උසාවිය විහිළුවක්ද? පොලීසියට මහේස්ත්‍රාත්ගෙන් කුණු බැණුම්!

       

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ මිනිසුන් ඒකරාශි වීම අයුතු ජන රාශියක් වෙන්නේ කොහොමද කියලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අගොස්තු 06 වැනිදා කුරුඳුවත්ත පොලිසියෙන් විමසලා. පුද්ගලයන් රස්තියාදු කරමින් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාව ගැන දෝෂාරෝපණය කරලා.

කොළඹ සොයිසා වටරවුමේදී පැවැත්වූ උද්ඝෝෂණයකට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළා කියලා කුරුඳුවත්ත පොලීසියෙන් අත්අඩංගුවට ගත්ත පිරිසක් ඉදිරිපත් කළාම තමයි මහේස්ත්‍රාත්වරයා එහෙම කියලා තියෙන්නේ.

මෙහෙම බලහත්කාරයෙන් අරගෙන ඇවිත් උසාවියට ඉදිරිපත් කරපු අය වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල හා නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණය හමුවේ පෙනී සිටියා.

අප වෙත සිදුවීම ගැන විස්තර කරමින් නීතිඥ සුනිල් වටගල මෙහෙම කීවා.

‘ශිෂ්‍යයෙකුයි සාමාන්‍ය මිනිස්සු දෙන්නෙකුයි උසාවියට අරගෙන ආවා. මහේස්ත්‍රාත් ඇහුවා මොකක්ද මේගොල්ලෝ කරලා තියෙන වරද කියලා. එක්කෙනෙකුට කිව්වා මෙහයා මේ මුඛ ආවරණය ගලවලා පාරේ කෙළ ගහන්න ගියා කියලා. ඒකට එරෙහිව නීතියක් තියෙන බව.

අනෙක් එක්කෙනා නීතිවිරෝධී ජනරාශියකට සහභාගියකට සහභාගී වුණා කිව්වා.

ශිෂ්‍යයාගේ අතේ බැනර් එකක් තිබුණා කිව්වා. නීතිවිරෝධී ජනරාශියකට සම්බන්ධවෙලා.

ඔය ටික බලලා මහේස්ත්‍රාත්තුමා ඇහුවා නීතිවිරෝධී ජනරාශියක් කොහේද තිබුණේ කියලා.

ටවුන්හෝල් එකේ කිව්වා.

කීයක් සහභාගී වුණාද කියලා ඇහුවා.

පන්සීයක් විතර හිටියා කිව්වා.

පන්සීයක් හිටපු තැනින් එක්කෙනෙක් අරගෙන ආවාම අනෙක් අයට මොකද වෙන්නේ කියලා ඇහුවා.

ඒකට කිව්වා අනෙක් අයගේ ඡායාරූප අරන් තියෙනවා, ඒ අයව පස්සේ ගන්නවා කියලා.

අයුතු ජනරාශිය ගැන නීතිය මොකක්ද කියලා ඇහුවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15-7 කිව්වා.

ඒක මූලික අයිතිවාසිකම් සීමා කරන වගන්තියක්. ඒත් ඒක මේ සිදුවීමට කිසිසේත් අදාල නැහැ.

ඒ නිසා මහේස්ත්‍රාත්තුමා කිව්වා ඕගොල්ලන් කල්පනා කරලා වැඩ කරන්න කියලා. කවුරුවත් කියන පළියට මෙතැනට ආවාට ඒ වගන්ති විස්තර කරන්න දන්නේත් නැහැ. ඒ වගන්ති අදාලත් නෑ. නිරපරාදේ මේ විදියට මිනිස්සු ගේන්න එපා කියලා. දැන් මම මොකක්ද කරන්න ඕනෑ කියලා ඇහුවා.

බන්ධනාගාරගත කරන්න ඕනෑ කිව්වා.

එතකොට මහේස්ත්‍රාත්තුමා ඇහුවා අලුත් නියෝගයක් තියෙනවා දන්නවාද, බන්ධනාගාර පිරිලා තියෙන නිසා ඇප ලබා දීම විසඳුමක් බවට. මේ වගේ සුළු දේකටත් බන්ධනාගාරගත කරන්න කියලා කියනවානම්, දැන් මම ඒක කරන්න ඕනෑද කියලා ඇහුවා. මෙතැන උසාවි විහිළුවකට ගන්න එපා කිව්වා. මහජනතාවට සේවය කරන්න තියෙන තැනක් කිසි තේරුමක් නැති මිනිසුන් හිංසාවට පත් කරන වැඩවලට උසාවිය පාවිච්චි කරන්න එපා කිව්වා.

මිනිස්සු රස්තියාදු කරන්නේ නැතිව චෝදනාව දාලා, වැරදිකරුද නිවැරදිකරුද කියලා වැඩේ ඉවර කරන්න කියලා තදින් බැන්නා. පොලිස් නිලධාරීන්ගේ රෙදි ගැලවීමක් වගෙයි ඒ කතාව.’

ඒ හැරුණාම සුනිල් වටගල මහතා වැඩිදුරටත් දැන් පවති ප්‍රවණතාව ගැන විස්තර කළා.

‘මහේස්ත්‍රාත් උසාවිවලින් විරෝධතාවක් තියෙනකොට ඒක තහනම් කරන්න කියලා ඉල්ලනවා. ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. කළාට පස්සේ උද්ඝෝෂණ කරන්න ඉඩ හරිනවා. ඒ ඉවරවෙලා යනකොට යන මිනිසුන් අත්අඩංගුවට ගන්නවා. මේක ප්‍රවණතාවක් විදියට යනවා.

වාහන පසුපස පන්නනවා.

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට ගැනීමත් ඒ වගෙයි. මේක මිනිසුන්ට කරන හිංසාවක්.’