බ්‍රේකින් බෑඩ්.. ගුරුවරයාගේ ඛේදවාචකය

ආණ්ඩුවෙන් ගහපු රසායන විද්‍යා පෙළපොතක කවරයේ ලෝකයේ එදා මෙදා තුර කලා ඉතිහාසයේ, ප්‍රබන්ධ ලෝකයේ හිටපු ප්‍රසිද්ධම මත්ද්‍රව්‍ය නිෂ්පාදකයන් දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ ෆොටෝ එකක් තියෙන බව ප්‍රවෘත්තියක් දකින්න ඇති.පස්සේ හෙළි වුණා ඒක ආණ්ඩුවෙන් ගහපු පොතක් නොවන බව.

කොහොමහරි ඒ ෆොටෝ එකේ හිටියේ ජෙසී පින්ක්මන්. මෑත ඉතිහාසයේ ලෝකයේ අංක එකේ ටීවී සීරීස් එකේ ප්‍රධාන චරිත දෙකෙන් එකක්.

කලා රසිකයන් විදියට අපට වෙනම පැත්තක් පෙනුණා. කවුරුත් කතා නොකරපු පැත්තක්. කලාව සැබෑ ලෝකය කියවන්නට පාවිච්චි කරන්න පුළුවන්නේ. ඉතින්.. අපේ සමාජය කියවගන්න මේ සිද්ධිය පාවිච්චි කරන්න හිතුණා.

ඒ වගේම බ්‍රේකින් බෑඩ් විචාරයට ලක් කරද්දී කිසිම ප්‍රසිද්ධ විචාරකයෙක් නොකීව පැත්තක් අපි කතා කරන්න හිතුවා.

අපි කතා කරන දවස්වලම ගුරුවරුන් තමන්ගෙ සේවයේ වටිනාකම වැඩි කරන්න කියල ඉල්ලමින් සටන් කරනවනෙ. ඒකටත් ගැලපෙනවා අපේ මේ කතාව.

අපේ තේමාව. බ්‍රේකින් බෑඩ්. ගුරුවරයාගේ ඛේදවාචකය.

මේ කතාවේ තියෙන්නේ ඇමෙරිකාවෙ හයිස්කූල්. ඒ කියන්නෙ ලංකාවෙ සාමාන්‍යපෙළ උසස්පෙළ මට්ටමේ  කෙමෙස්ට්‍රි ගුරුවරයෙක් දැනගන්නව තමන්ට පිළිකාවක් බව. තව කෙටි කාලෙකින් මැරෙන්න නියමිත බව.

මේ මනුස්සයාගේ බිරිඳටයි, ආබාධිත දරුවාටයි කිසිම මුදල් ඉතිරියක් නෑ. මොකද ගුරු වෘත්තියට ලැබෙන වටිනාකම අඩුයි. කොටින්ම කිව්වොත් මේ මනුස්සයා දැනටමත් ජීවත්වෙන්න ඉස්කෝලෙ ඇරිලා හවසට කාර් වොෂ් එකක පාට් ටයිම් ජොබ් එකක් කරනව. ළමයින්ගෙ වාහන හෝදලා ලැජ්ජ වෙන්න පවා ඔහුට සිද්ධවෙනවා.

ඉතින්, අතේ සල්ලි නැති වෙච්ච කෙමෙස්ට්‍රි ගුරුවරය අහම්බෙන් දකිනව තමන්ගෙ හිටපු ශිෂ්‍යයෙක් මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන බව. ගුරුවරයා තේරුම් ගන්නව මේච්චර විද්‍යා දැනුම ලබපු තමන් මත්ද්‍රව්‍ය විකුණලා සල්ලි හෙව්වොත්, පවුලට ඉතිරියක් කරල මැරෙන්න පුළුවන් බව.

ඉතින්.. ගුරුවරයයි ශිෂ්‍යයයි එකතුවෙලා, රසායන විද්‍යාව පාවිච්චි කරල. ඉස්කෝලෙ විද්‍යාගාරයෙම තිබුණ උපකරණ හොරකම්  කරලා, ඒවායින් මෙත් කියන මත්ද්‍රව්‍ය හදන්න ගන්නවා. ඒ වගේම මේ ගුරුවරයා මත්ද්‍රව්‍ය හදන වැඩේට දක්ෂ බවත් හෙළිවෙනව.

කොහොමහරි මේ කතාවෙ තේමාව විදියට ගොඩක් අය සැලකුවේ කිසිසේත්ම අපරාධ නොකරපු, සාමාන්‍ය මධ්‍යම පාන්තික මනුස්සයෙක්.. වයසට ගිහින් එකපාරම අපරාධ ලෝකයට පිවිසෙන විදිය ගැන. එතකොට මනුස්සයාගේ ආත්මය ටිකෙන් ටික අපිරිසිදු වෙන හැටි. අසරණ, අහිංසක මනුස්සයෙක් මහා අපරාධකාරයෙක් දක්වා ගමන් කරන හැටි.

විචාරකයො කතා කළේ ඒ තේමාව ගැන. ඒත්.. අපට අමතක කරන්න බෑ. මේ කෙමෙස්ට්‍රි ගුරුවරයෙක්.

මේ මනුස්සයාගේ රැකියාවට යම් වටිනාකමක් තිබුණනං, හරි වැටුපක් ලැබුණනං පිළිකාවක් කියල දැනගත්තම මරණයට ලෑස්තිවෙන්න තිබුණ. මත්ද්‍රව්‍ය විකුණන්න වෙන්නෙ නෑ.

අර මනුස්සයා ඉස්කෝලෙ පන්තිවල උගන්වද්දී, මලානික පරාදීන මිනිහෙක් නොවෙන්න ඉඩ තිබුණ හරි වැටුපක් සහ හරි වටිනාකමක් ලැබුණනං. වඩා උද්යෝගශීලී සහ රැකියාවට අවංක ගුරුවරයෙක් වෙන්න තිබුණ එහෙමනං.

උදාහරණයක් විදියට ඉස්කෝලෙ පන්තියෙදී තමන්ගෙ ශිෂ්‍යයට රසායන විද්‍යාව උගන්වන්න බැරි වුණත්. මේ ගුරුවරයායි ජෙසී පින්ක්මනුයි එකතුවෙලා  හොඳට මුදල් උපයද්දී, දෙන්නා අතර හොඳ සම්බන්ධයක් හැදෙනවා. ඒ ආර්ථික පසුබිම එක්ක ජෙසී අතිවිශිෂ්ඨ මත්ද්‍රව්‍ය නිෂ්පාදකයෙක් බවට පත් කරන්න, දැනුම දෙන්න ගුරුවරය සමත් වෙනව.

මෙහෙම සිද්ධවීම ගුරුවරුන්ගෙ ඛේදවාචකයක්. අධ්‍යාපනයේ ඛේදවාචකයක්. ලංකාවේ සහ ඇමෙරිකාවෙ වගේම ලෝකෙ ගොඩක් රටවල ළමයින්ව ලෝකෙට බිහිකරන වෘත්තිකයා.. ගුරුවරයා ගැන සලකන්නෙ අවශ්‍ය ප්‍රමාණයට වඩා පහළට දාලයි.

ළමයින්ට ඉගැන්වීම භාර මේ මිනිස්සුන්ට ගොඩක් රටවල් සලකන්නෙ ටිකක් අඩු මට්ටමක තියල. බ්‍රේකින් බෑඩ් විතරක් නෙවෙයි, ගොඩක් හොලිවුඩ් චිත්‍රපටිවල පාසල් ගුරුවරුන්ව පෙන්නද්දී… ඔවුන්ගේ ඒ ආර්ථික මට්ටම කලාත්මකව නිරූපණය වෙලා තියෙනවා.

අපේ රටේත් ගුරුවරුන්ගෙ වැටුප් මට්ටම.. ලංකාවෙ සමහර සේවාවන්ට වඩා පහළ මට්ටමක තියෙනව විතරක් නෙවෙයි, ඒක හදාගැනීම වෙනුවෙන් ගුරුවරුන් වෘත්තිය සමිති අරගල පවා කරනවනෙ.

ඉතින්. බ්‍රේකින් බෑඩ් කියන්නේ ගුරුවරයාගේ ඛේදවාචකය නිරූපණය කරන කලාකෘතියක්.

අනෙක් පැත්තෙන් අර කවරයෙ ඉන්න ජෙසී පින්ක්මන් කියන්නෙ ගුරුවරයගෙ ශිෂ්‍යයානෙ. ගුරුවරයයි ශිෂ්‍යයි දියුණුව බලාගෙන එකට කළු සල්ලි උපයන නීතිවිරෝධී ජාවාරමක යෙදීම කලාත්මකව අපූරු සංකේතයක්.

පවුල්වල උදවියට රටේ දේශපාලන බලය ලැබෙන, රජයේ රස්සාවක් ගන්නත් කඩේ යන්න සිද්ධවෙන, ව්‍යාපාර දියුණු කරගන්නං නං, ලාභ ලබන්න නම් දේශපාලන බලයේ ගජමිතුරන් වෙන්නට සිද්ධවෙන අපි වගේ රටක. කළු ආර්ථිකයක්, කළු සල්ලි ජීවනාලිය වෙච්ච රටක..

ජෙසී පින්ක්මන් වගේ.. රසායන විද්‍යා ගුරුවරයාගෙන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න ඉගෙනගත්ත ශිෂ්‍යයෙක් පොතක කවරයට එන එක කලාත්මක ඇහෙන් බැලුවොත් අපුරු සංකේතයක්.