රෝහලෙන් පැනගිහින් ගෙදර හැංගුණ දිවයින බුද්ධි විශේෂඥයා ගැන මේ ටික දැනගන්න!

දිවයින පුවත්පතේ ආන්දෝලනාත්මක මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය කොවිඩ් ආසාදනය වීමෙන් පසු රෝහලෙන් පැන ගොස් නිවසේ සැඟවී සිටියදී පොලීසියෙන් අල්ලාගෙන.

මෙරට සහ විදෙස් රටවල බුද්ධි අංශවල අභ්‍යන්තර තොරතුරු පවා දිවයිනේ ලියන මාධ්‍යවේදියා තමයි කීර්ති වර්ණකුලසූරිය. ඔහු හා දිවයින ගැන තතු මේ සටහනේ අවසානයේ අපි කියනවා.

මේ ගැන News-19 වාර්තාවෙන් උපුටාගත් කොටසක් පහළින්.

‘කොවිඩ් ආසාදිතව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ජාතික පුවත්පතක වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු රෝහලෙන් පැනගොස් ඇති බවට රෝහල් බලධාරීන් රෝහල් පොලීසියට පැමිණිලි කර තිබුණා.

පසුව තලංගම පොලීසියෙන් කළ සොයාබැලීමේදී වාර්තා වුණේ මෙලෙස රෝහලෙන් පැනගොස් ඇත්තේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන කීර්ති වර්ණකුළසූරිය නැමැත්තා බවයි.

රෝහලෙන් පැනගොස් සිටි මෙම පුද්ගලයා ඔහුගේ නිවසට ගොස් ඇති අතර පොලීසිය පැමිණ ඔහුට කතා කලද නිවසේ දොර ජනේල වසාගෙන සැඟව සිට තිබෙනවා.

පොලීසිය විසින් ඔහුගේ පෞද්ගලික දුරකතනයට හා නිවසේ ස්ථාවර දුරකතනයට ඇමතුම් ලබාගත්තද ඒ කිසිවකට කීර්ති වර්ණකුලසූරිය නැමැත්තා ප්‍රතිචාර නොදැක්වූ බවත් නිවසේ ස්ථාවර දුරකථනයේ රැහැන් ගලවා ඉවත්කර තිබූ බවත් තලංගම පොලීසිය සදහන් කරනවා.

පොලිස් ස්ථානාධිපතිවරයා සදහන් කරන්නේ පසුව පොලීස් නිලධාරීන් විසින් නිවසේ වහලයේ උළු ඉවත් කර නිවසට ඇතුළුවූ අවස්ථාවේදී නිවස තුළ සැඟව සිටි මෙම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා අල්ලාගත් බවයි.

අදාළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා මේ වන විට ඔහුගේ නිවසේම තබා නිරෝධායනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහුට විරුද්ධව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් පොලීසිය සදහන් කළා.’

අගෝස්තු 01 ඉරිදා දිවයිනේ කීර්ති වර්ණකුලසූරිය මහතා ලියා තිබුණේ ඉන්දීය බුද්ධි අංශ පෙගසස් නම් පරිගණක යෙදවුම පාවිචචි කරමින් ලංකාවේ ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පුද්ගලයන්ගේ දූරකථන ඇමතුම්වලට සවන් දුන් බවක්. ඒ යෙදවුම පාවිච්චි කරමින් පාස්කු ප්‍රහාරය ගැනත් කරුණු සොයාගත් හැටි.

බැලූ බැල්මට ඉන්දීය බුද්ධි අංශ ගැන පවා තොරතුරු වාර්තා කිරීමක් ලෙස ඒ වාර්තාව පෙනී ගියා. එහෙත් අගෝස්තු 08 ඉරිදා දිවයිනේ මුල් පිටුවේම පුවතක තිබුණා කීර්තිගේ වාර්තාවට නිවැරදි කිරීමක්.

කීර්ති මහතාගේ ලිපිවල නිතර මෙවැනි රහස් තොරතුරු සහිතයි. ඒවා ඔහු සොයාගත් හැටි පවා පුදුමයි.

පුද්ගලයන්ගේ ඡායාරූප රවුම් කරමින්, දීර්ඝ ලිපි ලියමින් ‘කොටි හිතවාදීන්’, ‘ඩොලර් කාක්කන්’, ‘එන්ජීඕකාරයන්’ හා දේශද්‍රෝහීන් කවුදැයි දිවයින පාඨකයන්ට කියා දෙන්නේ කීර්ති වර්ණකුලසූරිය මහතා.

ඔහුගේ වාර්තා අනුව ඇමෙරිකාව ඇතුළු ලොව ප්‍රබල රටවල නායකයන් තුන්තිස්පැයේ තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය යොදවන්නේ ලංකාවට කෙළවන්නට. ජිනීවා වැනි වෙනත් රටවල සිටින ‘දුෂ්ඨ සුද්දන්’ ලංකාව විනාශ කරන්නට කැසකවන හැටි ‘මහා හෙළිදරව්’ මෙන් ඔහු සතිපතා ලියනවා.

විදේශික සතුරන්ට අමතරව ලංකාවේ සිටින හතුරන් ගැනත් ලියන්නට ඔහු අමතක කරන්නේ නැහැ.

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙන්නෙක්ට පොලීසිය වෙඩි තැබීමෙන් පසු, වෙඩි තැබීම සාධාරණීකරණය කරමින් සිසුන් වරදකරුවන් බව හඟවන්නට ඔහු ලීවා. ‘කඩු කල්ලි’ කතා ප්‍රසිද්ධ වූ කාලෙක ඔහු පුවතක් ලීවේ යාපනයේ සිසුන් ආවේ ‘අධිබලැති යතුරු පැදියකින්’ බව. ඒත් වෙඩි කෑ සිසුන් ගමන් කර තිබුණේ බජාජ් සීටී 100 මෝටර් සයිකලයකින්.

එවැනි වැරදීම් වගේම ඉඳහිට අකරතැබ්බවලටත් වර්ණකුලසූරිය මහතා මුහුණදෙනවා. ඒ විදෙස් පුවත් සිංහලට පරිවර්තනය කරද්දී. මේ රෝහලින් පැනයෑම වගේම කකුල කටේ දමාගැනීම් තමයි ඔහුගේ එවැනි ලිපි.

මීට කලින් අඟහරු ලෝකයෙන් ගඩොල් හමු වූ බව ඔහු ලීවේ විද්‍යා පුවතක් වැරදියට තේරුම් අරන්.

පැනමා පත්‍රිකා ගැන හෙළි කළේ ‘ජෝන් ඩෝ’ නමැති පුද්ගලයෙකු බව ඔහු ලීවා. ඒ ඉංග්‍රීසි භාෂාවෙන් යම් පුද්ගලයෙකු තමන්ගේ නම නොකියා සැඟවී සිටිනවා නම් ‘ඩීප් ත්‍රෝට්’, ‘ජෝන් ඩෝ’ වැනි අන්වර්ථනාම යොදන බව නොදැන. ජෝන් ඩෝ යන්නෙන් සංකේතවත් වෙන්නේ ‘අනන්‍යතාව හෙළි නොකළ පුද්ගලයෙකු’ යන්න.

තවත් අවස්ථාවක ඔහු ලීවේ යානාවක් අනතුරට පත් වුණේ ‘මෘදුකාංගයක කුරුල්ලෙක් ගැටීමෙන්’ බව.

ඒවා සලදද්දී ඔහු විහිළුකාර චරිතයක් වුණත්, ඔහුගේ මාධ්‍ය භාවිතාව නම් ඇස් රතුවෙන විහිළුවක්.

ඔහු කිසිම සාක්ෂි නැතිව ලේබල් කරන දේශද්‍රෝහීන්ගේ ජීවිත පවා අනතුරේ වැටී තිබෙනවා. මොන තරම් කකුල කටේ දමාගත්තත්, දිවයින පාඨකයන්ට කීර්ති විශ්වාසයි.

වසංගතයක් මැද ඔහු කළායැයි වාර්තා වෙන ක්‍රියාවත් ලෙහෙසි පහසු එකක් නෙවෙයි.

ඉරිදා දිවයින පුවත්පතේ කතුවැකියේ තිබුණේ කොවිඩ්-19 වසංගතය මැද වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම. මිනිසුන් වගකීමෙන් කටයුතු කළ යුතු බව එහි පෙන්වා තිබුණත්, වක්‍රව ගුරුවරුන්ට මෙන්ම මුස්ලිම් ජනතාවට ඉලක්ක වෙන වැකි ඒ කතුවැකියේ තිබුණා.

‘ඇතැම් දෙනා මේ මොහොතේ සිය වගකීම අවබෝධ කරගෙන කටයුතු කරන බවක් අප දකින්නේ නැත. කොරෝනා දෙවැනි රැුල්ල කි‍්‍රයාත්මක වෙද්දී බණ්ඩාරගම අටලූගම අසාදිතයකු රෝහල්ගත කිරීමට යෑමේදී පී. එච්. අයි. මහත්වරු මුහුණ දුන් සිද්ධිය කාටවත් අමතක නැත. පී.එච්.අයි. මහත්වරුන්ට කෙළ ගැසූ එම අපතයාට අවසානයේදී සිර දඬුවම් විඳීමට සිදුවිය.’

ඔය ආදී වශයෙන් දිවයින කතුවැකියේදී වගකීම් විරහිත බවට උදාහරණයක් ලෙස ගෙන තිබුණේ අටලුගම සිදුවීම.

දිවයිනේ භාෂාවෙන් අපි අහන්න ඕනෑ කොවිඩ්-19 වසංගතය හමුවේ වගකීම් කඩ කළ ‘මේ අපතයාට’ දඬුවම් ලැබෙනු ඇතිද කියලා.

අප හිතන්නේ නෑ.

කිසි දෙයක් නොවුණා වාගේ ඔහුගේ ‘ආරක්ෂක’ තීරුව දිවයිනේ සුපුරුදු ලෙස පළවෙනු ඇති. දේශද්‍රෝහීන්ව ලේබල් කිරීම ඉදිරියේදීත් සිදුවනු ඇති.