දිල්රුක්ෂි ඩයස් යළි සේවයේ පිහිටුවන්නැයි දුන් නියෝගයට පියවරක් ගන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

වැඩ තහනමට ලක්වූ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විශ්‍රාම යාමේ දිනයට පෙර යළිත් සේවයේ පිහිටුවන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චය සභාවෙන් දෙන ලද නියෝගය පිළිබඳව පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අගෝස්තු  04 දින නීතිපති සංජය රාජරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත.

හිටපු සොලිසිටර් ජෙනරාල්වරිය නිර්දෝෂී බවට පරිපාලන අභියාචනා විනිශ්ච සභාව නිගමනය කරනු ලැබ ඇති අතර ව්‍යවස්ථාපිත විනිශ්චය සභාවක් ලෙස එහි තීරණයට ගරු කිරීම ව්‍යවස්ථාමය වගකීමක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම ලිපියෙන් පෙන්වා දී ඇත.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා සමඟ කළ සාකච්ඡාවක හඬපටයක් මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වීමෙන් දිල්රුක්ෂි ඩයස් මහත්මිය ගේ වැඩ තහනම් විය.

අදාල දූරකථන සාකච්ඡා හඬ පටය අවස්ථා 20කදී  සංස්කරණය කර විකෘති කළ එකක් බවට මොරටුව විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයන් ගෙන් සමන්විත විමර්ශකයන් කණ්ඩායමකගේ වාර්තා වලින් තහවුරු වී තිබූ අතර රජයේ රස පරීක්ෂකවරයා ද වාර්තාවක් මගින් ඒ බව තහවුරු කර තිබිණි.

පරිපාලන අභියාචන විනිශ්චය සභාව වික්‍රමසිංහ මහත්මියගේ විශ්‍රාම දිනය වන 2021 ජූලි මස 30ට පෙර ඇය යළිත් සේවයේ පිහිටුවන ලෙස රාජ්‍ය සේවා කොමිසම දන්වා තිබුණේ පසුගිය ජූලි 28 වන දිනය.