සීයට 95ක් සයිනොෆාම් සාර්ථකද? නැත්නම් ජ’පුර පර්යේෂණයේ වංචාවක්ද?

ලංකාවෙ මිනිස්සුන්ට දෙන චීන එන්නත් සීයට අනූපහක් ලංකාවේ අයට සාර්ථකයි, ඩෙල්ටා ප්‍රභේදයට වැඩිපුර රියැක්ට් කරනව කියල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකින් හෙළිවුණාලු නේද? ප්‍රවෘත්ති වාර්තා ඔක්කොම මහා අභිමානයෙන් වාර්තා කරන්නෙ.

ඔය ප්‍රවෘත්ති වාර්තා බොරු සහ අර්ධ සත්‍යවලින් පිරිච්ච එකක්. ඒ වගෙම මේ බොරුව අහිංසක එකක් නෙවෙයි. මිනිස්සුන්ව අන්ධ කරන කූඨ බොරුවක්.

අපි මේ මාතෘකාව ගැන වීඩියෝවකුත් කළානෙ. ඒ වීඩියෝවෙ නොතිබුණ ලොකු කරුණක් මුලින් දෙසා බාලා ඉන්නම්.

සයිනොෆාම් ගැන වගේම ජ’පුර විශ්වවිද්‍යාලය ඇස්ට්‍රාසෙනෙකා ගැනත්, ඔය ජාතියෙම පර්යේෂණයක් කළා. ඒ පර්යේෂණයේදී ඇස්ට්‍රාසෙනෙකා ගැනත් වැදගත් කරුණු හෙළි වුණා. ඒත්, ඒක ගැන කවුරුත් නොදන්නෙ, ඒකට මේ වගේ ප්‍රචාරයක් නොදුන්න හින්ද.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්වතුන් කියන කතාව විතරක් අහලා, හිත සනසාගන්නෙ නැතිව. අපිත් මේ ගැන පොඩි ඉන්වෙස්ටිගේෂන් එකක් කළා. මෙයාලා මේ කියන පර්යේෂණය කරලා තියෙන්නෙ කොහොමද, ඒකට පාවිච්චි කරලා තියෙන්නෙ මොනවද, ඒක මොන තරම් දුරට පිළිගන්න පුළුවන්ද. අපි ඒ ගැන හෙව්වා.

විශ්විද්‍යාලයේ පර්යේෂණ වාර්තාව- https://www.medrxiv.org/content/10.11…

පුදුම හිතෙන දේවල් අපි හොයාගත්තා. ඉතින්, වෙන කිසි මාධ්‍යයක් වාර්තා නොකරපු අපිම ඉන්වෙස්ටිගේට් කරල හොයාගත්තා.

අපේ හෙළිදරව්ව මෙන්න.

අපි මුලින් කල්පනා කරල ඉමු, මේ ප්‍රවෘතතිය අල්ලගෙන මෙච්චර ඉන්වෙස්ටිගේට් කරන්නෙ මොන මගුලටද කියලා.

මේ එන්නත සීයට අනූපහක් කාර්යක්ෂමයි කියල ප්‍රවෘත්ති ගහන එකේ අරමුණ මොකක්ද? ලෝක මාකට් එකේ වෙන එන්නත් ලාභෙට තියෙද්දී ඒවා ගන්නෙත් නැතිව, චීන එන්නත ගත්ත මිලට වඩා කාර්යක්ෂම එන්නත් ගන්න පුළුවන්කම තියෙද්දී ඒවා ගන්නෙත් නැතිව, ලංකාව චීන බඩුවලට මාකට් එකක් කරපු හේතුව යටගැසීම.

අනෙක් පැත්තෙන් ආණ්ඩුවට ගෞරවය ගන්න. චීන දෙවිවරු කොච්චර හොඳද? හොඳම එක හදල තියෙන්නෙ එයාලා. කොස්මික් ලෙවල් එකේ චීන දෙවිවරු යටතෙ ඉන්න අපේ ගෝඨාභය ජම්බෝ දෙයියා, ශවේන්ද්‍ර මෙගා දෙයියා සහ ආණ්ඩුවේ අනෙකුත් බඩී දෙවිවරු කොච්චර හොඳද?

අහිංසක ලාංකිකයන්ට හොඳම එකනෙ මේ දෙන්නෙ. එයාලා තමයිනෙ හොඳටම කළේ.

අනෙක් පැත්තෙන් චීන එන්නතක් වන සිනොවැක් එන්නත ගැන වෙන ප්‍රශ්න ටිකකුත් දැන් ආසියානු රටවල වාර්තා වෙනවා. මොන ජාතියෙ වැක්සීන් එකද ගහන්නෙ කියන එක පිටිපස්සේත් දේශපාලනයක් තියෙන බව අමතක කරන්න බෑ.

ජාත්‍යන්තර මාධ්‍ය ලියා තියෙනවා ඉන්දුනීසියාවේ සහ තායිලන්තයේ චීන එන්නතක් වන සිනෝවැක් දීලා දැන් ඇති වූ තත්වය ගැන. මේ වෙද්දී ඒ රටවල් මිලට ගත්ත චීන එන්නත එක මාත්‍රාවක් දීලා, අනෙක් මාත්‍රාව වෙනත් වර්ගයකින් දෙන තත්වයට වැටිලා. ඒ ලිපියේ තියෙනවා වැක්සීන් දේශපාලනය ගැනත් කරුණු.

කෙසේ වෙතත් අපේ විශ්වවිද්‍යාලය පර්යේෂණ කළේ සිනෝවැක් නෙවෙයි, සිනොෆාම් ගැන. සහ ඔවුන් ඩෙල්ටා ප්‍රභේදය ගැන අවධානය යොමු කරපු බව තමයි කියන්නෙ.

මේ වෙලාවේ ආණ්ඩු හිතවාදී මාධ්‍යවලින් පුල පුලා වාර්තා කරන්නෙ අපේ ආණ්ඩුව අපට ලෝකෙ හොඳම එක ගහන හැටි. ඒක හොඳටම ගහන හැටි. ඉතිං නිකං කටින් කියල විතරක් මදි නිසා, පොඩි විද්‍යාත්මක මූණකුත් දෙන්න පුළුවන්කම ලැබෙනවනෙ මේ වගේ පර්යේෂණයකින්.

අපි මේවා කියන්නේ නිකම් නෙවෙයි. එන්නතේ කාර්යක්ෂමතාව ගැන හොයන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණයේ වාර්තාව සහ මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කරපු පර්යේෂණ ගැන කියෙව්වා.

වැක්සීන් එකක කාර්යක්ෂමතාව මනින්නෙ කොහොමද කියලා, ඒ ගැන පර්යේෂන කරන්න ඕනෑ විදිය, කොච්චර නියැදි පාවිචචි කරන්න ඕනෑද කියල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වාර්තාවකුත් එළිදක්වා තියෙනවා.

සමහර විද්‍යාත්මක යෙදුම් ආදිය තේරුම් ගන්න මොළේ උලුක් වෙන තරම් විද්‍යාත්මක කරුණු කාරණා කියවලා තේරුම් ගන්න ට්‍රයි කළා. නිදි නැති රැයකින් පස්සේ අපි මේ කාරණා තේරුම් ගත්තා.

ඇත්ත, අපි විද්‍යාඥයෝ නෙවෙයි. ඒත්, විද්‍යාත්මක වාර්තා කියල එළියට දාන හැම එකක්ම ඇස් දෙක පියන් අන්ධ භක්තිකයො වගේ විශ්වාස කරන්න තරම් අපි අවිචාරශීලී මිනිස්සුත් නෙවෙයි.

අපි ඒ වාර්තාව ඇසුරින් සරලව තේරුම් කරන්න පුළුවන් කෑලි ටික. පිටු විසිහයක මේ වාර්තාව කියවද්දීම අපට මේ ගැන ප්‍රවෘත්තිවල ලොකුම අවුල තේරුණා. ඒක අපි කියනවා. වෛද්‍ය විද්‍යාව ගැන දන්න, උනන්දු කෙනෙක්ට මෙඩ් ආකයිව් වෙබ්සයිට් එකෙන් මේ පර්යේෂණයේ මූලික වාර්තාව බලන්න පුලුවන්.

ඇත්තටම තවම මේ වාර්තාව පිළිගත් විද්‍යා සඟරාවක පබ්ලිෂ් වෙලත් නෑ. මෙඩ් ආකයිව් කියන්නේ එහෙම පබ්ලිෂ් නොකරපු විද්‍යාත්මක පර්යේෂණවල තොරතුරු දාන වෙබ් එකක්.

ලෝක සෞඛ්‍ය සංවිධානය විවිධ එන්නත්වල ගැන පර්යේෂණ මත, ඒ ඒ එන්නත්වල කාර්යක්ෂමතාව සඳහන් කරලා තියෙනවා. එහෙම තිබුණත්, ඒ ඒ එන්නත්වල කාර්යක්ෂමතාව ප්‍රභේදය අනුවත්, වැඩි වැඩියෙන් එන්නත ලබාදෙනකොට ලැබෙන අලුත් දත්ත අනුවත් නිරන්තරයෙන් වෙනස් වෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්- https://www.who.int/publications/i/it…

ඒ නිසා ඔය එන්නත් කාර්යක්ෂමතාව ගැන විවිධ මාධ්‍ය වාර්තා කියවන්න ඕනෑ පරෙස්සමෙන්. සිනොෆාම් එන්නත වගේ එකක් ඩෙල්ටා ප්‍රභේදයට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියල බලනවනං ඒකට දැවැන්ත පර්යේෂණ කරන්න සිද්ධවෙනවා. මිලියන ගණනක මිනිස්සු යොදලා.

නිකං ප්‍රවෘත්තිවලින් කියන ඒවා පිළිගන්නෙ නැතුව, මේ ගැන හොයන්න උනන්දු කෙනෙක්ට බලන්න පුළුවන්, ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු 17 වැනිදා වාර්තාවක් එළිදැක්වුවා එක් එක් එන්නත්වල කාර්යක්ෂමතාව හොයන විදිය ගැන. ඒකේ තියෙන හැටියට වැක්සීන් කාර්යක්ෂමතාව ගැන පර්යේෂන කරද්දී, අනුගමනය කරන්න ඕනෑ කාරණා ගණනාවක්. ඉන් ප්‍රධාන එකක් තමයි, ඒ වෙනුවෙන් ප්‍රමාණවත් නියැදියක් පාවිච්චි කරන්න ඕනෑ කියන එක.

මේ පර්යේෂණයේ වාර්තාව කියවලා බලන කෙනෙක්ට ලේසියෙන් දැකගන්න පුළුවන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යොදාගත්ත නියැදියේ සයිස් එක. ඒ කියන්නේ කී දෙනෙක්ව දාලද ටෙස්ට් එක කළේ.

මත තියාගන්න දැන් අපි කතා කරන ෆයිසර්, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා වගේම සයිනොෆාම් ගැනත් ලෝක මට්ටමෙන් සාර්ථකත්වය මනින්නෙ මිනිස්සු මිලියන ගාණක් යොදලා කරපු තුන්වැනි අදියරේ පර්යේෂණවලින් පස්සෙයි.

ඉතින්, ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නියැදිය කීයද දන්නවද?

තුන්සිය ගාණක්.

මේ වගේම ලංකාවෙ විශ්වවිද්‍යාල ජනාධිපතිවරණවලට කලින්  සමීක්ෂණ පවත්වනවනෙ. එක් සමීක්ෂණයකින් අනෙක් සමීක්ෂණයට කොච්චර වෙනසක් තියෙනවද? එක විශ්වවිද්‍යාලයක් කරන සමීක්ෂණයක මේ අපේක්ෂකයට සීයට හැටයි. අනෙක් විශ්වවිද්‍යාලය කරන සමීක්ෂණයෙ අර අපේක්ෂකයට සීයට හැටයි. හොයල බැලුවොත් සමීක්ෂණේ කරල තියෙන්නෙ දෙතුන්සීයක් දාල. මුළු රටේම ජනමතය හොයනවා, දෙතුන්සීයකගෙන් අහලා.

අපි මේ කියන්නේ මේ පර්යේෂණය වැරදියි කියන එක නෙවෙයි. යොදාගත් නියැදිය සැලකිය යුතු මට්ටමක එකක්. ඒක අපට යම් අවබෝධයක් ලබාගැනීම සඳහා ආරම්භක පර්යේෂණයක් විදියට යොදාගන්න පුළුවන්.

මතක තියාගන්න. අපි මේ  වීඩියෝවෙ මුලදී කිව්වෙ මේ පර්යේෂණය ගැන මාධ්‍ය වාර්තා බොරු කියලා. පර්යේෂණය බොරු කියල නෙවෙයි. මාධ්‍ය වාර්තාවලදී කරුණු හංගනවා. මේකට යොදාගත්ත නියැදිය කීයද, ඒක කොච්චර දුරට විශ්වාස කරන්න පුළුවන්ද? වගේ කාරණා හංගනවා. එතැනිනුයි මාධ්‍යවලින් චීන එන්නත තමයි මාරම එක වගේ බොරුවක් නිර්මාණය වෙන්නෙ. පර්යේෂකයො වැරදි නෑ ඒකට.

මේ කතාව අහිංසක පර්යේෂණ වාර්තාවකින් එහා ගිහින්, පොඩි වංචනික තැනකට එන තැනකුත් තියෙනවා.

චන්දිම ජීවන්දර මහතා ඉතා තීරණාත්මක වාක්‍යයක් කිව්වා.

ඒ තමයි ‘ලෝකයේ අනෙකුත් එන්නත් එක්ක සැසඳුවොත්’ මේක ඉතා හොඳ තත්වයක් කියන වාක්‍යය. ඔහු එහෙම කියන්නෙ කොහොමද? ඒ එන්නත් මෙයාලා කියන මේ තත්වයන් යටතේ පර්යේෂණවලට ලක් කළේ නෑනේ.

සයිනොෆාම් වගේම ලෝකයේ අනෙකුත් එන්නත් වර්ග පවා මිලියන ගණන් මිනිසුන් යොදා, පුළුල් නියැදියකින් පර්යේෂණවලට ලක් කළා. ඒ අනුව වඩා කාර්යක්ෂමයි කියල අද කියන ෆයිසර් වගේ එන්නත් ලෝකයේ මිලියන ගාණක් මිනිස්සු යොදාගෙනයි පර්යේෂණ කළේ.

එහෙම සැලකුවත් අපි ‍‍මේ වගේ පොඩි පර්යේෂණ ක්යේෂණ කොටේකින්.. ෆයිසර් වගේ එන්නතක් වෙනුවට සයිනොෆාම් තෝරාගැනීම මෝඩකමක්. අපි මේ කියන්නෙ සයිනොෆාම් එන්නත එක්ක තරහකින් නෙවෙයි.

අපි අපේ රටේ මිනිසුන්ගේ සිරුරුවලට, අපේ රටේ තියෙන වෛරස් ප්‍රභේදවලට වැඩිපුර ගැලපෙන එන්නත හඳුනගන්න උත්සාහ කරන එක වැරදි නෑ.

මේ පර්යේෂණයේදී ඩෙල්ටා වගේ වේරියන්ට් එකකට එන්නතෙන් හැදෙන ප්‍රතිදේහ ප්‍රතිචාර දක්වන විදිය තේරුම් ගන්න ඕනෑ විද්‍යාගාර පර්යේෂණවලින්.

අවශ්‍ය වෙන බයෝසේෆ්ටි ලෙවල් ත්‍රී වර්ගයේ ලැබ් පවා ලංකාවේ නෑ. මේ පර්යේෂණ වාර්තාවේම තියෙනවා ඒ ගැන. ඒ අනුව එයාලාට අප ළඟ තියෙන විකල්ප හොයන්න සිද්ධවෙලා තියෙනවා.

අන්තිමේ අපි ඉතා පැහැදිලි සිංහලෙන් කියන්න ඕනෑ. මෙච්චර වෙලා අපි කිව්වෙ චීන එන්නත හොඳ නෑ කියල නෙවෙයි. දැනට සීයට 50ක ඉඳන් සීයට 79 දක්වා විවිධ කාර්යක්ෂමතාවන් මේ ගැන වාර්තා කරලා තියෙනවා.

සාමාන්‍ය පිළිගැනීම තමයි සීයට හැත්තෑ ගණනක කාර්යක්ෂමතාවක් මේ එන්නතට තියෙනවා කියලා. මේකෙන් වැඩේ කෙරෙන බව තමයි දැනට විද්‍යාත්මක තොරතුරු තියෙන්නේ.

අපේ  වයස් සීමා අනුව චාන්ස් එක ආපු ගමන් අපිත් ගිහින් සයිනොෆාම් එන්නතම ගහගන්නවා.

මේ එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තහවුරු කරලා තියෙනවා. ඒකෙ කාර්යක්ෂමතාව ගැන සඳහන් කරලත් තියෙනවා. තවම මේක නරකයි කියලා මහා පරිමාණ විද්‍යාත්මක තහවුරු කිරීමකුත් කරල නෑ.

ඒ වගේම ආණ්ඩුව චීන එන්නත දෙන එක වැරදිත් නෑ. අපට මේ වෙලාවෙ තියෙන ඩොලර් හිඟය එක්ක, චීන්නු චීන සල්ලි අපට ණයට දීලා තියෙන නිසා ඒ සල්ලිම වියදං කරල චීනෙංම එන්නත ගන්න වෙනවා. වෙන ඔප්ෂන් නෑ.

අනෙක් අතට ආණ්ඩුව මේ වෙලාවේ එන්නත් දීම ලංකාවෙ සංඛ්‍යාත්මකව හොඳට කරනවා. ලෝකෙ අපේ මට්ටමේ තව රටවල්වලට සාපේක්ෂව. ආර්ථික අර්බුදයක් අස්සෙ ඒක කරන එකත් හොඳයි.

ඒත් ඒ හොඳ දේවල්වලට එහා ගිහින්.. අපි තමයි හොඳටම කළේ. මේ ගහන එක තමයි හොඳම එක. ඒ නිසා අපි ආණ්ඩුවට ණයගැතියි. ආණ්ඩුව මාරයි. අපි ස්තූතිවන්ත වෙන්න ඕනෑ වගේ වැක්සීන් දේශපාලනයක් කරන්න යන එක තමයි ප්‍රශ්නෙ.

අන්න ඒ ගැන ඇත්ත හොයාගන්න තමයි අපි මේ ඉන්වෙස්ටිගේෂන් එක කළේ.

අල්ජසීරා වාර්තාව- https://www.aljazeera.com/news/2021/7…

බීබීසී වාර්තාව- https://www.bbc.com/news/world-asia-5…