උද්ඝෝෂණ කිරිම හා විරෝධය දැක්වීමට ඇති අයිතිය උල්ලංඝණය කරමින් පොලීසිය නිරෝධායන නීතිය යටතේ ගුරු විදුහල්පතිවරුන්ව අනීතිකව අත්අඩංගුවට ගැනීම අවධානය යොමු කරලා, අනීතික අත්අඩංගුවට ගැනීම් නවත්වන්න පියවර ගන්න කියලා ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ ලිපියක් පොලිස්පතිවරයාට යවලා.
අගෝස්තු 09 වෙනිදා ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු – විදුහල්පතිවරුන්ගේ වෘත්තිය සමිති 24 ක් මේ ලිපියට අත්සන් කරලා තියෙනවා.
ලිපිය පහළින්
ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය
2021.08.09
පොලිස්පතිතුමා
පොලිස් මූලස්ථානය
කොළඹ.
පොලිස්පතිතුමනි,
උද්ඝෝෂණවලට සහභාගි වූ ගුරුවරු සහ විදුහල්පතිවරු අනීතික ලෙස අත්අඩංගුව ගැනීම පිළිබඳව ගුරු-විදුහල්පතිවරුන්ට පවතින වැටුප් විෂමතාවට විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් දිවයින පුරා පාසල්වල ගුරුවරු සහ විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතව සිටී. එම වෘත්තීය ක්‍රියාමාර්ග අතර, විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ගණනාවක් ද ක්‍රියාත්මක කරමින් පවතී.
2021.08.04 දින කොළඹ ප්‍රදේශ කිහිපයකින් රථ පෙළපාලි මගින් කොළඹ නගරයට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයේ නිරත වූ ගුරු-විදුහල්පතිවරු උද්ඝෝෂණය අවසන් වී ආපසු යමින් සිටියදී පොලීසිය විසින් විවිධ ස්ථානවල දී ගුරුවරියන් 16 දෙනෙකු ඇතුළු 44 දෙනෙක් අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලීසියේ රදවා තබා 2021.08.05 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර අධිකරණයෙන් ඔවුන් ඇප මත නිදහස් කරන ලදී.
එසේම මහනුවර ප්‍රදේශයේ 2021.08.01 දින පැවති දෙමව්පිය උද්ඝෝෂණයට සහ 2021.08.04 දින පැවති ගුරු-විදුහල්පති උද්ඝෝෂණයට සහභාගි වූ ගුරුවරු, විදුහල්පතිවරු සහ දෙමාපියන් පිරිසක් සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඔවුන් 2021.08.11 දින අධිකරණය වෙත කැඳවා ඇත.
එසේම 2021.07.20 දින මාතර ප්‍රදේශයේ දී උද්ඝෝෂණයකට සහභාගි වූ ගුරුවරියක් ඇතුළු තිදෙනෙක් ඊයේ දින සහ අද දින අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, 2021.08.16 දින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අද (2021.08.09) දින යාපනයේ ගුරු-විදුහල්පතිවරු විසින් පැවැත් වූ රථ පෙළපාලියේ ඉදිරියෙන් ගමන් කළ වාහනයේ රියදුරු 2021.08.10 දින ප.ව. 5.00 පොලීසියට කැඳවා ඇත.
උද්ඝෝෂණයේ යෙදීමට හා විරෝධය දැක්වීමට ඇති අයිතිය උල්ලංඝණය කරමින් පොලීසිය විසින් කෝවිඩ් 19 නිරෝධායන පිළිවෙත්වලට මුවා වී ඉහත ආකාරයෙන් අත්තනෝමතිකව ගුරුවරු සහ විදුහල්පතිවරු අත්අඩංගුවට ගැනීම පිළිබඳව අවධානය යොමු කර එම අත්තනෝමතික කටයුතු නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.