නිවාස අධිකාරියයේ වැඩ බාරගත් මතකය අහිමි මිනීමරුවා ඊළඟට කොතැනටද?

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස වැඩ බාරගත් දුමින්ද සිල්වා මහතා ඉදිරි බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

පළාත් සභා මැතිවරණය ජිනීවා මානව හිමිකම් කොමිසමේ 2022 මාර්තු සැසියට පෙර පැවැත්වීමට නියමිත බව එම දේශපාලන ආරංචි වැඩිදුරටත් පවසනවා. පළාත් සභා මැතිවරණ පවත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වෙත මුදල් අමාත්‍ය සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ කියා තිබෙනවා.

මිනීමරු කල්ලියක නායකයෙකු ලෙස අධිකරණයෙන් තහවුරු වී මරණ දඬුවම් ලබා සිට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමාව ලැබූ, මීට පෙර තමන්ගේ මතකය අහිමි බව ප්‍රකාශ කර ඇති පුද්ගලයෙකු වන ආර්. දුමින්ද සිල්වා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස අගෝස්තු 10 වැනිදා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස වැඩ බාරගත්තා.

එම අවස්ථාව සඳහා විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම එක් වෙලා.

කොළඹ නගරයේ ජීවත්වන ඡන්දදායකන්ගේ ආකර්ශණය දිනාගත හැකි අංක එකේ ආයතනයක් ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හැඳින්විය හැකියි. එම නිසා මෙය ජනාධිපතිවරයාගෙන් දුමින්ද සිල්වා නම් මිනීමරු දේශපාලන හිතවතාට ලැබුණු තෑග්ගක් ලෙසත් ඇතැම් විචාරකයන් විග්‍රහ කර තිබුණා. ඉදිරියේදී හිරු ටීවී ඇතුළු සිල්වා පවුලට අයත් මාධ්‍ය අධිරාජ්‍යයෙන් මෙම ආයතනයේ විවිධ ව්‍යාපෘති ගැන වර්ණනා මෙන්ම දුමින්ද සිල්වා සහභාගී වන උත්සව ආදියට මාධ්‍ය ආවරණයත් හිමිවනු ඇතැයි අනුමාන පළ වී තිබෙනවා.

මීට පෙර රණසිංහ ප්‍රේමදාස, විමල් වීරවංශ, සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලන නායකයන් මෙම ආයතනය තමන්ගේ දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘති වෙනුවෙන් පාවිච්චි කර තිබෙනවා.

මේ අසනීප වූ මිනීමැරුම් වරදකරුවාට භාණ්ඩාගාරයේ සල්ලි රුපියල් මිලියනට 8413ක මහා දැවැන්ත මුදලක් ලැබෙන ප්‍රොජෙක්ට් හිමි වනු ඇති.

කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි හෙඩ් ඔෆිස් එක, ප්‍රාදේශීය කාර්යාල 25ක්, නගර කාර්යාල දෙකක් මේ ආයතනය යටතේ තියෙනවා. 2250ක විතර සේවක පිරිසක් ඉන්නවා. ඊට අමතරව මේ අධිකාරියට වැඩිපුර කොටස් හිමිකම හිමි ආයතනත් තියෙනවා. නිවාස සංවර්ධන බැංකුවේ සහ ඕෂන් වීව් සමාගමේ කොටස් ඒ වගේ අයිතියි. අවුරුද්දකට විශාල ආදායමක් සෙවණ ලොතරැයිය වගේ ඒවායින් මේ අධිකාරියේ කටයුතුවලට එනවා.

ලක්ෂ හතරකට වැඩි පිරිසකට ලංකාවෙ ගෙවල් නෑ. ලක්ෂ පහකට වඩා ගෙවල් තියෙන පිරිසකට ඊට වඩා හොඳ ගෙයක් ලැබෙන්න ඕනෑ. මොකද, ඒ ගෙවල් ඉන්න සුදුසු නෑ. හැත්තෑනවයේ අප්‍රේල් 1 වැනිදා දවසක පනතකින් හදපු මේ අධිකාරියේ එදා සඳහන් කරපු අරමුණු අවුරුදු හතළිහකට වඩා ගිහින් ඉටු වෙලා නැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව ආදී ආයතන පෙන්වා දී තිබෙනවා.

ආයතනයේ ආරම්භක අරමුණු අතර තියෙන්නේ පැල්පත් නිවාස තුරන් කරලා, ඒ අයට හොඳ නිවාස ලබා දීම. නාගරික සැලසුම් හදලා හොඳ මහල් නිවාස ඉදි කිරීම වගේ ඒවා.

මේ අධිකාරියේ වෙබ්සයිට් එකේ සඳහන් ලොකුම ප්‍රොජෙක්ට් එක තමයි ‘ඔබට ගෙයක්- රටට හෙටක්’ කියන ප්‍රොජෙක්ට් එක. ඒ අනුව නිවාස 14,000ක් හදනවා. 2020 අවුරුද්දේ නිවාස 9000ට වඩා හදන්න පටන්ගත් බවත්, ඉන් හාරදාහට වඩා හදල ඉවරකරපු බවත් 2020 වාර්ෂික වාර්තාවෙ තියෙනවා. ඒ අනුව ගිය අවුරුද්දෙ පටන්ගත්ත ගෙවල් දාස් ගාණක් ඕපන් කරන්නත් තියෙනවා.

විදේශාධාර ව්‍යාපෘති, සෙවණ ව්‍යාපෘතිය, ඕෂන් වීව්ස්, මධ්‍යම පාන්තිකයන්ට නිවාස දීමේ ව්‍යාපෘතිය සහ මිහිඳු කියලා හාමුදුරුවරුන්ගෙ පවුල්වල සාමාජිකයන්ට ගෙවල් හදල දෙන ව්‍යාපෘතියක් තියෙනවා. මධ්‍යම පාන්තික නිවාස තියෙන මහල් නිවාස සංකීර්ණ සීයක් හදන ප්‍රොජෙක්ට් එක තවත් එකක්.

ජාතික නිවාස ප්‍රතිපත්තිය කියන ප්‍රතිපත්ති මාලාව අනුව නම් මේ ආයතනය කළ යුත්තේ එවැනි නිවාස හැදීමේ ව්‍යාපෘති තව තවත් කිරීම නෙවෙයි.

මේ ප්‍රතිපත්තිය නිවාස අධිකාරියේ වෙබ්සයිට් එකට ගිහිං පොඩි වෙලාවක් දාල කියවන්න වටින එකක්. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ, ඒ කියන්නේ 2014 දී තමයි අලුත්ම නිවාස ප්‍රතිපත්තිය හදලා තිබුණේ. ඒක 2012 ඉඳන් අවුරුදු දෙකක් සාකච්ඡා කරලා හැදූ එකක්. 2016 දී මේක පොඩි සංශෝධනවලට ලක් කරලා යහපාලන ආණ්ඩුවෙනුත් පිළිඅරන් ප්‍රසිද්ධ කරලා තියෙනවා.

ජාතික නිවාස ප්‍රතිපත්තිය කියන ප්‍රතිපත්ති මාලාවේ සඳහන් වචන ටිකක් එහේ මෙහේ කරලා කීවොත් ආණ්ඩුවක් කරන්න ඕනෑ ගෙවල් හද හදා මිනිස්සුන්ට බෙදන එක නෙවෙයි. ඒ ප්‍රකාශනයෙම තියෙනවා ආණ්ඩුව කරන්න ඕනෑ පෞද්ගලික අංශය, මිනිස්සුන්ගෙ ආර්ථිකය ගෙවල් අවශ්‍යතා සම්පූර්ණ වෙන තැනට තල්ලු කිරීම බව. ඒත් ගොඩක් අය සරලව කරන්නේ ගෙවල් හද හදා බෙදන එක.

‘අතීත නිවාස ප්‍රතිපත්ති ඉතා යහපත් අභිප්‍රායන් සහිත වුවත් ක්‍රියාත්මක කිරීමේදී එම අරමුණු මුදුන්පත් කරගැනීමට හැකි වී නැත. නිවාස අංශය හොඳින් ක්‍රියාත්මක නොවන විට එහි ප්‍රතිවිපාක විඳීමට සිදු වී තිබෙන්නේ දුප්පත් ජනතාවටයි.’

ඒ වගේම මේකෙ තියෙනවා ‘කුලී පාලනයන්, පැල්පත් ඉවත් කිරීම්, නෙරපීම්, දැඩි ලෙස සහනාධාරිත නිවාස සඳහා රජයේ ප්‍රතිපාදන සැපයීම්, නොගැලපෙන නිවාස ඉදිකිරීම් සහ වෙනත් ප්‍රතිපත්ති මාලා රැසක් හඳුන්වාදෙමින් තවදුරටත් එහිම අකාර්යක්ෂම ප්‍රතිපත්තිමය විසඳුම් සැපයීමට තැත් කරයි.

මෙවැනි ප්‍රතිපත්ති අසාර්ථකවීම් නිසා වඩාත්ම පාඩු විඳින්නේ එම ප්‍රතිපත්තියෙන් ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කළ කණ්ඩායම්ම වේ.’

ඔබ දන්නවද? මානව අයිතිවාසිකම් කියන සංකල්පය..

ඔව් අනිවාර්යයෙන් දන්නව ඇති. ලෝකයේම ප්‍රගතිශීලී මිනිස්සු පිළිගත්ත මානවයා සතු අයිතිවාසිකම් කියන සංකල්පය එන්න එන්නම දියුණු වෙනවා. 1996 දී එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස සම්මේලනයේදී ගෙවල් කියන මිනිස්සුන්ගෙ මානව අයිතිවාසිකමක් බව පිළිගත්තා.

ඒ වගේම 2016 දී ඉක්වදෝර්වල තිබුණා හැබිටාඩ් ත්‍රී කියන සමුළුව. ඒකෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධව අනුමත කරගත්තා හැබිබැට් ත්‍රී ප්‍රකාශනය. මේ සමුළුව වෙනුවෙන් ශ්‍රී ලංකාව ලිඛිත ප්‍රතිපත්ති මාලාවකුත් යැව්වා. දැන් ලෝකෙම පිළිගත්ත තිරසර සංවර්ධන ප්‍රතිපත්ති, ඒ කිව්වෙ පරිසර හිතකාමී ලයින් එකේ පරිසර ප්‍රතිපත්ති එක්ක නාගරීකරණය කරන විදිය ඒකෙදී කතා කළා.

ඒ අනුව මිනිස්සුන්ගේ නිවාස අයිතිය තහවුරු කිරීමත්.. පරිසර හිතකාමීව නාගරීකරණයත් ඒ සම්මුතිවල පාර්ශ්වකාරයෙක් වෙච්ච ලංකා ආණ්ඩුවේ වගකීමක්.

එතකොට මේ ජාතික නිවාස ප්‍රතිපත්ති, ජාත්‍යන්තර ප්‍රඥප්ති ගැන දුමින්ද සිල්වාට අවබෝධයක් තිබෙනවාදැයි ඇතැම් පුද්ගලයන් අතර සැකයක්ද තිබෙනවා.