අන්තරේ කැඳවුම්කරු දවස් පහක් ඇතුළට

අගෝස්තු 03 වැනිදා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරගැනීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටි නිසා, එයට විරෝධය දක්වමින් උද්ඝෝෂණය කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත කුමාර මුදලිගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප අගෝස්තු 06 සිට අගෝස්තු 11 දක්වා දින පහක් රක්ෂිත බන්ධනාගාරගත කරලා.

මේකට විරෝධය දක්වමින් අගෝස්තු 06 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් ඉල්ලා තිබුණේ අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්න කියලයි.

මේ අත්අඩංගුවට ගැනීම්වල පසුබිම පැහැදිලි කරමින්, එය මර්දනයක් විදියට ඔවුන් පෙන්වා දීලා තිබුණා. ඔවුන් පළ කරන ලද නිවේදනයක මෙහෙම සඳහන් වෙනවා.

‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය කොතලාවල පනතට එරෙහිව පසුගිය 03 වනදා සිදු කළ විරෝධතාවෙන් පසු එම විරෝධතාවට සහභාගී වු පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටි.

සිරස රූපවාහිනි නාලිකාවේ වැඩසටහනකට සම්බන්ධ වී සිට එයින් පිටව යාමේ දී (පාන්දර 3.30ට පමණ) කැඳවුම්කරු සහෝදරයා අත්අඩංගුවට ගනු ලැබීය. සිරස රත්මලාන මැදිරි සංකිර්ණය අසල මාර්ග පොලිස් බැරියර් දමා වසා දමමින් පොලිසිය හා විශේෂ කාර්ය බලකා නිළධාරින් විශාල ප්‍රමාණයක් එම ස්ථානය වටලා සිට මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

එසේම 3 වනදා රාත්‍රීයේ කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්ත සහෝදරයාත් සිසුජන ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් වන කෝෂිලා හංසමාලි සහෝදරියත් අත්අඩංගුවට ගනු ලැබුවේ නිවෙස් වල සිටියදී ය.

ජපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප සහෝදරයා විශ්වවිද්‍යාලය අසල දී ඊයේ (05) පැහැරගනු ලැබීය. පැහැර ගත් අමිල සහෝදරයා රඳවා ප්‍රශ්න කිරීමට ලක් කර ඇත. ඒ කැඳවුම්කරු සහෝදරයා සිටින ස්ථානය විමසමිනි. කැඳවුම්කරු සහෝදරයා ලිප්ටන් වට රවුමේ විරෝධතාවේ සිටින බවට පැහැරගත් පුද්ගලයන්ට තොරතුරු ලැබීමත් සමඟ අමිල සංදීප තලංගම පොලිසියට බාර දෙනු ලැබීය. ඒ අනුව නිල නොවන කණ්ඩායම් හා පොලිසිය අවබෝයෙන් ක්‍රියාකරමින් පැහැර ගැනීම්, අත්අඩංගුවට ගැනිම් සිදු කරයි.

එසේම අ.වි.ශි.බ.ම නියෝජිත උදාර සඳරුවන් සහෝදරයාගේ නිවසට අවස්ථා කිහිපයකදීම පොලිස් නිළධාරීන් කඩා පැන ඇත. එහිදී ඔහු පොලීසියට බාර නොවන්නේ නම් නිවැසියන්ගෙන් කෙනෙකු අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර ඇත. විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සංවිධානය කල විරෝධතාවට සම්බන්ධ වී පැමිණෙක බස් රථ නවතා තර්ජනය කරමින් අත්අඩංගුවට ගැනීමට සොදිසි කිරිම් සිදු කර ඇත.

ලිප්ටන් වට රවුමේ විරෝධතාවට සම්බන්ධ වීමට පැමිණි කැලණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසර සහෝදරයෙකු ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණ. මීට අමතරව උද්ඝෝෂණයට සම්බන්ධ වු ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයින් හා දේශපාලන ක්‍රියාධරයන්ගේ නිවෙස්, කාර්යාල වලට කඩා වදිමින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම් ගණනාවක් වාර්තා විය. එම නිවෙස් වල සිටින අයට තර්ජනය කිරීම් ද සිදු කර ඇත. එසේම උද්ඝෝෂණයට සහභාගී වීමට පිරිස පැමිණි වාහන වල රියදුරන් හා හිමිකරුවන් තලංගම පොලිසියට කැඳවා ඇති අතර ඔවුන්ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

කොතලාවල පනතට සමාජය තුළින් බරපතල විරෝධයක් එල්ල වී ඇත්තේ ඊට එරෙහිව අඛණ්ඩව ක්‍රියාත්මක වු උද්ඝෝෂණ හා දැනුවත් කිරීමේ වැඩපිළිවෙල හේතුවෙනි. ආණ්ඩුවේ මර්දනය තඹ දොයිතුවකට මායිම් නොකළ විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක විය. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම හා කොතලාවල පනත අහෝසි කරන ලෙස බල කරමින්ද දැවැන්ත විරෝධතා රට පුරා ක්‍රියාතමක වෙමින් තිබියදී ආණ්ඩුව සිදුකරමින් පවතින්නේ ගැටලු වලට පිලිතුරු සැපයීම වෙනුවට ක්‍රියාකාරීන් නින්දිත ලෙස පැහැරගෙන ගොස් සිරගත කිරීමයි.’