අතුරුදන් කළ තරුණයන්ගේ මාපියන්ගෙන් නීතිපතිට ලිපියක් !

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචි තරුණයන්  11 දෙනෙක් පැහැර ගෙන යාම, කප්පම්ගැනීම සහ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාපතිට එරෙහිව වසර 13 ක් පුරා විමර්ශනය කරලා ගොනු කළ අධි චෝදනා පත්‍රය ඉවත් කර නොගන්නා ලෙස එම පිරිසගේ මාපියන් නීතිපති ගෙන් ලිඛිතව ඉල්ලලා.

තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඉවත් කිරිම ගැන විරෝධය පල කරලා අගෝස්තු 05 වෙනිදා නීතිපති සංජය රාජරත්නම් මහතාට ලිපියක් යවලා.

 මේ නඩුවට අදාළ ව හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරපු චෝදනාවලට ඔහු අත්අඩංගුවට ගන්න කියලා කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කරලා තියෙද්දි, ඒ නියෝගයෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් වෙලා තියෙනවා කියලා ඉහළ අධිකරණයට ගිය බවත්, ඔහු සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි තිබුණත්, මේ දක්වා ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදු වෙලා නැතිබවත් අතුරුදහන් වූ තරුණයන්ගේ මව්වරුන් ලිපිය මගින් නීතිපතිවරයාට පෙන්වා දීලා.

අතුරුදන් කිරීම නිසා තම දරුවන්ගේ සහ තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවෙලා තිබුණත් ඒ බව වගකිව යුතු පාර්ශව නොසළකා හැරලා ඇති බව ඔවුන් පවසනවා.
මේ නඩුවට අදාළ චෝදනා පත්‍රය හිටපු නාවික හමුදාපතිවරයාට බාරදීම ප්‍රමාද වෙලා තියෙන්නේ ඔහු මගහැරීම නිසා බවත් , දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශන කළ ජනාධිපති කොමිසම මගින්ද හිටපු නාවික හමුදාපතිවරයා නිදහස් වීමට උත්සාහ කළ බවත් ලිපියෙහි සදහන් කරලා.
එහෙත් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශන කළ ජනාධිපති කොමිසමට මහාධිකරණයේ කටයුතුවලට සම්බන්ධ වීමට බලයක් නැති බව දැනුම් දුන් නිසා එම උත්සහය ව්‍යර්ථ වුණු බව මව්පියන් ලිපියේ සදහන් කරලා.
මේ නිසා වසර 13ක විමර්ශනවලින් තහවුරු වූ සාක්ෂි මත ලබාදුන් චෝදනා පත්‍රය මේ විදියට හදිසියේ ඉවත් කර ගැනීම ගැන අතුරුදහන් වූ දරුවන්ගේ මව්පියන් වන තමන් දැඩි වේදනාවක් ගෙන දෙන කාරණයක් බව ලිපියෙහි සදහන් කරලා.