සරා ප්‍රතිවීරයෙක්

‘හාමුදුරුවෝ ගිලන්පසට කසිප්පු ගේන්න කිව්වා.’ නාඩගම්කාරයෝ එකේ එහෙම ඩයලොග් එකක් කිව්වා. මේ ඩයලොග් එක කියන්නේ නාට්‍යයේ දුෂ්ඨයා නෙවෙයි. වීරයා. හරියටම කීවොත් ප්‍රතිවීරයා.


අපි කතාකරන්නේ සද්ධාමංගල සූරියබණ්ඩාර ලියපු, ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්තයා අධ්‍යක්ෂණය කරපු නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය ගැන. නිකමට හිතන්න, මේක සාර්ථක වේවි කියලා ස්වර්ණවාහිනියවත් එච්චර හිතුවාද දන්නෑ. දන්නවානම් නාට්‍යය රෑ නවයයි තිහ ස්ලොට් එකට දමාවිද.


කවුරුත් නොහිතපු විදියට යූටියුබ් එකෙනුයි නාඩගම්කාරයෝ හිට් වුණේ. දැන් සාමාන්‍යයෙන් ලක්ෂ හතක් විතර නාඩගම්කාරයෝ එපිසෝඩ් එකක් බලනවා. සාමාන්‍යයෙන් දෙවැනි ඉනිමට වඩා මේක ජනප්‍රියයි. ඒ අනුව ලංකාවේ ටෙලිනාට්‍ය කිරුළ ඉක්මනින්ම නාඩගම්කාරයෝ දිනාගත්තා. අපි කියන්න යන්නේ නාඩගම්කාරයෝ එකේ හොඳ දේවල් කිහිපයක් ගැන.


අංක එක- පයිලට් එක. ඕනෑම රූපවාහිනී කතා මාලාවක හරි ටෙලිනාට්‍යයක හරි පළවැනිම කොටස හෙවත් පයිලට් එක හදන්න හරිම අමාරුයි. ඉස්සරහට එන එපිසෝඩ් කොච්චර වුණත් මිනිසුන් බලන්නේ, පළවැනිම කොටස කොච්චර හොඳද කියන එක උඩ. මේකෙ පළවැනි එපිසෝඩ් එක පටන්ගන්නේ කසිප්පුකාරයන් ටිකක් පොලීසියට අහුවෙලා, පොලීසිය මඟහරින එකෙන්. මුල්ම දර්ශනයේදී අපේ වීරයා හම්බවෙන්නේ කසිප්පු පෙරළා මාට්ටුවෙලා නියරක් දිගේ එන අතරතුරේයි. ඉතින්, සාමාන්‍යයෙන් අපේ ටෙලිනාට්‍යවල දකින්න නොලැබෙන විදියේ එක්ස්පීරියන්ස් එකක් ලැබෙන බව බැලූ බැල්මට පේනවා.


දෙවැනි හේතුව තමයි සරා. කතාවේ ප්‍රධාන චරිතය වන සරා ප්‍රතිවීරයෙක්. ඒ කියන්නෙ ඇන්ටිහීරෝ කෙනෙක්. දුෂ්ඨ වැඩ කරන වීරයෙක්. අපේ කතා ලියන උදවිය හිතනවාට වඩා ප්‍රතිවීරයන්ට අපේ සමාජය ආසයි. ඒත්, ප්‍රතිවීරයෙක් හදනවා කියලා, බොරුවට මැරයෙකුගේ චරිතයක් ඇන්දාට වැඩක් නෑ. සමහර චරිත අඳින්නේ මැරයෙක් වගේ ඒත් ඒ චරිතය බැලුවාම පේනවා පොර බබෙක් වගේ කියලා. ඒත් සරා ඊට වඩා වෙනස්. මිනිහා පන්සලේදී ගහමරාගන්න හදනවා. හාමුදුරුවන් කසිප්පු මඩුව ගිනිතිබ්බා කියලා සැක කරනවා. ඕනෑ තැනක වළියකට යනවා.


අංක තුනේ හේතුව සම්ප්‍රදාය රැකීම. අපි කලින් කිව්වා වගේ ගමේ කසිප්පුකාරයාගේ චරිතය හදනකොට සද්ධාමංගල සම්ප්‍රදාය කඩනවා. සාමාන්‍යයෙන් කසිප්පුකාරයෝ දුෂ්ඨයි. ඒත්, මේ කසිප්පුකාරයා තමයි අපේ වීරයා.


එතැනදී සම්ප්‍රදාය කැඩුවාට නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය පටන්ගත්තේ සම්පූර්ණයෙන්ම සම්ප්‍රදාය කඩලා නෙවෙයි. ගමේ අනෙක් චරිත අපි හැමදාම දැකපු ජාතියේ චරිත.


හිත හොඳ හාමුදුරුනමක් ඉන්නවා, ගමේ නැටුම් ගුරුවරයා හිත හොඳ චරිතයක්. ගමේ ඉන්න අරක්කු මුදලාලි නපුරු ධනවතෙක්. කොට අඳින සංකර කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල නපුරුයි, දුෂ්ඨයි. නගරෙන් කාර් එකේ එන කෙනා නරක චරිතයක්. මේ ඔක්කොම අපි ටෙලිනාට්‍යවල කාලයක් තිස්සේ දැකපු සාම්ප්‍රදායික චරිත. සරාගේ කතාව කියද්දී, වටේට යොදාගන්නේ සාම්ප්‍රදායික චරිත ටිකක්. අපේ ප්‍රේක්ෂකයන්ට එකපාරම වෙනස් චරිත ගොඩක් දුන්නොත් දරාගන්න අමාරු වේවි. මුලින්ම සරාගේ චරිතයට ෆෝකස් කරමු. අනෙක් චරිත සරල, තේරෙන විදියට තියමු.


අංක හතර, සම්ප්‍රදාය නැවත කඩන ප්ලෑන් එක. ඔව්… අපි කිව්වා ඒ චරිත සාම්ප්‍රදායිකයි කියලා. ඒත්, අපට විශ්වාසයි ඉස්සරහට මේ ගමේ අනෙක් නරක මිනිසුන්ගේ පවා හැබෑ හොඳ ගති පෙනෙන්නට පටන්ගනීවි.


මනමාලන් හෙවත් මාලන්ගේ චරිතයත්, සිඟිතිගේ චරිතයත්, හරිම රසවත්. සරා තරමට ඒ අයත් ජනප්‍රිය බව අපි දන්නවා. අපි හිතන්නේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය අවසාන වෙද්දී මාලන් සහ සිඟිති කියන දෙන්නාම නරක ලේබල් එකෙන් හොඳ ලේබල් එකට මාරු වෙනවා. කසිප්පු විකුණන මිනිහෙක් ඔය කියන තරම් නරක නෑ කියලා පටන්ගනිද්දීම කිව්ව මේ ටෙලිනාට්‍යය, අර කොල්ලයි කෙල්ලයි නරක නෑ කියලත් අනාගතයේ කියාවි.
අංක පහ, කලාව ගැන යටි පෙළ.


සද්ධාමංගල ගේන්නේ කලාවේ බලගතුකම ගැන කතාවක්. සංගීතය, ටෙලිනාට්‍ය, චිත්‍ර, වේදිකා නාට්‍ය කියන්නේ අපට ආතල් ගන්න තියෙන දෙයක් විතරක් නෙවෙයි. කලාව බලගතුයි. මිනිසුන් වෙනස් කරන්න හයියක් තියෙනවා.
මේ කතාවේ එක් පැත්තකින් ගමේ මාස්ටර් ඉන්නවා. පොර කලාකාරයෙක්. අනෙක් පැත්තෙන් මාලන් සහ සිඟිති කියන්නෙත් කාලකාරයන් තමයි. මාස්ටර් පරණ ස්ටයිල් එකේ සම්භාව්‍ය කලාවට අයිති කෙනෙක්. මාලන්ලා අයිතිවෙන්නේ අපේ තරුණ පරම්පරාවට. ඔය යූටියුබ් එකේ සහ ටෙලිනාට්‍යවල අලුතින් වැඩ කරන්න දඟලන දාස් ගාණක් තරුණ තරුණියන්ගේ පරම්පරාවට.


ගමේ ඉන්න කසිප්පුකාරයා වන සරාව වෙනස් කරන්න පුළුවන් ආගමට නෙවෙයි. පන්සලට නෙවෙයි. අනෙක් ඔක්කොටම වඩා ගමේ පන්සලේ හාමුදුරුවන් ඒක දන්නවා. බණ කිව්වාට සරා වගේ අය අහන්නේ නෑ. අවංකව කිව්වොත් බණ කම්මැලියි. මිනිස්සු බණ අහලා වෙනස් වෙන්නේ නෑ. හාමුදුරුවන් ඒක දන්න නිසයි සරාව මාස්ටර් ළඟට යොමු කරන්නේ. මුලින්ම බණ අහන්න ඉන්දවගන්න තැනට සරා වගේ හිතුවක්කාරයෙක් මෙල්ල කරන්න ඕනෑ. ඒක කරන්න පුළුවන් කලාවට. ඇත්තටම මේ ලංකාවේ නැහැදිච්ච මිනිස්සු හදන්න පුළුවන් කලාවට. කිසි වගේ වගක් නැති සමාජය වෙනස් කරන්න පුළුවන් කලාවට. සද්ධාමංගල මේ කතාවෙන් දෙන යටි පණිවිඩය ඒක.
කතාවේ අනෙක් කලාකරුවන් දෙන්නා තමයි මාලන් සහ සිඟිති. සිඟිතිට රඟපාන රංගන ශිල්පිනිය පවා පත්තරවලට කියා තිබුණා සිඟිති නරක කෙනෙක් නෙවෙයි කියලා. මාලන් පවා අහිංසක කොල්ලෙක්. අපි හිතන්නේ නාට්‍යයේ රචක සද්ධාමංගල ඒක දන්නවා.


එයාලා කරන්නේ මහා ලොකු නරක වැඩ නෙවෙයි. කොල්ලො වළියට පැටලුණාම කට්ටිය අරගෙන ඇවිත් හතුරාට ගස්සන්න හදන එක, රණ්ඩුවකට පැටලෙන එක සාමාන්‍ය දෙයක්. මහා නරකක් නෙවේ. සිඟිති නං බොහෝ අවස්ථාවල හරි. එයා අම්මාගෙන් ඇහුවාම ගෑණු ළමයෙක්ට රෑ වෙලා ගෙදර එන්න බැරි ඇයිද කියලා. ඒ කතාව ඇත්තනේ. මේ දියුණු ලෝකෙ කෙල්ලන්ට ඇවිදින්න කරන්න, අඳින්න පළඳින්න, ලෝකය විඳින්න නිදහස ලැබෙන්න ඕනෑ.


අනෙක, රඟපාන හැමෝම ටීවී එකේ ඉන්න ඕනෑත් නැහැනේ. ගමෙන් ඇවිත් කොළඹදී වේදිකා නාට්‍යවල රඟපාලා සම්මාන පවා ගන්න රංගන ශිල්පිනියන්ගෙනුත් ගමේ අම්මලා අහන්නේ උඹ ටවුමට ගිහින් රඟපානවා කිව්වාට, කෝ එකක්වත් අපි දැකලා නෑනේ කියලයි.


මාලන් සහ සිඟිති කියන්නේ සාමාන්‍ය තරුණ කපල් එකක්. අම්මලා එක්ක රණ්ඩු වෙන, හිතුවක්කාර, තමන් කැමති දේ කරන්න හදන තරුණ කපල් එකක්. ඒ දෙන්නාගේ එකම අඩුව තමයි අනෙක් අයට එයාලා සෙන්සිටිව් නෑ.
ඒක තමයි ලංකාවේ තියෙන ජනප්‍රිය කලාවේත් අවුල. සිංදුවක් කරන්න දඟලන ලංකාවේ තරුණ කොල්ලන් කෙල්ලන්, යූටියුබ් එකේ මොනවහරි කරන්න දඟලන කොල්ලන් කෙල්ලන් කොච්චර වීව්ස් ගත්තත්… වැදගත් යමක් තමන් කරන වැඩෙන් සමාජගත කරන්නේ නෑ. එයාලාට තේරෙන්නේ නෑ. එයාලා සෙන්සිටිව් නෑ. මාස්ටර්ගෙන් හෙවත් කලින් පරම්පරාවේ කලාකරුවන්ගෙන් මාලන්ලාට, සිඟිතිලාට ගන්න තියෙන්නේ ඒ සෙන්සිටිව්කම ගැන පාඩම.


සමහරවිට මාස්ටර්ට සහ මාස්ටර්ගේ කලාවට සිඟිති සහ මනමාලන් චරිත දෙකත් වෙනස් කරන්න පුළුවන් වේවි. මාලන්ලා, සිඟිතිලා, සරාලා, මාස්ටර්ලා එකතුවෙන්න ඕනෑ. ලංකාවේ ඉන්න කලාකරුවන් පවා පරම්පරා භේදයක් නැතිව එකතුවෙන්න ඕනෑ. කලාවට තියෙන හැබෑ බලය වැඩිහිටි පරම්පරාවෙන් තරුණ පරම්පරාවට පාඩමක් විදියට ලැබෙන්න ඕනෑ.


ඉස්සරහට නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයෙන් මේ සංකීර්ණ දේවල් බලාගන්න පුළුවන් වේවි කියලා අපි හිතනවා. ඒත්, මේක මෙගා ටෙලිනාට්‍යයක් නිසා සද්ධාමංගලට මැසිම වගේ කතාව ලියන්න වෙනවා. වැඩේ අනාගන්නේ නැතිව… දෙවැනි ඉනිම වගේ තේරුමක් නැතිව අදින්නේ නැතිව රසවත් විදියට කතාව ලියන්න පුළුවන් වේවි කියලා අපි සද්ධාමංගලට සුභ පතනවා.