ගෝඨාගේ කාලේ ආ, ආවා යළි මැවේ! කඩුවලින් කපලා

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ව සිටිමින්, උතුරු පළාතේ විශාල වශයෙන් හමුදාව යොදවා ආරක්ෂාව තහවුරු කළ බව කී 2013 කාලයේදී ආරම්භ වී වැඩුණු ‘ආවා’ නම් කල්ලිය යළිත් පුද්ගලයන් තිදෙනෙකුට තුවාල කර ඇතැයි වාර්තා වෙනවා. මේ වන විට ඒ අතරින් තිදෙනෙකු අත්අඩංගුවට අරන්.

යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේදී 09 රාත්‍රියේ ආවා කල්ලියේ පහරදීමකින් පුද්ගලයින් තිදෙනෙකුට බරපතල තුවාල සිදුකල ආවා කල්ලි ප්‍රභලයෙකු 10 දින කඩුත් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පළ වෙලා.

තෙලිප්පලෙයි මාර්ගයකදී ඊයේ රාත්‍රියේ මෙලෙස තියුණු ආයුධවලින් පහරදීම සිදුව ඇති අතර පහරදීම සිදුකරන ලද ආවා කල්ලි සාමාජිකයින් පිළිබඳව ලැබුනු තොරතුරකට අනුව තෙලිප්පලෙයි අපරාධඅංශ පොලිස් නිලධාරීන් පිරිසක් අගෝස්තු 10 අලුයම් කාලයේදී විශේෂ වැටලීමක් කළාලු. ඉන් පසු ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයෙකු අධිබලැති එන්ජින් ධාරිතාවයෙන් යුතු යුතුපැදි දෙකක් හා කඩු දෙකක්ද සමගින් අතඅඩංගුවට ගැනීම සිදු වූ බව කියනවා.

මීට පෙර තමන් ආවා කල්ලියේයැයි කියමින් මාධ්‍ය ඉදිරියට පැමිණි අරුන් සිද්ධාර්ථන් නම් තරුණයා මේ වන විට යාපනයේ දේශපාලන සංවිධාන කටයුතු කරමින් සිටිනවා. මීට පෙර ඔවුන් පැවැත්වූ නිදහස් දින සැමරුමකට යුධ හමුදා මාධ්‍ය අංශයේ මාධ්‍ය අනුග්‍රහයත් ලැබී තිබුණා.

ඊට අමතරව ආවා කල්ලියේ මුල් සමයේ ඇතැම් සාමාජිකයන් බුද්ධි අංශවලට සම්බන්ධ බවටත් තොරතුරු ලංකාදීප පුවත්පත හෙළි කර තිබුණා.

මීට පෙර ආවා කල්ලිය එල්ටීටීඊ සංවිධානයේ යළි නැගිටීමක් ලෙස ඇතැමුන් අර්ථකතනය කර තිබුණත් යාපනයේ ජනතාවගේ සහයෝගය කිසිසේත්ම එලෙස ක්‍රියාත්මක වන කුඩා කණ්ඩායමට නොලැබෙන බව පසුව හෙළි වුණා.

යාපනයේ ඇතැම් පුද්ගලයන්ද විශ්වාස කරන්නේ මෙම කණ්ඩායම සුළු පිරිසකගෙන් සමන්විත එකක් නමුත්, පොලීසිය ඔවුන්ව සම්පූර්ණයෙන් අත්අඩංගුවට ගෙන මර්දනය නොකරන්නේ දෙමළ ජනතාවට එරෙහිව මර්දනය ක්‍රියාත්මක කිරීම සඳහා ආවා කල්ලිය පැවතීම උදව්වක් වන නිසා බව. ආවා කල්ලිය සිදුකරන අපරාධ පිළිබඳ සිංහල පුවත් පළ කිරීමෙන් දෙමළ ජනතාව ගැන බියක් හා සැකයක් සිංහල ජනතාව අතර ඇති කිරීමේ වුවමනාවක් තිබෙන බව ඔවුන් චෝදනා කරනවා.