උතුරු කොරියාවෙ ආර්ථිකය දුවන්නේ කොහොමද?

ලෝක දේශපාලනය තුළ හිතුවක්කාර දරුවෙකු ලෙස උතුරු කොරියාව හැඳින්විය හැකියි. තමන්ට ඕනෑ රසකැවිල්ල ලැබෙනතුරු කෑගසමින් දඟකරන දරුවෙකු වාගේ එක් කාලෙකට උතුරු කොරියානු නායකයා ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බය ගන්වනවා. ඒ අනුව බලවත් රටවල්වලට උතුරු කොරියාව කෙරෙහි තිබෙන ආර්ථික සම්බාධක මඳක් ලිහිල් කරන්නට සිද්ධ වෙනවා.

එයින් පසු ආර්ථික සහනයක් ලැබෙනවා. රසකැවිල්ල කා නින්දට යන දඟ දරුවා මෙන් උතුරු කොරියාව නිහඬ වෙනවා. ඒත්, මාස කිහිපයකට පසු නැවතත් පරණ කටයුතු සියල්ල සුපුරුදු විදියට සිද්ධ වෙනවා. උතුරු කොරියාව නම් දඟ දරුවා තමන්ගේ සෙල්ලම් බඩු වැනි මිසයිල එළියට පෙන්වමින් දඟ කරන්න ගන්නවා.

උතුරු කොරියාවේ ආර්ථික සැලසුම බව බැලූ බැල්මට පෙනෙන්නේ ලෝකය බය කිරීමේ සෙල්ලම. ඒත්, ඔවුන්ගේ ආර්ථික ක්‍රියාවලිය ඊට වඩා සංකීර්ණයි.

පණපිටින් සිටීම

ඕනෑ රටක දැඩි නායකයෙක් කැමතියි තමන්ගේ හිතුමතේට වැඩ කරන්නට. ප්‍රතිවාදීන් මර්දනය කරන්නට. දිවි ඇති තෙක් පාලනය කරන්නට. ඒත්, ඔවුන් එතැනට නොගොස් නවතින්නේ ජාත්‍යන්තර සබඳතා නම් දම්වැල නිසයි.

උතුරු කොරියාව ඒ දම්වැලට හසු නොවූ ප්‍රජාතන්ත්‍රවිරෝධී, ඒකාධිපති රටවල් අතරින්, දරුණුම කෙළවරේ තියෙන රටක්. ආනයන, අපනයන ආර්ථිකය අතින් අන්තයට ගිය රටක්. ජාත්‍යන්තර සබඳතා අතින් අන්තයට පිරිහුණු රටක්. වෙනත් රටවල් එක්ක මූල්‍ය ගනුදෙනු නැති නිසා එරට මුදල් ඒකකවලට වටිනාකමක් නෑ. ඒ ආර්ථිකය කඩා නොවැටී පවතින හැටි පුදුමයි.

උතුරු කොරියාවේ ආර්ථිකයට තිබෙන ලොකුම අභියෝගය තමයි පණ පිටින් සිටීම. ආර්ථිකය වැටුණොත් ජනතාව පාලනය කරන්නට පාලකයන්ට නොහැකියි. කඩා නොවැටී පණ පිටීමේ ඉඳීමේ කලාව මෑතකාලීන උතුරු කොරියාවේ හැම පාලකයෙක්ම ප්‍රගුණ කළ කලාවක්.

අප තේරුම් නොගත් දෙයක් තියෙනවා. බොහෝ මිනිසුන්ගේ ඇතුළේ මිනීමරුවෙක් ඉන්නවා යන්න ප්‍රකට කතාවක්නේ. ඒ වාගේ තමයි. අපේ රටවල් ඇතුළේත් අඩු වැඩි වශයෙන් උතුරු කොරියාවක් ඉන්නවා. අන්තයට නොගියත්, උතුරු කොරියාවේ ඇතැම් ලක්ෂණ අපටත් තියෙනවා. එහෙම පිටින්ම උතුරු කොරියාවක් බවට පත් වීමේ හැකියාවත් අපට තියෙනවා.

ජාත්‍යන්තර සමාජය නොතකමින්, තව තවත් කොණ්වෙමින්, චීනයට ළං වෙමින් අපටත් උතුරු කොරියාවක් බවට පත් වීමේ ‘මහඟු අවස්ථාව’ තියෙනවා. ‘එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපව ප්‍රශ්න කරන්න බැහැ’ වාගේ සාම්ප්‍රදායික තර්ක නගමින් හිටියොත් අප යන්නේත් ඒ පාරේ.

ප්‍රශ්නය, පුරවැසි අප ඒ මාවතේ තවත් දුර ගමන් කරන්නට සූදානම්ද කියන එක.

උතුරු කොරියාව ඇතුළේ ජීවිතය කොහොමද කියලා හරියටම දන්නේ නෑ. අපි දන්නවා එය පාලනය කරන්නේ අමුතු කොණ්ඩා විලාසිතාවක් තිබෙන, තරුණ කිම් ජොන් උන් බව. ඔහු ගැන විවිධ කතාන්දර, මාධ්‍ය වාර්තා අප දන්නවා.

කෙසේ වෙතත් මේ රටේ ආර්ථිකය පවතින හැටි බොහෝ දෙනෙකුගේ කුතුහලයට හේතු වූවක්. ඒ ගැන අධ්‍යන බොහොමයි. මූලික වශයෙන් උතුරු කොරියාවේ ආර්ථිකය කාරණා දෙකක් මත රඳා පවතිනවාලු. එකක් කළු ආර්ථිකය. අනෙක චීන සහයෝගය.

කළු ආර්ථිකය

උතුරු කොරියානු ආර්ථිකය හොර බඩු ජාවාරම් සහ කළු කඩ වෙළෙන්දන් මත රඳා පවතිනවා. වාමාංශික ලේබලයක් සහිත උතුරු කොරියාවේ ආර්ථිකයේ බහුතරය දුවවන්නේ ආණ්ඩුව. වෙළඳාම් නීතිවිරෝධීයි. ඒත්, පෞද්ගලික වෙළඳාම එරට තහනම්. පෞද්ගලික දේපළ පවා තහනම්.

උතුරු කොරියාවේ ආර්ථිකය කලින් තිබුණේ සොවියට් දේශය සහ චීනය අතර සම්බන්ධතාවල සමබරතාවයක් එක්ක. ඒ රටවල් දෙකම උතුරු කොරියාවේ හිත සතුටු කරන්නට සම්බන්ධතා පැවැත්වුවා. එහෙත් 1991 දී සෝවියට් දේශය කඩා වැටුණා.

එයින් පසු උතුරු කොරියවේ දැවැන්ත සාගතයක් ආවා. එයින් ලක්ෂ දෙකක් සහ මිලියන තුනක් අතර පිරිසක් මියගිය බව අනුමාන කරනවා.

පෞද්ගලික දේපළ තහනම් වූ උතුරු කොරියාවේ ආර්ථිකය කලින් දිව්වේ කොමියුනිස්ට්වාදී පොදු දේපළ ක්‍රමයක් මත. සියළු අස්වැන්න රජය පවරාගන්නවා. එයින් පසු අස්වැන්න ජනතාව අතර බෙදා හරිනවා. මේ ක්‍රමය හැට ගණන්වල හා හැත්තෑ ගණන්වල සාර්ථක වුණා. එහෙත් අසූ ගණන්වල එය අසාර්ථක වීම පටන් ගත්තා. අනූ ගණන්වල දරුණු වුණා. සාගතයක් ආවේ ඒ නිසයි. එක් කෙනෙකුට ලැබුණු ආහාර ප්‍රමාණය අඩු වුණා. ඒ කාලය අවසන් වන විට උතුරු කොරියාවේ පෞද්ගලික දේපළ තහනම් වූ ආර්ථිකයට පැවතීම අසීරු වුණා. සාගතයෙන් ඔවුන් නැවත ගොඩ ආවේ නෑ. එහෙත් කොමියුනිස්ට්වාදය අසාර්ථක බව පිළිගන්නට උතුරු කොරියානු පාලකයන් කැමති වුණේ නෑ. ඒ වෙනුවට ඔවුන් කළේ ලිබරල් ආර්ථිකයත් සමඟ හොරෙන් නිදි වැදීම.

එරට පෞද්ගලික දේපළ තහනම් වුණත්, ටිකෙන් ටික පෞද්ගලික දේපළ සහ ගනුදෙනු වැඩි වෙන්නට පටන් ගත්තා. එරට සියළු දෙනා කළ යුත්තේ රජයේ රැකියා. එහෙත් ටිකෙන් ටික රජයේ රැකියා කරන පිරිස සීයට හැටක් පමණ වුණා. ඒ අයත්, රජයේ රැකියාව කරන අතරතුරේ අමතර පෞද්ගලික රැකියා කළා.

ඉතිරි අය පූර්ණකාලීනව කළු වෙළඳපොළ් භාණ්ඩ විකිණීම, බෙදාහැරීම, මිලට ගැනීම ආදී රැකියා කරන්නට පටන්ගත්තා. කළු වෙළඳපළේ විවිධාකාර රැකියා සහ ව්‍යාපාර බිහි වුණා. හොර බඩු ලෙස රටට ගෙන ආ රුසියානු සිගරැට් සහ චීන බියර් ඇතුළු නොයෙක් භාණ්ඩ, ඇඳුම් පැළඳුම් විකුණන්නට පටන් ගත්තා.

කාන්තාවන් බොහොමයක් නිල වශයෙන් රජයේ රැකියාවක් නොකර ‘පුර්ණකාලීන ගෘහණියන්’ ලෙස රෙජිස්ටර් වුණා. ඔවුන් අර කළු වෙළඳපළේ රැකියා ලැබුවා. කළු වෙළඳපොළක බදු නැහැ. රජයේ සංගණන නැහැ. භාණ්ඩවල ප්‍රමිතිය මනින්නේ නැහැ. කම්කරු අයිතීන් නැහැ.

එරට නීතියට අනුව නීතිවිරෝධී ආර්ථිකය, රජය හොඳින්ම දුටුවා. මේ පෞද්ගලික දේපළ සහිත ආර්ථිකය හොරෙන් හොරෙන් කළ එකක් නෙවෙයි. නීතිය ක්‍රියාත්මක කරමින්, එය නැවැත්වීමේ හැකියාව රජයට හොඳින්ම තිබුණා.

එහෙත්, කළු ආර්ථිකය කඩා දැම්මොත් රජයට පුරවැසියන් වෙත ආහාර සපයන්නට සිදු වෙනවා. අර කොමියුනිස්ට් ක්‍රමයට. එය කරන්නට රජය අසමත් නිසා, හොරෙන්ම ලිබරල් වෙළඳපොළක් පවත්වාගෙන යන්නට වුණා.

මේ ලිබරල් ආර්ථිකය තමන්ගේ පැවැත්මට හානියක් නොවන සීමාවේ නතර කරගැනීම උතුරු කොරියානු රජයේ වුවමනාව. ඒ නිසා ඇතැම් විට නීතිරීති පනවා ඒ වෙළඳපොළ දිරිමත් කරන එම රජය, තවත් මොහොතක නීති ක්‍රියාත්මක කරමින් සීමා දානවා. ආර්ථික හෝ සමාජයීය ‘නිදහසට’ ඒ රජය බයයි. ඒත්, වෙන කරන්නට දෙයක් නැති නිසා ආර්ථික නිදහසට ඉඩ දෙනවා.

දුප්පත් අයට ඒ කළු වෙළඳපොළෙන් කෑම වේල සොයාගන්නටත්, යම් ආදායමක් තිබෙන අයට ආර්ථික ඉණිමඟේ ඉහළ නගින්නටත් අවසර තියෙනවා. එහෙත් රජය පෙරළීම තහනම්. ඇතැම් විට එරට රජයේ සමාගම් අර්ධ පෞද්ගලික තැනට පත්ව තිබුණා.

උතුරු කොරියානු රජය එක් මොහොතක, අනිවාර්යයෙන්ම කරන්නට ඕනෑ රජයේ රැකියාවෙන් මුදල් ගෙවා නිදහස් වීමේ හැකියාව පුරවැසියන්ට දුන්නා.

අපේ රටේත් ආර්ථිකයේ වැඩි කොටසක් දුවන්නේ බදුවලට හසු නොවෙන කළු ආර්ථිකයක් ලෙස. සාමාන්‍ය බෝඩිම් කාමර, ස්පා, රජයේ රැකියා කරන අය අතයටින් කරන ව්‍යාපාර, මාධ්‍යවේදීන් වැනි නොයෙකුත් රැකියා කරන අයගේ ව්‍යාපාර බදුවලට හසු නොවෙන කළු ආර්ථිකයක කොටස්. බොහෝ පිරිසකගේ මාසික ආදායම සම්පූර්ණ වෙන්නේ නිල වශයෙන් ඔහු ලබන වැටුපෙන් විතරක් නෙවෙයි. ඒ නිසා උතුරු කොරියානු කළු ආර්ථිකයේ ලක්ෂණ අපටත් තියෙනවා.

2009 දී උතුරු කොරියාවේ සියළු පුරවැසියන් එරට මුදල් ඒකකය වන වොං ලක්ෂයකට නොවැඩි මුදල් නෝට්ටු සියල්ල බැංකුවලින් හුවමාරු කිරීමේ නීතියක් දැම්මා. ඒ නිසා කළු ආර්ථිකයෙන් උපයා, සඟවාගෙන සිටි විශාල මුදල් ප්‍රමාණයක් ඇතැම් අයට අහිමි වුණා. එහි ප්‍රතිඵලය වුණේ වොං නම් මුදල් ඒකකය උතුරු කොරියානුවන් අවිශ්වාස කිරීම.

එයින් පසු බොහෝ උතුරු කොරියානුවන් චීනයේ යුවාන්වලින් ගනුදෙනු කරන්න පටන්ගත්තා. එරට කළු ආර්ථිකය චීන මුදලින් ගනුදෙනු කරනවා.

චීනය

ආර්ථික වශයෙන් බැලූ කල උතුරු කොරියාවේ එකම හිතවතා චීනය. එහෙත් යථාර්තවාදීව උතුරු කොරියාව සැබෑ ලෙස චීනයේ රූකඩයක් නෙවෙයි. චීනය පැත්තෙන් උතුරු කොරියාව එක්ක තිබෙන සම්බන්ධය සැබෑ බැඳීමකට වඩා අවස්ථාවාදී බැඳීමක්. චීනය කිසිම රටකට සැබෑ යහපත වෙනුවෙන් අවංකව කටයුතු කරන්නේ නෑ.

චීනයේ පැවැත්මට උතුරු කොරියාව ආර්ථික වශයෙන් සාර්ථක, දියුණු රටක් වීම වැදගත් නෑ. චීනයට ඕනෑ උතුරු කොරියාවේ වත්මන් පැවැත්ම කඩා නොවැටී ඉදිරියට යෑම විතරයි. උතුරු කොරියාව බංකොළොත් වුණොත් චීනයට ප්‍රශ්නයක්. චීන දේශ සීමාවේ සිටින උතුරු කොරියානුවන් සරණාගතයන් ලෙස චීනයට පැමිණීමේ ඉඩක් තියෙනවා. ඒ චීනයෙහි ආර්ථික වශයෙන් දුර්වල ප්‍රදේශයකට.

ඊටත් වඩා භයානක විය හැකියි ඇමෙරිකානු හමුදා උතුරු කොරියාවට ගියොත්. එසේ වුණොත් චීනයේ දොරකඩට ඇමෙරිකානු හමුදා එනවා. ඒ නිසා, උතුරු කොරියානු ආර්ථිකයට මැරෙන්නට නොදී පණ පිටින් තබාගැනීම චීනයේ කැමැත්ත.

උතුරු කොරියාවේ ආර්ථික ගනුදෙනුවලින් අතිශය වැඩි ප්‍රමාණයක් චීනය සමඟ. අනෙක් රටවල් සමඟ ආර්ථික සම්බන්ධතා ඇත්තේම නැති තරම්.

චීනය හොඳින්ම දන්නවා, උතුරු කොරියාව කෙරෙහි තමන්ගේ බලපෑම සීමා සහිත බව. විශේෂයෙන් රටේ අභ්‍යන්තර කටයුතුවලට. උතුරු කොරියාවේ මිසයිල අත්හදාබැලීවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ තීන්දුවලට පවා චීනය පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

මේ චීන හිතවාදීකමත් අපේ රටේ තිබෙන ලක්ෂණයක්. වෙනත් රටවල් සමඟ සම්බන්ධතා දුර්වල කරගැනීමත්, අන්තිමේ සම්බාධක පනවන තැනට පත්වීමත්, චීනය මත බලපොරොත්තු තැබීමත් අපේ රටත් යා හැකි අඳුරු කලාපයක්. එසේ නම් මතක තියාගන්න ඕනෑ, චීනය යම් රටක් දියුණු වෙන්නට තරම් සහයෝගය නොදෙන බව. ඔවුන් සහයෝගය දෙන්නේ නොවැටී පණ අදින්නට පමණයි.

උතුරු කොරියාව එක්කම ආර්ථිකය පටන්ගත් සහෝදර රට තමයි දකුණු කොරියාව. උතුරු කොරියාවට තරම් සම්පත් දකුණු කොරියාවට තිබුණේ නෑ. චීනය සහ සෝවියට් දේශය අසල්වැසි බලවතුන් ලෙස සිටින, භූ දේශපාලන වටිනාකමක් තිබුණේත් නෑ. එහෙත්, විවෘත ආර්ථිකයක් සහ ප්‍රජාතන්ත්‍රවාදයක් සමඟ දකුණු කොරියාව අද උතුරු කොරියාව මෙන් 60 ගුණයක ආර්ථිකයකට හිමිකම් කියනවා.

උතුරු කොරියාව කියන්නේ අසීරුවෙන් වැඩ කරන කබල් වාහන එන්ජිමක් වාගෙයි. තවමත් එහි දැති රෝද කැරකෙනවා. මඟ නතර නොවී. එහෙත්, මේ දැති රෝද කුමන මොහොතේ හෝ නැවතිය හැකියි. ආර්ථික විද්‍යාඥයන්ට අනුව සැබෑ ප්‍රශ්නය එය නවතීවිද නැද්ද යන්න නෙවෙයි. නවතින්නේ කවදාද යන්න.