අවුරුද්දක් හිරේ ඉන්න කවියා ලැබූ විශේෂ ජයග්‍රහණය! නීතිඥයා කී කතාව

නවරසම් නමින් කවි පොතක් ලීවායැයි ආණ්ඩුව අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ අත්අඩංගුවේ රඳවාගෙන සිටින තරුණ කවියෙකු වන අහ්නාෆ් ජසීම්ව හමුවීම සඳහා නීතිඥයන්ට අවස්ථාව දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජුලි 05 වැනිදා නියෝග කර තිබුණා.

මේ කවියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ හා ශිරාන් ගුණරත්න කියන විනිසුරුවරුන් තමයි මේ නියෝගය දීලා තිබුණේ. මේ කවියා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අදහස් දක්වා තිබුණේ නීතිඥ කේ. කනගීෂ්වරන්.

අප සමඟ අදහස් දැක්වූ මේ කවියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය විල්සන් ගුණසේකර පැහැදිලි කළේ, කවියාගේ පැත්තෙන් මෙය විශාල ජයග්‍රහණයක් බව.

‘ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස් මහතා ජුලි 22 දිනැතිව අපි ගොනු කරපු පෙත්සමට ප්‍රතිචාර විදියට සීමිත දිවුරුම් පෙත්සමක් ගොනු කළා. අපි ඉල්ලා සිටියේ ඒක උසාවියෙන් පිළිගන්න එපා,  උසාවියෙන් පිළිගන්නවානම්, එයට ප්‍රතිතර්ක ගොනු කිරීමට අපට ඉඩ දෙන්න කියලා. 

ඒ වෙනුවෙන් කවියාව මුණගැසී සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලුවා. උසාවිය කළේ අධ්‍යක්ෂවරයාගේ පෙත්සම පිළිඅරගෙන, අපට සේවාදායකයා මුණගැහෙන්න අවස්ථාව දෙන්න අවසර දුන්නා. ඒ අනුව අපට අහ්නෆ්ව උසාවිය තුළ මුණගැහෙන්න පුළුවන්. අපට ඒ සඳහා ඉඩ ලබා දෙන්න පොරොන්දු වුණා.

අපි මේකට සටන් කළත්, මාස හතරක් තිස්සේ ඔහුව මුණගැහෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ හමු වුණේත් ඔහු අත්අඩගුවට ගැනීමෙන් පස්සේ එකම එක වතාවක්, ඒ කියන්නේ මාර්තු මාසයේදී තමයි අපි ඔහුව මුණගැහුණේ.

ඇතුළේ කොවිඩ් ප්‍රශ්නය තියෙන නිසා සියළුම මුණගැසීම් තාවකාලිකව අත්හිටුවලා තියෙනවා කියලා යන්න දුන්නේ නැහැ. අපි මේ තත්වයට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියේදීත් අභියෝග කළා. මහේස්ත්‍රාත් උසාවියත් නියෝග කළා මේ තත්වය ගැන වාර්තාවක් එවන්න කියලා. එවපු වාර්තාව අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයක් උපුටා දක්වමින් මුණගැහෙන්න දෙන්න බැරි බව කීවා. එතැනින් එහාට අපට මුණගැහෙන්න අවස්ථාව සලසලා දුන්නේ නැහැ.

ඒ අනුව මුණගැසීමට සියළු අවස්ථා ඇහිරිලා තිබුණේ. ඒ නිසයි මේක ලොකු ජයග්‍රහණයක් වෙන්නේ.’

2020 මැයි 16 වැනිදා සිට මේ දක්වා අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ මේ තරුණ කවියා ඉන්නේ අත්අඩංගුවේ. 2021 මාර්තුවේ එක් වතාවක් නීතිඥයෙක්ට හමුවීමට දුන් අවස්ථාව හැරුණාම වෙන කිසිම අවස්ථාවක් ලැබී තිබුණේ නැහැ.

ඔහු ලියූ කවිවල අන්තවාදයට උඩගෙඩි දෙන බව තමයි මුලින් කී චෝදනාව. එහෙත්, හරිහැටි අධිකරණ පියවර ගැනීමක්, චෝදනා ගොනු කිරීමක් හෝ නීතිඥයන් හමුවීමට අවස්ථාවක් ලබාදීමක්වත් සිද්ධවුණේ නෑ. ඒ නිසා අඩු තරමේ තමන් නිර්දෝෂී බව කියන්නටවත් කවියාට ඉඩක් ලැබුණේ නැහැ.

අහ්නෆ් වෙනුවෙන් ගොනු කළ උක්ත මූලික අයිතිවාසිකම් පෙත්සමේ ඔහුට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කිරීම වගේම, ආණ්ඩුවෙන් ගෙතූ චෝදනා පිළිගත්තොත් නිදහස් කරන බව වක්‍රාකාර තර්ජනය කිරීම් ගැන පවා කරුණු සඳහන් වෙනවා.

ඒ අතරේ ඔහු දෙමළ බසින් ලියූ කවි ඉංග්‍රීසි හා සිංහල භාෂාවලට පරිවර්තනය වුණා. ඒවා කිසිසේත්ම අන්තවාදයට උඩගෙඩි නොදෙන, බොහෝ විට අන්තවාදයට එරෙහි කවි බවත් හෙළි වුණා. ඔහු අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතා සංවිධානය වුණා.