විමුක්ති දේශපාලනයට නොඑන බව කී හැටි! වෙල්ගම විමුක්ති ගැන කී කතාව!

විමුක්ති කුමාරතුංග දේශපාලනයට පිවිසෙන බවට ඉඟි කෙරෙන මාධ්‍ය වාර්තා සියල්ල ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ ඔහු නිකුත් කළ නිවේදනයක් මගින්.

මීට පෙර චන්ද්‍රිකා බණ්ඩාරණායක හිටපු ජනාධිපතිනියද මෙම කටකතා ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශයක් කර තිබුණා.

මීට පෙර සටහන් රේඩියෝවේදීද විමුක්ති දේශපාලනයට එනු ඇතිද යන ප්‍රශ්නය පිළිබඳ අප අදහස් පළ කළා. එහෙත් අප එහිදී විමුක්ති එන බවක් ස්ථීරව කීවේ නැහැ. ඒ වෙනුවට විමුක්තිට දේශපාලනයට පැමිණීමට නිවැරදිම පසුබිමක් නිර්මාණය වුණොත් ඔහු නොපැමිණේවිද යන ප්‍රශ්නය තමයි අපේ අවධානය යොමු වූ මාතෘකාව.

කෙසේ වෙතත් දැන් පෙනී යන්නේ අප එහිදී නැගූ තර්ක පවා අවලංගු බව. තමා දේශපාලනයට එන්නේ නැති බව ඔහු ඉතා තියුණුව සහ පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා.

ඔහුගේ නිවේදනය මෙහෙමයි.

‘ප්‍රබල දේශපාලන පවුලක පුතෙකු ශ්‍රී ලංකා දේශපාලන කරලියට පිවිසීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් පවතින බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්ථා කර තිබුණි. ඒ වාර්ථා වලට මාගේ කිසිම සම්බන්ධයක් නොමැති බව තරයේ ප්‍රකාශ කරමි.

ඉකුත් වසර 21 පුරාවටත්, තවදුරටත් පශු වෛද්‍යවරයෙකු ලෙස මාගේ වෘත්තියටත් සහ පශු අක්ෂි වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විශේෂඥ පුහුණුව සඳහාත් සම්පූර්ණයෙන් කැපවී එක්සත් රාජධානියේ සේවය කරමින් සිටිමි.

මාගේ මාතෘ භූමියට මම ආදරය කරමි. මාගේ පෞද්ගලික හැකියාවන් තුළින් මා වැදගත් වෙතැයි සිතන සමාජ සේවා කටයුතු පිළිබඳව අන් අය දැනුවත් කිරීම සහ ඒවා වෙනුවෙන් කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.

එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත වීමට මාගේ කිසිම අදහසක් නොමැති බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටිමි. එම නිසා අනාගතයේ මා ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවට පළ වන වාර්ථා සම්පූර්ණයෙන් බැහැර කරන මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

ගෞරවණිය, සරල සහ අප්‍රකට ජීවිතයක් ගත කිරීමට මා දැඩි උත්සාහයක් දරා ඇත. මාගේ පෞද්ගලිකත්වයට ගරු කරන මෙන් මම ශ්‍රී ලාංකේය මාධ්‍යවලින් සහ මහජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙයට
හිතවත්
වෛද්‍ය. විමුක්ති කුමාරතුංග’

අගෝස්තු 8 වැනි ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් සමග පැවති සාකච්ඡාවකදී නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම විමුක්ති කුමාරතුංග ගැන මෙසේ කියා තිබුණා.

ඔබ මේ පෙරමුණ ගැන කියපු මාධ්‍ය සාකච්ඡාවේදී ඔබ කියනවා ඉදිරියට ගේන සුවිශේෂී චරිතයක් ගැන. ඒ විමුක්ති කුමාරතුංගද කියලත් සමහරු ඇහුවා. ඇත්තටම කවුද ඒ?

මම එහෙම එක එක්කෙනාගෙ නම් කියන්න ඉක්මන් වෙන්නෙ නෑ. අපේ මේ ව්‍යාපාරය එක්ක තරුණ තරුණියෝ එකතු වෙන්න ඕනෑ. උගත් තරුණයෝ මේ රටේ දේශපාලන ව්‍යාපාර එක්ක එකතු වෙනවා වෙනුවට කරන්නේ පුළුවන් අවස්ථාව ආපු ගමන් රට හැරල යන්න. ඒක අද ප්‍රවණතාවයක් වෙලා. මොකද මේ ජරාජීර්ණ දේශපාලන කුණු ගොඩේ දඟලන්න ඒ අය කැමති නෑ. මෙන්න මේ තරුණ පිරිස එකතු කරගන්න පුළුවන් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි.

අපේ මේ දේශපාලන ව්‍යාපාරය වටා විවිධ තරාතිරම්වල උගත් බුද්ධිමත් තරුණ පිරිසක් එකතු වෙයි කියලා අපි විශ්වාස කරනවා. මෙතෙක් ක්‍රියාකාරී දේශපාලනයේ ඉඳපු අය වගේම එහෙම නැති අයත්, දේශපාලන පවුල් පසුබිමකින් එන අයට ඕනෑම කෙනෙකුට මෙතන විවෘතයි.

මේකට විමුක්ති කුමාරතුංගට විතරක් නෙවෙයි. රෝහණ විජේවීරගේ පුතාටත් එන්න පුළුවන්. තවත් දේශපාලන අම්මල තාත්තලගෙ දූල පුතාලටත් එන්න පුළුවන්. එහෙම නැති දුවා දරුවන්ටත් එන්න පුළුවන්. කිසිම විශේෂයක් නෑ.’