කර ඇති මුදල රුපියල් 1,254,000කි. මේවා විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ විශේෂ විගණන වාර්තාවකින් හෙළි විය.


එහෙත් අප සැලකිල්ලට ගත යුත්තේ ඩී.පී. කුමාරගේගේ කතාව නොවේ. කතරගම දේවාලයේ කතාවය. බස්නායක නිලමේවරුන් මාරු විය හැකිය. කවුරුන් ආවත් කතරගම දේවාලය සතු මහා ධනස්කන්ධය අවභාවිත කරන්නට නිදහසක් දැන් පවතින ක්‍රමයේ ඇත.


කතරගම දේවාලයේ ඉඩම්, වාහන, රත්‍රන් භාණ්ඩ ඇතුළු සම්පත් රැසක් ඇති කතරගම දේවාලයේ මුදල් පරිපාලනය සම්පූර්ණයෙන් අවිධිමත් බව විගණකාධිපති දෙපාර්තමේන්තුව කියා ඇත. ඩී.පී. කුමාරගේ මහතාගේ කෙරුවාව විගණකාධිපති දෙපාර්තමේන්තුව විමර්ශනයක් කළ නිසා හෙළිවුණත්, ඊට පෙර සිටි අයගේ කෙරුවාව ගැන සොයා බැලීමක්වත් කර නැත. දේවාලයේ ඒ කාලයට අදළ ලේඛනයක්වත් නැත. ඔව්, ඒ කතාව ශෂීන්ද්‍ර රාජපක්ෂ නම් වූ කුප්‍රකට හිටපු බස්නායක නිලමේවරයාටද අදාළය. ඔහුත්, තම ධුර කාලය අවසන්ව ගෙදර යද්දී දේවාලයේ තිබුණු තමන්ගේ කාලයට අයත් ලිපිලේඛන සියල්ල උස්සාගෙන ගොස්ය. දැන් පාර්ලිමේන්තු යන්නට බලාගෙන සිටින ඔහුත්, දේවාලය පාලනය කර ඇත්තේ ගමේ සිල්ලර කඩයක් පාලනය කරන ආකාරයටය.


ඉහළ සිටින දෙවියන් සියල්ල බලා සිටින බව සාමාන්‍ය ජනතාවගේ විශ්වාසයය. දේවාලයකට යුක්තිය බලාපොරොත්තුවෙන් ඇතැමෙකු යන්නේ ඒ නිසාය. ලංකාවේ ස්වාධීන කොමිෂන් සභා, පාර්ලිමේන්තුව මෙන්ම පාර්ලිමේන්තුවේ බලය යටතේ පවතින විගණකාධිපති දෙපාර්තමේන්තුවද ඇතැමුන්ට වහකදුරුය. පාර්ලිමේන්තුව වසා දමන්නට ඇතැම්හු යෝජනා කරති. එහෙත් පාර්ලිමේන්තුව වසා දැමුවොත් රාජ්‍ය මූල්‍ය ගැන සොයා බලන්නට කෙනෙක්ද නැත.


එසේ වුණොත්, විධායකය මුදල් වියදම් කරන ආකාරය විමර්ශන කරන්නේ කවුද? මහජන මුදල් රකින්නේ කවුද? දෙවියන්ද? අප මෙහි විස්තර කරන්නේ දෙවියන්ගේ මුදල් වලට වෙච්ච දේ හොයන්නටත්, පාර්ලිමේන්තු බලය යටතේ පවතින විගණකාධිපති දෙපාර්තමේන්තුව ඕනෑ වූ ආකාරයය.


පනත


කතරගම දේවාලයේ දේවල් ආණ්ඩුව සොයන්නේ කෙලෙසදැයි කෙනෙකුට පැනයක් ඇති නම් කෙටියෙන් පැහැදිළි කළ යුත්තේ මෙම දේවාලය 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත යටතේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා සහ ඔහු යටතේ වන අමාත්‍යාංශයේ (මේ වන විට බුද්ධ ශාසන අමාත්‍යාංශය) අමාත්‍යවරයාගේ අධීක්ෂණය යටතේ පාලනයට යටත් වෙන ආයතනයක් බවය.


එලෙස යටත් වුණත්, මීට පෙර මෙම දේවාලය විගණකාධිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවල අධීක්ෂණයට ලක් වුණේ නැත. ඒවායේ මුදල් හා දේපළ කන්දරාව කවුරු හොරා කෑවත්, හොරාකෑවේ නැතත් ඒ ගැන විමර්ශන සිදු නොවීය. අඩුපාඩු මොනවා තිබුණත්, 2015න් පසුව දෙවියන්ගේ මුදල් පවා සොරා කනවාදැයි විමර්ශන කිරීම සිදුවිය.


ලේඛන නෑ


බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාගේ ලිපියකට අනුව 2018 අප්‍රේල් මස දින රහිත ලිපියෙහි ඩී.පී. කුමාරගේ මහතා එතෙක් දරන ලද බස්නායක නිලමේ තනතුර තහනම් කර ඇති බව දැනුම්දීමත් සමඟ බස්නායක නිලමේවරයා හා ඔහුගේ කාර්ය මණ්ඩලය රුහුණු කතරගම දේවාලයෙන් ඉවත්ව ගොස් තිබුණි. ඔහු එතෙක් නඩත්තු කරන ලද ඇතැම් පොත්පත්, ලිපිලේඛනද රැගෙන ගොස් ඇත.


රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරුන් පොත්පත්, ලිපි ලේඛන ආදිය අඛණ්ඩව පවත්වා නැත. හිටපු බස්නායක නිලමේවරුන්ද තම ධුර කාලය අවසානයේ ලේඛන රැගෙන ගොස් ඇත. අළුතෙන් පත්වන බස්නායක නිලමේවරුන්ගේ කාර්ය මණ්ඩලය ඊට පෙර කාලයේ සිදුවූ දේවල් දන්නේ නැත.


දේවාලය සතු වත්කම්


දේවාලයේ ඉඩම් නිලධාරීන් විගණනය වෙත ලබා දුන් ලිඛිත ප්‍රකාශ අනුව දළ වශයෙන් දේවාලය සතු ඉඩම් අක්කර 16,000 ක් පමණ පවතින බව ප්‍රකාශ වී තිබුණද විධිමත් පරිදි සමීක්ෂණයක් සිදුකර ලේඛනගත කර නැත. නිශ්චිත වශයෙන් දේවාලය සතු ඉඩම් අක්කර ප්‍රමාණය ගැනවත් විගණනයට සනාථ කර ගැනීමට හැකි වී නැත.


දේවාලය සතු ඉඩම් වලින් ජනිතවන ආදායමත් නිසි පරිදි වාර්තා කර නොතිබුණි. ඉඩම්වලින් ජනිතවන ආදායම් බෙත්මේ ලේකම් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමට රැස් කිරීමෙන් පසුව පෞද්ගලික ගිණුමෙන් දේවාලයට අයත් බැංකු ගිණුමට බැරකර තිබුණු බව විවිධ පුද්ගලයන්ගේ ප්‍රකාශ අනුව නිරීක්ෂණය වී තිබුණි.


දේවාලයට අයත් දේපල බලෙන් අල්ලාගැනීම, ගිවිසුමක්වත් නැතිව බදු දීම, බදු ගිවිසුම් යාවත්කාලීන නොකිරීම, ඉඩම් හරිහැටි තක්සේරු නොකිරීම ආදී ගැටලු කන්දරාවක් ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහෙත් ඒවා වාචිකව නිලධාරීන් කී කතා පමණක් බවත්, ඒවා ගැන ලිඛිත තොරතුරු සොයාගැනීමට නොහැකි වූ බවත් එහි සඳහන්ය.


වාහන මිලදී ගැනීම්


දේවාලයේ සතුව රෝද හතරේ ට්‍රැක්ටර්, ජල බවුසර් හා ලොරි රථ වැනි වාහන කිහිපයක් පැවතියද වාහන මිලදී ගැනීම, පරිත්‍යාග ලෙස ලැබීම, අපහරණය, අයිතිය හා එක් එක් වාහන පිළිබඳව නිශ්චිත තොරතුරු නැත. අවිධිමත් ගනුදෙනු ගැන ප්‍රකාශ විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබා දී ඇතත් ඊට අදාළ ලේඛන නැත. එහි සඳහන් ආකාරයට වාහනයක් අලුත්වැඩියා කළත්, එයට ගිය වියදම සැබෑ වියදමදැයි දැනගන්නට ක්‍රමයක් නැත.


දේවාලයේ බැංකු ගිණුම්


පෞද්ගලික මුදල් දේවාලයේ බැංකු ගිණුම් වල තැන්පත් කිරීමට කිසිදු විධිවිධානයක් නොමැති වුවත් හිටපු බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා 2015 නොවැම්බර් 27 වන දින සිට 2017 දෙසැම්බර් 22 වන දින දක්වා කාල පරාසය තුළදී තමාට අයත් පෞද්ගලික මුදල් යැයි දක්වමින් රුපියල් 33,017,314 ක් දේවාලයට අයත් බැංකු ගිණුම් හතරක තැන්පත් කර ඇත. එම මුදල් ආපසු ගැනීමක් ලෙස දක්වමින් වරින් වර රුපියල් 36,100,870 ක මුදලක්, එනම් තැන්පත් කළ මුදලට වඩා රුපියල් 3,083,556 ක මුදලක් දේවාලයේ බැංකු ගිණුම් තුනකින් ආපසු ලබාගෙන තිබුණි.


දේවාලයේ අරමුදල් පරිත්‍යාග සඳහා වැයකිරීමට අයිරා පහසුකම් ලබා ගැනීම් කර තිබුණි. දේවාලයේ අරමුදලින් අවස්ථා 06 කදී ආයතන සදහා රුපියල් 2,886,878 ක් පරිත්‍යාග වශයෙන් ලබා දී තිබුණි.
මුල්‍ය දුෂ්කරතා හේතවෙන්යැයි සදහන් කරමින් දේවාලය මහජන බැංකුව කතරගම ශාඛාවෙන් 2016 වර්ෂයේදී රුපියල් 10,000,000 ක් හා 2017 වර්ෂයේදී රුපියල් 15,000,000 ක් ලෙස අයිරා පහසුකම් ලබා ගෙන තිබුණි.


විශ්‍රාම ශාලා නවීකරණය


කතරගම දේවාලයට අයත් තෙමහල් විශ්‍රාම ශාලාව නවීකරණය කිරීම සදහා රුපියල් 30,000,000 ක ණය මුදලක් මහජන බැංකුවේ කතරගම ශාඛාවෙන් ලබාගෙන තිබේ.


විශ්‍රාම ශාලාව නවීකරණය කිරීමට ණය ලබාගෙන තිබුණද රුපියල් 5,000,000 ඊට පරිබාහිර කාර්යයක් වන දේවාලය ඇතුළත ආධාරක කොන්ත්‍රීට් කණු 08 ක් රීදී ආලේප කර තඹ වලින් සකස් කිරීමට 2016 ජුනි 02 දා වියදම් කර ඇත. 2019 ජනවාරි 30 වන දින වන විට 9,500,000 ක මුදලක් එම වැට සඳහා ගෙවා තිබුණි.


සළ පෙරහැර


අප මුලින් සඳහන් කළ ආකාරයට 2016 වර්ෂයේදී ඩී.පී. කුමාරගේ සතු ඉන්ධන පිරවුම්හල් වලින් ඩීසල් ලීටර් 63,902 ක් රුපියල් 5,016,000කට මිලදී ගෙන තිබේ. 2017 වර්ෂයේ ඇසළ පෙරහැර සඳහා රුපියල් 1,254,000 ක් වටිනා ඩීසල් ලීටර් 13,200 ක් මිලදී ගෙන තිබුණි. මහනුවර සිට දේවාලය වෙත ඉන්ධන රැගෙන ඒම සඳහා යැයි කියමින් හිටපු බස්නායක නිලමේවරයා අවස්ථා කිහිපයක රුපියල් 146,875 ක මුදලක් දේවාල අරමුදලෙන් ලබා ගෙන තිබුණි. ඒ, කතරගම ඉන්ධන නැතිවා මෙන්ය.


ඊට අමතරව 2016 ඇසළ පෙරහැර සදහා 2016 ජුනි 08 වන දින රුපියල් 7,500,000 ක අත්තිකාරම් මුදලක් දේවාලයේ අරමුදලින් ගණකාධිකාරිවරයා ලබා ගෙන තිබුණි. ඉන් රුපියල් 2,929,380 ක් විශ්‍රාම ශාලාවේ ඉදිකිරීම් කටයුතු සදහා වැය කර තිබුණි.


රන් භාණ්ඩ


2017 අගොස්තු 22 දින බස්නායක නිලමේවරයා සහ කපු මහත්වරුන් අතර ගැටුමක් බස්නායක නිලමේවරයාගේ නිවසේදී සිදුවී තිබුණු අතර එහිදි දේවාලයට ලැබී තිබුණු ග්‍රෑම් 128.79 ක් බරැති මුදු, මාල, ත්‍රිශූල, විවිධ අනුරූ, පංචායුධ වැනි රන්භාණ්ඩ 61 ක් අස්ථානගත වී තිබුණි.


දේවාලයට ලැබී තිබුණු ග්‍රෑම් 11,530 ක් වූ විවිධ කැරට් ප්‍රමාණවල රන් භාණ්ඩ හා ආභරණ යොදාගෙන දේවාලයට අවශ්‍ය කෙන්ඩියක්, ලාම්පුවක්, රන් මේස රෙද්දක් වැනි උපකරණ 5 ක් සකස්කර ගැනීම සඳහා රු. 5,411,145 ක වැඩ කුලියකට කොළඹ 11, හෙට්ටි වීදියේ පිහිටි පෞද්ගලික ආයතනයකට 2016 මැයි 02 දින භාර දී තිබුණි. ශුද්ධ බර ග්‍රෑම් 9853.14 ක් බරැති රන් උපකරණ 5 ක් සකස්කර තිබුණි.


එලෙස නිමකරන ලද රන් භාණ්ඩවල වටිනාකම රුපියල් 72,420,579 ක් වු අතර මෙම රන්භාණ්ඩ නිපදවීම සඳහා දරන ලද වැඩ කුලියෙන් රුපියල් 4,029,545 ක් තව දුරටත් එම ආයතනයට නොගෙවීම හේතුවෙන් රන් භාණ්ඩ භාර දී නැත. ඒවා පසුව බාර දී ඇත්තේ 2019 මැයි 18 වැනිදාය.


අවිධිමත් ගෙවීම්


2016 සහ 2017 වර්ෂවලදී රුපියල් 2,822,465ක් හා රුපියල් 1,027,000ක් වටිනා වවුචර් පිලියෙල කර තිබුණද එම වවුචර් වලට අදළ බිල්පත්, මුදල් ලැබූ බවට අත්සන් කළ කිසිදු ලිපි ලේඛනයක් හමු වී නැත. 2016 මාර්තු 18 වන දින බස්නායක නිලමේවරයා බිම ඇතීරීම් ගඩොල් මිලදී ගැනීමට රුපියල් 1,271,000 ක් ලබා ගෙන තිබුණද 2019 මැයි 31 ක වන විට මුදල් පියවා නැත.


විෂය පථයේ සීමා


විගණන වාර්තාවේ පැහැදිළිව සඳහන් කර ඇත්තේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විෂය පථය සීමා වූ නිසා, පූර්ණ විගණනයක් කරන්නට නොහැකි වූ බවය. ඒ කියන්නේ, තවත් සොයන්නට දේ බොහෝ ඇත. කතරගම දේවාලයේ අලුතෙන් පත්වන නිලමේවරයෙකුගේ පරිපාලනය, ඊට පෙර සිදුවූ දේවල් දන්නේ නැති බව එම වාර්තාවෙහි සඳහන්ය.


විහාර දේවාලගම් පනත අනුව ඇමතිවරයා මෙම දේවාල පාලනය කිරිම සඳහා නීති සකස් කළ යුතුය. බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා එයට අදළව නියමයන් කළ යුතුය. අනෙක් අතට බස්නායක නිලමේවරුන් ගිණුම් පවත්වාගෙන යා යුතුය. ‘සිරිපාලගේ සිල්ලර කඩය’ මෙන් හිතු හැටියේ කඩා වඩා ගැනීමට ඉඩකඩ සැලසූ නිදැල්ලේ යන ආයතනයක් බවට කතරගම දේවාලය පත්ව ඇත්තේ එම කටයුතු නිසි ලෙස ඉටු නොවූ නිසාය. ඩී.පී. කුමාරගේ මේ ආයතනයේ සිටි එක් පාලකයෙකු පමණි. කවුරු සිටියත් ගැටලු ඇත්තේ නිසි පරිපාලනයක් නැතිකමේය.