රසායනික පොහොර තහනම චීනෙ ගේමක්ද?

රසායන පොහොර තහනම් කිරීමෙන් චීනෙට ලැබෙන වාසි දෙකක් තියෙනවා. මේක පිටිපස්සෙ ඉන්නෙ කවුද? චීනෙ සයිනොෆේට්ද? ඉන්දියාවෙ ටාටාද? මේකෙන් එන්න පුළුවන් අර්බුදය මොන තරම්ද? විශේෂයෙන් ආර්ථිකේ ගොඩදාන්න කියලා දිගටම ආනයන නවත්තන පිස්සුවෙන් ආණ්ඩුවට මොනා වෙයිද? ආනයනය නවත්තන එක ආර්ථික අර්බුදේකට උත්තරයක්ද? නැත්තං උත්තරේ මොකක්ද? ඔය ඔක්කොම ප්‍රශ්නවලට උත්තර හොයන්න අපි දඟලනවා. විශේෂයෙන් කලින් ආර්ථික වීඩියෝවෙදී කෙනෙක් අහලා තිබුණා අපි යෝජනා කරන විසඳුම. අපේ විසඳුම කෙසේ වෙතත් ආණ්ඩුව කියන විසඳුම මොකක්ද, ඒකේ අවුල මොකක්ද?

මේ සටහනේ අවධානය ඒ මාතෘකා ගැන.

එයාලගෙ උද්දච්චකම

ඇත්තටම ලංකාවෙ ඉන්න ආර්ථික විශේෂඥයන්ගෙ සමුළුවක්වත් කැඳවන්න දැන් කාලෙ හරි. මොකද දැන් තියෙන්නෙ ආණ්ඩුව අර්බුදයට විසඳුම් හොයනවා කියල කරන වැඩ නිසා තව තවත් අර්බුද වැඩි වෙන එක. අලුත් අර්බුද හැදෙන එක.

විශේෂඥයන් එක්ක සාකච්ඡා කරමින්.. ප්‍රශ්නය රට හමුවේ තියල උත්තර හොයන්න කාලෙ හරි. ඒත් ආණ්ඩුවේ ලොක්කන්ගෙ උද්දච්චකම. ඇත්තටම සර් පව්. එයාගේ උද්දච්චකමටත් වඩා අපි හිතන විදියට ප්‍රශ්නය තියෙන්නේ අජිත් නිවාඩ් කබ්රාල් සහ පීබී ජයසුන්දර ප්‍රමුඛ ආණ්ඩුවේ ලොක්කන්ට ළංවෙලා ඉන්න සූඩෝ ආර්ථික විශේෂඥයන්ගෙ. ඇත්ත විශේෂඥයන් කැඳවලා සාකච්ඡා කරලා ප්‍රශ්නෙ විසඳන්න හැදුවොත් එයාලගෙ ජොබ් එක නැතිවෙන නිසාද කොහෙද එයාලා විසඳුම් හොයන්න දෙන්නෑ.

කොහොමහරි අර්බුදයෙන් ගොඩඑන්න ආණ්ඩුව දන්න සෙල්ලං ඔක්කොම දාන්න පටන් අරන් තියෙනවා. හැබැයි දන්න සෙල්ලං කිව්වෙ පීබීල.. කබ්රාල්ල දන්න සෙල්ලං තමයි.

මේවට පිට අය කෙසේ වෙතත් ඉංග්‍රීසි පත්තරවල වියත් මගේ අය ගහන ගැහිල්ල දැක්කම ඔලුවෙ අත ගැහෙනවා. කොහොමහරි දැන් වැඩි වැඩියෙන් අවශ්‍ය වෙන්නේ මේ අර්බුදය ගැන පැහැදිලි කිරීම්. මේවා ගැන මාතෘකා.

හැබැයි ආණ්ඩුව දාන මේ සෙල්ලං බොහොමයක උපදේශකයෝ වෙලා ඉන්නෙ කේවට්ටයො කීප දෙනෙක්.

අඩුම තරමෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සෞභාග්‍යයේ දැක්ම ලියන්න හවුල් වෙච්ච අයවත් දැන් එතැන නෑ.

ඒකට හොඳම හා අන්තිම විනාශකාරී උදාහරණය තමයි රසායනික පොහොර ආනයන තහනම. ආනයන පාලනය කරලා සල්ලි ටික බේරාගන්න ඕනෑ කියලා මේ අය මුලින් හිතුවා. මුලින්ම වාහන ආනයනය නතර කරලා බැලුවා. ඒත් ටික දවසක් යද්දි දත්ත වාර්තා හදන අය පෙන්නලා දුන්නා තවමත් සල්ලි පිටරටට යනවා කියලා.

ඊටපස්සෙ තමයි පොහොර නතර කරන්න තීරණය කළේ. ඇත්තටම ජනාධිපතිවරයා මේ තීන්දුව ගන්න පෙළඹුණේ අතුරලියේ රතන වැනි කයිරාටික භික්ෂූන් හා අපි කලින් කිව්ව කේවට්ට පණ්ඩිතයෝ කීප දෙනෙකුගෙ ඉගැන්නුම් බහ උඩ. වියත්මගේම ගිය අය මේ තීන්දුව විවේචනය කර කර පත්තරවලට ලියන තීරු ලිපිවලින් හා රූපවාහිනී නාළිකාවලට දෙන අදහස්වලින් ඒක හොඳටම පැහැදිලියි.

කාබනික පොහොර දේශීයව නිෂ්පාදනයට ගත්ත තීන්දුව ආපස්සට ගන්නේ නෑ කියල ජනාධිපතිවරයා දෙවැනි වරටත් සිංහනාද කරද්දි ඉරිදා ලංකාදීප පත්තරේ එක ලිපියක පැහැදිලිවම සඳහන් වුණා මේ වැඩේටත් අත දාන්නේ අන්තිමේදි ඉන්දියාව හෝ චීනය කියලා. ඒ ලිපිය අවසන් කරල තිබුණේ ඒ ඉන්දීය ටාටා සමාගමද නැත්නම් චීන සිනොෆේට් සමාගමද කියන ප්‍රශ්නයෙන්.

දැන් ආණ්ඩුවේ ඇමැතිවරු කරන ප්‍රකාශවලින් හාල් ආනයනයට ගහන ගැසට්වලින් වෙන්න යන දේ පැහැදිලියි. විශේෂයෙන්ම මේ ගත්ත මෝඩ තීන්දුවට චීනය රාජ්‍යතාන්ත්‍රික විදියට බලපාන හැටි ගැනත් එහි රතන භූමිකාව ගැනත් අපි ඉදිරියේදි සාක්ෂි සහිතව කියන්නම්. එදාට ලංකාවෙ තේ කර්මාන්තය බිමට සමතලා කිරීමේ ගෞරවයෙන් කොටසක් සමහර විට මේ අවස්ථාවාදී දේශපාලකයන්ට දෙන්න අපට පුළුවන් වේවි.

මතක තියාගන්න, චීනෙ තේ වෙළඳපොලට ලොකුම අභියෝගය ලංකාව.

ලංකාවේ තේ වෙළඳපොලට ලොකුම වෙළඳපල චීනෙ. රතන හිමි කියන්නේ පහුගිය අවුරුදු ගාණක් තිස්සේ ලංකාවෙ තරුණ දීප්තිමත් වෘත්තිකයන්ට, මාධ්‍යවේදීන්ට සහ විවිධ අයට චීනෙ ගිහින් ඉගෙනගන්න ශිෂ්‍යත්ව දුන්න කෙනෙක්. එහෙම චීන ඒජන්තයෙක් ලංකාවෙ රසායනික පොහොර තහනමටත් එළිපිට සපෝට් කරනකොට, තව තවත් දියුණු වෙන්න ඕනෑ ලංකා ඉතිහාසයේ දීප්තිමත්ම අපනයන ප්‍රොඩක්ට් එකක් වන එකක් වන තේ වගාවට කෙළවෙයිද කියල හිතෙන්නෙ කාටද?

ඇත්තටම ආර්ථික විද්‍යාවේ මූලික නියමයක් තමයි වියදම් නොකර හම්බකරන්න බෑ කියන එක. හැබැයි ආර්ථික විද්‍යාව වෙනුවට අවස්ථාවාදය ප්‍රතිපත්තිය කරග්ත උදවියගෙ උපදෙස් අනුව ආණ්ඩුව දැන් මේ අනුගමනය කරන රටේ සල්ලි පිට රටවලට යන එක වැලැක්වීම කියන කාරණය ඊට සම්පූර්ණයෙන්ම වෙනස්. මේ වැඩේ කරන්න එපා කියල ආර්ථික විද්‍යාඥයෝ පහුගිය සති කීපය පුරාම උපදෙස් දෙනවා ජනමාධ්‍ය හරහා දැක්කා. ඇත්තටම අපනයන නවත්තලා සල්ලි යන එක නවත්තන්න බෑ. ඒකෙන් වෙන්නෙ අපේම රටේ නිෂ්පාදන කඩාවැටෙන එක.

හැබැයි ආණ්ඩුව අහන පාටක් නම් නෑ. ආණ්ඩුව පිටරටින් ලංකාවට භාණ්ඩ ගෙන්වීමට බැරියර් දාන්නේ මිනිස්සු පුද්ගලිකව ඒවා පරිහරණය කරනවා කියල හිතාගෙන වගෙයි. හැබැයි ඒක තනිකරම බොරුවක්. මේ බොරුව නිසා අදවෙනකොට ලංකාවේ බොහෝ  නිෂ්පාදන කුඩා ව්‍යාපාර බංකොලොත් වෙලා. ඇතැම්විට මේ කතාව අහන් ඉන්න ඔබත් එවැනිම වින්ධිතයෙක් වෙන්න ඇති. ඒකට හේතුව තමයි අපේ ආනයන වියදම්වලින් 80%ක් වෙන්වන්නේ අතරමැදි භාණ්ඩ හා යන්ත්‍රෝපකරණවලට වීම. ඒ කියන්නෙ ආනයන නවත්තන තරමට ලංකාවෙ හදල පිටරට හදන කර්මාන්තවලටත් කෙළවෙනවා.

මෙහෙම කිව්වට ඇත්තටම ගත්තොත් ඉතිරි සියයට විස්සට අයිති භාණ්ඩ වුණත් ලංකාවට ගෙන්නන්නේ ඔබේ හෝ මගේ පුද්ගලික පරිභෝජනයට නෙවෙයි. අපි සරලම උදාහරණයක් විදියට ෂැම්පු පැකට්ටුවක් ගමු. ෂැම්පු කියන්නේ එක පැත්තකින් තනි පුද්ගලයකුගෙ පාවිච්චියට තිබෙන භාණ්ඩයක්. හැබැයි අනෙක් පැත්තෙන් ඒක නාගරික සැලෝන්ස් ඇතුලෙදි ගමේ නම් අපේ බාබර් අයියාගේ ව්‍යාපාරයේ අතරමැදි භාණ්ඩයක්.

වාහන පවා ලංකාවෙ සංචාරක කර්මාන්තයේ ඉඳන් හැම කර්මාන්තවලටම ප්‍රවාහනයට පාවිච්චි කරනවා. කෑම වර්ගයක් වුණත් අතරමැදි භාණ්ඩයක්.

ෂැම්පු එක වගේ භාණ්ඩ නැතිව මේ දෙන්නටම තමන්ගෙ ව්‍යාපාරය කරගෙන යන්න බෑ. ෆෑන්, ඒ.සී මැෂින්, ෆ්‍රිජ් වගේ විදුලි උපකරණ ගත්තත් මේ විදියමයි. ආණ්ඩුවෙ මෝඩ ආර්ථික ප්‍රතිපත්තිය නිසා මේ වෙනකොට ලංකාවෙ බොහොමයක් ව්‍යාපාර හොම්බෙන් යන තත්ත්වයට ඇවිත්. ඇතැම් කඩ සාප්පු දැනටමත් වහලා.

නිකමට හිතන්න අපේ රටේ භාණ්ඩ හා සේවා ආනයනය නොකරනකොට ඒවායේ මිල ඉහළ යනවා. ඒ යන තරමට අපේ ජීවන වියදමත් වැඩි වෙනවා. වියදම වැඩිවෙද්දී මොකද වෙන්නේ.. අපි මෙහේ හදලා පිටරට යවන භාණ්ඩවලටත් ඒ බලපෑම එනවා. ඒ කියන්නෙ ඇඟලුම් හරි තේ හරි පිටරට යවන කර්මාන්තවලටත් ඒක බලපානවා.

මේ ඔක්කොම බලපෑම් නිසා ඇත්තටම අන්තිමේ වෙලා තියෙන්නේ විදේශ විනිමය ඉතිරි කරගැනීම සඳහා යැයි කරන මේ වැඩපිළිවෙලින් අපේ නිෂ්පාදනයටත් සේවා නියුක්තියටත් පහර වැදිච්ච එක විතරයි.  අනෙක් අතට මේ ආනයන පාලනයේ තිබෙන ලොකුම ජෝක් එක තමයි අපේ රටේ දොරවල් වහගෙන අපේ නිෂ්පාදනවලට වෙන රටවල දොර අරින්න කියල නාහෙන් අඬන එක.

ඒ නිසා මෙතැන තියෙන්නේ ආණ්ඩුව ඉතාම මෝඩ.. අමන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගිහින් තවත් කෙළවා ගන්න එක.

ජී.එස්.පී

මේ අතරෙ වෙච්ච වැදගත්ම සිදුවීමක් තමයි ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහන ලබා දීම අත් හිටුවීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් පසුගිය දා යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම. ඒ යෝජනාවට පක්ෂව තමයි අතිබහුතර ඡන්ද සංඛ්‍යාවක් ලැබුණේ.

ඉතින් හිතාගන්න පුළුවන්නෙ අපේ විදේශ ප්‍රතිපත්තියේ තරම. ඇත්තටම විදේශ සංචිත හා විදේශ මුදල් උපැයීම සම්බන්ධයෙන් ප්‍රශ්නයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේදී ඒ කියන්නෙ පිට රට ඉන්න අපේම මිනිසුන්ගේ ආදායම් නැති වෙලා තිබෙද්දි අපේ නිෂ්පාදන ටික ඒ රටවලට විකුණාගන්න නොහැකි වෙලා තිබෙද්දි ජී.එස්.පී ප්ලස් සහනයත් අහිමි වුණොත් ඒක අපට දරාගන්න ගොඩක් අමාරු වේවි.

මේක රනිල් වික්‍රමසිංහ ලස්සනට පැහැදිලි කරල තිබුණා. ඒත් අජිත් නිවාඩ් කබ්රාල් සුපුරුදු විදියටම ඒකට දීලා තිබුණේ අමු ගොන් උත්තරයක්. ආර්ථික විද්‍යාඥයෝ කියන විදියට ජීඑස්.පී ප්ලස් නැතිවුණොත් යුරෝපා වෙළෙඳපොලේ අපේ නිෂ්පාදන බොහොමයක් අසරණ වේවි. මුදල් ඇමැති මහින්ද රාජපක්ෂලා මවාගත්ත උද්දච්ච කතා කිව්වට ඇත්තටම ජී.එස්.පී ප්ලස් රටකට ලැබෙන කොන්දේසිය තමයි දුප්පත්කම.

ඇත්තටම ආර්ථික වශයෙන් මහා දැවැන්තයෝ නොවන රටවල් පවා යුරෝපා හවුල වැනි ආයතන සමග පිළිවෙලකට ගනුදෙනු කරනවා. යුරෝපා හවුලෙන් ඉවත්වෙද්දී එංගලන්තය තමයි සංවර්ධනය වෙමින් පවතින රටවලට එවැනි අභිමානයකින් වැඩ කරන්න පුළුවන් විදියට ඒ පරිසරය හැදුවේ. උදාහරණයකට මියන්මාරය වැනි රටක් යුරෝපා හවුල සමග ගිවිසුම්වලට එළඹීම දක්වන්න පුළුවන්. හැබැයි පොර ටෝක් දෙන රාජ්‍ය පාලකයන්ට රාජ්‍යතාන්ත්‍රික අභිමානයත් බේරාගෙන එවැනි වැඩක් කරගන්නවත් හැකි වෙලා නෑ. ඔවුන්ට උපරිම පුළුවන් වෙලා තියෙන්නේ තමන්ව ප්‍රශ්න නොකෙරෙන මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා ගල් පැලෙන බොරු කියන්න විතරයි.  

ඔවුන් දුප්පත්කම අර්ථකතනය කරන විදියක් තිබෙනවා. ලෝකයේ ආර්ථික තලයේ කම්පනවලින් නිරන්තරයෙන් පීඩාවන පත්වන කියන තේරුමෙන් තමයි අපට මේ සහනය ලැබුණේ. ඇත්තටම ඉතින් අද කියලා වෙනසක් වෙලා නෑ. ආර්ථික වශයෙන් ලෝකයේ පොඩි අවුලක් වුණත් ලංකාවට බලපනවා. ඕකට ආර්ථික විද්‍යාඥයෝ නම් කියන්නේ යුරෝපයට පොඩි හෙම්බිරිස්සාවක් හැදෙද්දි ලංකාවට සහලෝලා උණ ගන්නවා කියලයි. ඉතින් එහෙම සහලෝලා උණ අරන් තියෙන මේ වගේ වෙලාවකත් ජී.එස්.පී ප්ලස් කියන සහනය අපෙන් අහිමිවෙන්න යන්නේ ඇයි කියල ඔබට හිතෙන්න පුළුවන්.  ඒකට මානව හිමිකම් වැනි ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යවශ්‍ය ගුණාංග දණින් පහළට මායිම් නොකරන අපේ පාලකයෝ.

අපෙන් ජී.එස්.පී ප්ලස් අහිමිවෙන්න බලපාලා තිබෙන්නේ ආණ්ඩුව භාෂණය ප්‍රකාශනය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී යහගුණාංගවලට එරෙහිව අනුගමනය කරන මෝඩ පියවර.

ආහාර හිඟයක්?

මෝඩ අත්තනෝමතික තීන්දු නිසා රට මෙච්චර විනාශයකට ගියාට පස්සෙත් ආණ්ඩුවයි ඒකෙ උද්දච්ච දේශපාලකයෝ ටිකයි හරි ලස්සන උත්තරයක් දැන් ඒකට හදාගෙන ඉන්නවා. ඒ තමයි කොරෝනා.

හැබැයි ඒක අමු බොරුවක් කියල ආර්ථික විද්‍යාඥයෝ ලස්සනට පැහැදිලි කරනවා. මේ විනාශයට පාර කපන්න ගත්තෙ දැන් අවුරුදු දහයක් පහලොවක් තිස්සේ. ආණ්ඩුවෙ ලැජ්ජ නැති උත්තරය බොරුවක් කියල අපට අපේම අසල්වැසියන් දිහා බැලුවාම පේනවා. කොරෝනා නිසා අපට වඩා ඉන්දියාව බැට කෑවා. බංගලාදේශයට නේපාලයටත් කොරෝනා ආවානෙ.

ඒත් ඒ රටවල් ලංකාව වගේ අමාරුවක වැටුණේ නෑ. මේ කාරණා ගැන වියත් මග වගේ ආණ්ඩුවේ පරණ අවතාර නිශ්ශබ්ද වුණාට ඉංග්‍රීසි පත්තරවල නම් වියත් ලෙස කරුණු කාරණා සහිතව පැහැදිලි කරල තිබෙනවා. තේරෙන සිංහලෙන් කිව්වොත් මේ යන ගමන සමහරවිට අපට හාල් කිලෝවක් රුපියල් දෙතුන් සීයකට වුණත් ගන්න තැනට රට වැටෙන්න පුළුවන්. ඒ තරම් මේ ප්‍රශ්නය උග්‍රයි. මේක ඇත්ත අර්බුදයක්. රට පුරාම පොහොර හිඟයෙන් ගොවීන් බැට කනවා. සිරිමාවෝන්ගෙ ආණ්ඩු කාලෙ හාල් පොලු වගේ පොහොර ටික ගන්න එන සහ පොහොර නැතිව හැරිලා යන ගොවීන්ගෙ පෝලිම් රට පුරාම දකින්න පුළුවන්.

වී කරල් වෙනුවට දැනටමත් බජිරිවලින් ගොයම වැහිලා ගිහින්. කොරෝනාවෙන් බේරුණත් අපට මේකෙන් බේරෙන්න පහසු නෑ. රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නාලිකා රණතුංග මේ අවදානම ගැන නියම විග්‍රහයක් පහුගිය දවසක කළා. මේ සැරේ යල කන්නයේ අස්වැන්න අඩුවෙලා පැහැදිලිවම ආහාර හිඟයකට මුහුණ දෙන්න අපට සිදුවෙනවා කියල මහාචාර්යවරිය කියනවා.

ඒකෙ භයානකම දේ තමයි ආහාරවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යෑම. ලංකාවෙ අතිබහුතරයක් වූ දුප්පත් මිනිස්සුන්ට තමයි මේ භයානක ඉරණමට වැඩිපුරම මුහුණ දෙන්න වෙන්නේ. එක පැත්තකින් කොරෝනාවෙන් බැට කමින් ඒනිසාම රැකියා අහිමිවෙච්ච මිනිස්සු අතරට ලංකාවෙ අතිබහුතරයක් වෙච්ච කෘෂි පවුල්වල උදවියත් එකතු වෙනවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමෙයි රජෝ කියලයි අපිට නම් ජනාධිපතිවරයාට කියන්න තියෙන්නේ.

මහාචාර්ය බුද්ධි මාරඹේ කියන්නේ මේ පොහොර අවුල ගැන කාලයක් තිස්සේම ආණ්ඩුවලට අනතුරු අඟවපු කෙනෙක්. ඔහු කියන විදියට මේ කාබනික පොහොර වැඩේට දරුණු විදියට අත ගැහුව රටක් තමයි භූතානය කියන්නෙ. ඇත්තටම භූතානය කියන්නේ අපේ වගේ බොරු ආටෝපෙට කාබනිකකරණය ගැන කතා කරන රටක් නෙවෙයි. තමන්ගෙ පරිසරය ආරක්ෂා කිරීම ව්‍යවස්ථාපිතවම සහතික කළ රටක්. එහෙම වෙලත් ඒ රටේ පාලකයන්ට තේරුණා මේ කාබනික වැඩෙන් අන්තිමේදි තමන්ට වෙන්නේ වැඩි වැඩියෙන් ආහාර පිටරටවලින් ආනයනය කරන්න වෙන එක කියලා. පස්සෙ ඔවුන් තීරණය වෙනස් කළා. මහාචාර්යවරයා පාලකයන්ට තදින්ම කියන්නෙ ආහාර සුරක්ෂිතතාව කියන්නේ රටේ ජාතික ආරක්ෂාව කියලා. එහෙම බැලුවාම ආහාර සුරක්ෂිතතාව ඉවරයි කියන්නේ රට ඉවරයි කියන එක. ඒ වගේම මේ ඉරණම එක පැත්තකින් හරිම අයිරනිකල්. උත්ප්‍රාසජනකයි.

මොකද 2019 වෙද්දි ජාතික ආරක්ෂාව කියන සටන් පාඨය ඉස්සරහට දාගෙන හරියටම පාස්කු ප්‍රහාරය වෙලා හැරෙන තැපෑලෙන් තමන් ජනාධිපතිවරණයට එනවා කිව්ව නායකයා යටතේ තමයි ලංකාව අද මේ ඉරණමට මුහුණ දෙන්නේ. අවාසනාවන්තම තත්ත්වය තමයි ඒ විපත පවා ඉන්දියාවට හෝ චීනයට වෙළෙඳපොලක් නිර්මාණය කරලා ආණ්ඩුවේ පාලකයන්ට ඒකෙනුත් කීයක් හෝ කොමිස් කුට්ටියක් කඩාගන්න තත්ත්වයක් නිර්මාණය වීම.  අර ගෝඨාභය කඳවුරේ අයගෙම පිරුළ අරගෙන පැහැදිලි කළොත් කොරෝනාවෙන් බේරෙන්නත් රටක් ඉතුරු වෙලා තියෙන්න එපැයි. ඉතින් මේ ආර්ථික අර්බුදය තමයි මේ මොහොතේ ලංකාව මුහුණ දීලා තිබෙන අතිදැවැන්තම ප්‍රශ්නය. හැබැයි ඒ අර්බුදය ආණ්ඩුවේ අභ්‍යන්තර මරාගැනීම් සහ විපක්ෂයේ මෝඩ චූන් දේශපාලන වැඩවලින් යට ගිහින් තිබෙන්නේ. හරියට රබර් බෝලයක් දිය යට ගහල වගේ.

හැබැයි මේ හැංගිල්ල අපට වැඩි දවසක් කරන්නත් බෑ. ඒක ඔබේ ගෙදරටත් තට්ටු කරන දිනය වැඩි ඈතකත් නෑ. සමහරවිට දැනටමත් තට්ටු කරලා හමාර ඇති.

අංජන කොළඹගේ