ඔබ දරුවන්ට ආදරේ නැද්ද? ගුරු සටනේ ඔබට අමතක කරුණු 10ක්

ගුරු ප්‍රශ්නය මුළු රටම තේරුම් අරන් තියෙන්නෙ වැරදි විදියට. අද, මේ මොහොතෙ ගුරු ප්‍රශ්නෙ අවසාන වෙන විදිය අනුව ලංකාවෙ ආත්මය, ලංකාවෙ අනාගතය තීන්දු වෙනවා. කවුරුත් නොහිතන තරම් මුළු රටේම අනාගතයට බලපාන කාරණයක් මේ ගුරු වැටුප.

ඒ නිසා ලංකාවෙ අනාගතය ගැන සතපහක ඇම්මක් තියෙනවනං මේ ගුරු වැටුපෙ කතාවෙදී හරි තැන හිටගන්න ඕනෑ.

මේ නායකයන්ට සතපහක ඇම්මක් මේ රටේ ළමයින් ගැන නෑ. බදියුදීන්ගෙ ගෙදර ගැහැණු ළමයාගෙ සිදුවීම දේශපාලන ඩ්‍රාම එකක් කිරීමෙන් වගේම ගුරු ප්‍රශ්නයෙනුත් මතු වුණේ ඒක. අපි මේ වීඩියෝවෙදි ගුරු උද්ඝෝෂණ ගැන ඔබ හීනෙන්වත් නොහිතන කතා කිහිපයක් කියනවා.

මේ පාලකයො ලංකාවේ ළමයි ගැන සතපහක් හිතන්නෙ නෑ. දශමයක් හිතන්නෙ නෑ. නිහීන හැසිරීමක් මේ.

සෑහෙන දවසක් කතා නොකර.. ගුරු ප්‍රශ්නෙ ගැන කතා කරන්න අපි හිතුවා. මොකද.. වෙන කවුරුත්ම නොකියන.. මේ ප්‍රශ්නෙ හැබෑ අවුල කතා කරන්නම වෙන නිසා.

01. දැන් පාරට බැස්සේ ඇයි?

ගොඩක් අය තේරුම් නොගන්න දේ තමයි මේ වසංගතයක් වෙලාවේ පාරට බැස්සේ ඇයිද කියන එක. සමහරු අහන්නේ එහෙමයි.

‘මෙච්චරකල් සද්ද නැතිව ඉඳලා, දැන් එකපාරම කෑගහන්නේ ඇයි’ කියලා. ඒත් ඇත්තටම මේ ප්‍රශ්නය කාලාන්තරයක් තිස්සේ තිබුණා.

අවුරුදු 24ක් තිස්සේ මේ ප්‍රශ්නය තිබුණත්, ගුරුවරුන් පාරට බැස්සේ නැහැ. මොකද, ගුරුවරුන්ගෙන් බහුතරය සාමාන්‍ය සාම්ප්‍රදායික අදහස් තියෙන මිනිසුන්. ඔවුන් පාරට බැහැලා බෙරිහන් දෙන ජාතියෙ අය නෙවෙයි. ඔය වගේ සටන්වලට ඔවුන් ඉස්සර ආවේත් නැහැ.

ඒ විදියට සටන් නොකළාට ඒ ප්‍රශ්නය නොතිබුණා නෙවෙයි. ඒ ප්‍රශ්නය ටිකෙන් ටික මේ තත්වෙට තල්ලු වුණා. වෙනත් ක්‍රමවලින් විසඳුම් ගන්න ට්‍රයි කළා. ඒත් කවුරුත් ගණං ගත්තේ නෑ.

ලංකාවෙ ලොකු අවුලක්නේ! යම් වෘත්තියක ප්‍රශ්නයකට ආණ්ඩු ඇහුම්කන් දෙන්නේ වැඩවර්ජන කරලා, පාරට බැහැලා ජෝගි නැටුවට පස්සේ. ඒ නිසා තමයි ආණ්ඩුව බිල්ලට ගැනීමේ වැඩි හැකියාවක් තියෙන වෘත්තීන්ට වැඩි ලාභ තියෙන්නේ.

ඩොක්ටර්ස්ලට තියෙන පහසුකම් බලහල්ලකෝ!

ගුරුවරු මේ තරම් දීප ව්‍යාප්ත අරගලයක් නොකර හිටියා, හිටියා, හිටියා. ප්‍රශ්නය පැසෙව්වා. මේ වසංගතයක් අස්සේ මිනිස්සුන්ගේ ආර්ථික පීඩනය බෙල්ල මුලට හිරවෙද්දී මේ අර්බුදය පුපුරලා ගියා. දැන් මේ සටන තියෙන්නේ ගුරු නායකයන්ටවත් නවත්වන්න පුළුවන් තැනක නෙවෙයි. ඉල්ලීම් දිනා මිස පසු නොබලන තැනක.

අංක 2 – ළමයින්ට ආදරෙයිද?

අපි අපේ රටේ ළමයින්ට දෙන වටිනාකම මොකක්ද. අධ්‍යාපනයට කරන්නෙ මොකක්ද. මහින්ද රාජපක්ෂගෙ නම අහුවෙන්න මහින්දෝදය විද්‍යාගාර හදන එකත් මරු. ඒත්.. ළමයින්ට දෙන්න ඕනෑ අංක එකේ දේ තමයි පඩියෙන් තෘප්තිමත් ගුරුවරු.

කවුරුත් තේරුම් ගන්නේ නෑ, ගුරුවරුන්ගේ අරගලයේදී අපි දෙන උත්තරය, අපි අපේ රටේ ළමයින් වෙනුවෙන් දෙන්නේ මොකක්ද කියන ප්‍රශ්නෙට උත්තරයක් බව.

ගුරුවරුන්ගෙ වැටුපත් එක්කම ගුරුවරුන්ගෙන් බහුතරය උපාධි නැති අය. සුදුසු නැති අය වගේ බයිල කතන්දර ගොඩක් ඇහෙනව.

මේව තමයි අපේ මිනිස්සුන්ගෙ ආත්මයෙ තියෙන ගොංකම. ඉස්සර ගුරු සේවයේ තිබුණු කොලිටියක් නැතිකම වෙනස් කරන්නට. පස්සෙ ආයතන සහ ක්‍රමවේද ගොඩක් හැදුණ.

ඒ ක්‍රමවේදවලට ගැලපෙන විදියට පඩියත් හදන්න 1994 දී ට්‍රයි කළා. ගුරු සේවයේ ප්‍රමිතිය වැඩි කරන දේවල් ගොඩක් කළා. ඒ අතරින් එකක් තමයි ගුරුවරුන්ගෙ පඩි ලෙවල් එකත් උස්සපු එක. මොකද, ගුරුවරුන් වෙනුවට ගොපල්ලන් හදන එක.


අංක 03- මේ ඉල්ලන්නේ පඩි වැඩි කරන්නම නෙවෙයි විෂමතාවක් ඉවත් කරන්න

සමහරු මාර විග්‍රහ ‍දෙන්න යනවා. ෆේස්බුක් එකේ ඕනෑ තරම් දකින්න ඇති මේ විෂමතා අයින් කරන්න බැරි ඇයි කියල දහ අතේ මැරෙන්න විග්‍රහ දෙන උදවිය. මේ අය හේතු දෙකක් කියනවා. මේ විෂමතා අයින් කළොත් අලුතින් පඩි ගෙවන්න ලොකු මුදලක් ගෙවන්න වෙනවා කියන එක.

මේ පඩිය අවුරුද්දට දෙන්න කෝටි හයදාස් අටසීයක් යනවලු. පාඩුයිලු. යකෝ මේ අවුරුද්දෙ පළවැනි මාස හතරේ ආයතන දහනවයක පාඩුව ආව. කෝටි කී දාහක්ද කියල හොයල බලන්න. රාජපක්ෂ ආණ්ඩුව සීනි බදු වංචාවෙන් බිස්නස්කාරයන්ට දුන්න වාසියත් කෝටි දාහක් විතර. කබ්රාල්ගෙ නෑදෑයන් ඉන්න සමාගම් සහ පාඩු ලබන සමාගම්වල ආයෝජනය කරන්න ඊපීඑෆ් සල්ලි.. ඒ කියන්නෙ ලංකාවෙ වැඩකරන මිනිස්සුන්ගෙ සල්ලි යට කළා.

ඊට පස්සෙ බැඳුම්කරවල දෙවැනි වෙළඳපොළේ, හිතවතුන්ගෙ අතේ තියෙන බැඳුම්කරවලට වැඩි වාසියක් දෙන්න

වොහාරික වාර්තා අනුව ඒ වැය කරපු මුදල මේ ගුරුවරුන්ට දෙන පඩියට වැඩියි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අය වෙන්න ඕනෑ බදු ටික අය කරගැනීමෙන් ඇති වෙන පාඩුවත් ඒ වගෙයි.

අනෙක මේ අයට පඩි වැඩි කළොත් අනෙක් සේවාවල අයටත් වැඩිපුර ගෙවන්න වෙනවා කියන එකත් කරුණු නොදැන කියන කතාවක්.

ආණ්ඩුවට ඇත්තටම ප්‍රශ්නෙ විසඳන්න වුවමනාවක් තියෙනවනං ඕක වෙන්නෙ නෑ.

මේ කතන්දරේට ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම හරි නායකත්වයක් තියෙන ආණ්ඩුවකට මේ වැටුප් විෂමතා අයින් කරන්න පුළුවන්. හරියට කතන්දරේ කීවොත්.

මේ සම්පූර්ණ කතාව අපි මෙතැන ලියන්නෙ නෑ. ජෝසෆ් ස්ටාලින් වගේ අය ප්‍රශ්නය පැහැදිලි කරන හැටි අහන්න පුළුවන්. ඉස්සර තිබුණු තත්වෙට වඩා ගුරු සේවාව කියන එක 1994 දී උසස් කරපු හැටි.. ගුරුවරුන්ට වැටුප් හැදිච්ච හැටි, බීසී පෙරේරා වැටුප් කොමිසම කියල එකක් හැදුණ හැටි.

සරලව කිව්වොත් පොලිස් අයිපීට සමාන එක සමාන ලෙවල් එකක පඩියක් ගුරුවරුන්ට තිබුණා. ඒත්.. 1997 දී බීසී පෙරේරා වැටුප් කොමිසම කියන එකෙන් තමයි ගුරුවරුන්ගෙ පඩි ලෙවල් එක අඩු කළේ. ඒ කියන්නෙ පොලිස් අයිපී තරම් ලංකාවට ගුරුවරුන් වටින්නෙ නෑ කියල තීන්දු කළා. මේකම අවුරුදු කිහිපයකට පස්සේ ලයනල් ප්‍රනාන්දු වැටුප් කොමිසමෙනුත් තීන්දු කළා.

ගුරුවරුන් ඉල්ලන්නේ අපේ ලංකාවෙ රාජය සේවා ආත්මය ඇතුළෙ මීට වඩා වැඩි වටිනාකමක් දෙන්න කියල.  අමුතුවෙන් දෙන්න නෙවෙයි. ඉස්සර තිබුණ වටිනාකම ආයෙත් දෙන්න කියල.

ඒකෙන් 1997 දී වැටුප් විෂමතාවක් හැදුණ හැටි කැහිල්ලක් තියෙන අය හොයා බලන්න. ඔබ හොයා නොබැලුවත්.. මේ ඉල්ලීම නොදී ඉන්න තුප්පහි නායකයන් ඒ විෂමතාවෙ සම්පූර්ණ කතාව දන්නවා.

අංක 04 – ඔන්ලයින් අධ්‍යාපනයේ බොරුව

ආණ්ඩුව හදපු ප්‍රධාන මිථ්‍යා මතයක් තමයි සාර්ථක ඔන්ලයින් අධ්‍යාපනය කඩාකප්පල් කරන්න හදන්නෙ ගුරුවරු කියලා. පල් බොරුවක් ඒක.

ඔන්ලයින් අධ්‍යාපනය ගැන ඕනෑ තරම් සමීක්ෂණ තිබුණා.  හතලිස් තුන් ලක්ෂයක් ළමයින්ගෙන් ඔන්ලයින් අධ්‍යාපනය ලබන්නේ සියයට 40යි. ඒ කියන්නෙ 60කට කිසිදු අධ්‍යාපනයක් නෑ.

ඔන්ලයින් අධ්‍යාපනය කියන්නේ ආණ්ඩුව පහුගිය අවුරුද්දෙ අධ්‍යාපනය ක්‍රියාත්මක කළාය කියන බොරුව වෙනුවෙන් නඩත්තු වෙච්ච එකක්. පොඩි පිරිසකට හැරුණාම බහුතරයකට ඔන්ලයින් අධ්‍යාපනය කියල එකක් තිබුණෙ නෑ.

අංක 05 – මේක පොලිටිකල් ගේම් එකක්ද?

ඊටපස්සෙ ආණ්ඩුව පාවිච්චි කරපු තව උපක්‍රමයක් තමයි වෘත්තිය සමිති නායකයන් ඉලක්ක කර පහරදීම. ජෝසෆ් උගන්වනපු කෙනෙක්ද? ළමයි ගැන කැක්කුමක් තියෙනවද වගේ බයිල කතන්දර ඇහුව. එතැනින් එහාට කොටි කතන්ද‍රේකුත් දැම්ම.

මෙහෙමයි. ජෝසෆ් ස්ටාලින් මහතාගේ පෞද්ගලික ඉතිහාසය සැලකිය යුතු තරම් අපි දන්නවා. හොඳට දන්නවා.

ඒත් එයා පුද්ගලවාදයට කැමති නැති නිසා. තමන්ගෙ පෞද්ගලික ඉතිහාසය ගැන කතා කරන්නත්, අනුන් කතා කරනවටත් කැමති නැති නිසා. වාමාංශික සංකල්ප අනුව පුද්ගල වර්ණනා ඕනෑ නෑ කියල ඔහු හිතන නිසා මෙතැන වැඩි කතන්දර කියන්නෙ නෑ.

ඒත් අනුරාධපුර පැත්තේ ජෝසෆ් ස්ටාලින්ගෙන් අධ්‍යාපනය ලැබූ උදවිය ඉන්නවා. ඒ කාලෙ බස් පවා නැති දුෂ්කර පාසල්වල උගන්වපු හැටි දන්නවා. කිරි ලොරියෙ එල්ලිලා කොළඹ ඇවිත්, ආපහු යද්දී යාළුවන්ගෙන් පොත්පත් එකතු කරං ළමයින්ට දෙන්න අරන් ගිය කෙනෙක් ඔහු.

ඉසෙඩ් ස්කෝ ප්‍රශ්නයෙ ඉඳන් රටේ ළමයින්ගෙ අයිතීන් වෙනුවෙන් ඔහුත්, ඔහුගේ සංවිධානයත් කතා කරල තියෙන තරම දන්නෙ අහං ඉඳපු අය තමයි. ලයිට් නැති වතුර නැති පාසල් ගැන කොච්චරවත් කියමින්. විශේෂයෙන් ලංකාවෙ කිසි දෙයක් නැති ළමයි වෙනුවෙන් ඔහු කතා කළා.

තමන්ගෙ වෘත්තිය සමිතියේ සාමාජිකයන් වෙච්ච ගුරුවරු පවා තරහා වෙයි කියල දැන දැනම. ළමයින්ට හිංසනයක් වෙන ගුරුවරුන් ශාරීරික හා මානසික දඬුවම් දීමට එරෙහිව ඔහු කතා කළා. ගහන්නැතුව ළමයි හදන්න බෑ කියන මිත්‍යාවට විරුද්ධ පැත්තේ ඔහු හිටගත්තේ, වෘත්තිය සමිති නායකයෙක් විදියට තමන්ගෙම ජොබ් එක කරන මිනිස්සුන්ගෙන් තමන් කොණ්වෙයිද කියන බය නැතිවයි.

ලංකා ගුරු සංගමය කියන්නෙ පනහ දශකයේ ආරම්භ වූ ලංකාවේ ඉපැරැණිම සහ වාමාංශික මුහුණුවරක් ගත් ගුරු සංගමය. ගෝඨාභය රාජපක්ෂ දන්නෙ නැති වුණාට ඒක ගැන හොඳටම මහින්ද රාජපක්ෂයි ජී.එල් පීරිසුයි වාසුදේවලා වගේ පරණ වම්මුයි දන්නවා.

ලංකාවෙ නිදහස් අධ්‍යාපනය විතරක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය කළ මැදිහත්වීම් ගැන අතිවිශාල පොතක් ලියන්න තරම් කරුණු තියෙනවා.


අංක 06- ගොඩක් ගුරුවරු ‘ටියුෂන් මුදලාලිලා’ නෙවෙයි

ගුරුවරයා කියන්නෙ දවල් එකහමාරට ගෙදර යන ටියුෂන් මුදලාලි කෙනෙක් කීම ආණ්ඩුවෙ තව සිල්ලර, නින්දිත ප්‍රහාරයක්.

හැබැයි අපි දන්නවා පොදුවේ ගත්විට දෙලක්ෂ පනස්දහසක් වෙච්ච සමස්ත ගුරුවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් උපකාරක පංති ගුරුවරුන් නොවන බව. ටියුෂන් ගුරුවරුන් ගොඩක් ඉන්නෙ වෙනම පූර්ණකාලීනවම ටියුෂන් කරන උදවිය. විශේෂයෙන් ලංකාවෙ ධනවත් ටියුෂන් ගුරුවරු හැමෝම එහෙමයි.

බහුතර ගුරුවරුන් කියන්නෙ රාජකාරි කාලය තුළත් ඉන් පසුව ගෙවල්වලදිත් අතිශය අවිවේකීව අනවරතව නන්ස්ටොප් වැඩ කරන පිරිසක්.

අවුරුද්දට දවස් අනූවක් විතර තියෙන පාර්ලිමේන්තු රැස්වීම් සහ අතුරු කමිටුවක ඉන්නවනං ඒ කමිටු සැසිවාරවලට නොගිහින් බයිල ගහන දේශපාලුවන්ට.. කඩේ යන. ඒ දේශපාලුවන් ලක්ෂ ගණන් පඩි හා දීමනා ලැබුවට හුම් නොකියන උදවිය ගුරුවරුන් මාස තුනක් නිවාඩු ගන්නවාය, දවසට පැය හයක් විතරක් වැඩ කරනවාය වගේ තක්කඩි කතා කීවා.

එතකොට යම් කෙනෙක්ට පඩිය ගෙවන්න හැමදාම ඒ ජොබ් එක කරන්න ඕනෑ නම්, අවුරුදු දොළහක් තිස්සෙ යුද්ධයක් කළේ නෑ කියලා හමුදාවෙ පඩි කපන්නත් පුළුවන්නෙ.

ආණ්ඩුවේ මේ බාල තර්කයෙන් වුණු හොඳ දෙයක් තමයි ඉතාම සොච්චම් වැටුපකට රාජකාරිය කරන ගුරුවරුන් පාසලේ අධ්‍යාපන පරිපාලන කටයුතු නිසා අතිරේකව දරන වැය බර රටම දැනගත්ත එක. පෝෂණ වාර්තා, සංගණන වාර්තා, සිසු දත්ත ගබඩා, සුරක්ෂා රක්ෂණ, හැඳුනුම්පත් ඉල්ලුම්පත්, වාර්ෂික සැලසුම්, වාර සටහන්, සති සටහන්, දින සටහන්, පාඩම් සැලසුම්, ඇගයීම් සැලසුම්, ඇගයීම් ලකුණු වාර්තා, ප්‍රතිපල විශ්ලේෂණ, ලකුණු විශ්ලේෂණ, ප්‍රතිකාර්ය වැඩසටහන්, සති සාරාංශ, මාසික සාරාංශ, ශිෂ්‍යත්ව ආධාර ඉල්ලුම්පත්, විභාග ඉල්ලුම්පත්, ව්‍යාපෘති යෝජනා, ව්‍යාපෘති වාර්තා, පෙළපොත් ලේඛන, බඩු වට්ටෝරු පොත්, පන්ති කව පැවැත්වීම හා වාර්තා, ප්‍රශ්නපත්‍ර සකස් කිරීම, ඒවා යතුරු ලියනය, මාසික පරීක්ෂණ, තක්සේරු වාර්තා මේ ඔක්කොම අස්සෙ කලාප කාර්යාලයෙන් වහාම පුරවලා එවන්න කියල එවන ලේඛන ඇතුළු රාජකාරිය ඇතුලෙ වුණත් තිබෙන වැඩ කන්දරාව දැනගත්ත එක. ඒ වගේම වෙනත් රැකියාවකදි වගේ පරිගණකය හෝ ලිපිගොනු ටික වහල නැවත ඊළඟ දවස වනතෙක්වත් විවේකයක් ගන්න ඔවුන්ට තිබෙන අපහසුව. එහෙම නැත්තන් ගෙදර ගෙනියන වැඩ ටික. ඇත්තටම ගුරුවරයෙක්ගෙ දවස ගෙවෙන්නෙ ඔළුවෙ කොච්චර බරක් දරාගෙනද කියල මේ රටේ මිනිස්සු දැනගත්තෙත් ආණ්ඩුවෙ මේ මඩවලට පිංසිද්ධ වෙන්න. ඒ නිසා එකපැත්තකින් ආණ්ඩුවෙ මඩකරියෝ කළේ රටට සේවයක්.  

අංක 07 – ගුරුවරයාට ගැහුවට, ඒ කවුද?

ඊළඟට දේශපාලන කරුණක් තියෙනව මෙතන ආණ්ඩුවෙ මඩකරියො තේරුම් නොගත්ත. ආණ්ඩුව නොදන්න දේ තමයි එහෙම නැත්තන් ආණ්ඩුවට මිස් වෙච්ච දේ තමයි කලබලයට මෙහෙම සරල බාල අවලාද නගද්දි ඒ ගුරුවරයා නියෝජනය කරන සමාජ පංතිය ආණ්ඩුවට අමතක වීම. වෛද්‍යවරු වගේ නෙවෙයි. ගුරුවරයා කියන්නෙ මේ රටේ සාමාන්‍ය සමාජයේ පහළ මැද පංතිය නියෝජනය කරන්නෙක්.

ආණ්ඩුව බැලුවෙ අර ඩොක්ටර්ස්ලට එරෙහිව තිබෙන ජනප්‍රිය මුදල් පසුපස දුවන වගේ තර්කයක් ඇදල ගහන්න. හැබැයි ඒක අතේ පත්තුවෙන බෝම්බයක්. තමන්ගෙ වැටුප් වාර්තා ණය ගෙවීම්වල සිට තමන්ගෙ ජීවිතවල ඇත්ත යථාර්ථය මුහුණු පොතේ අකුරු කරවන තත්ත්වයට ගුරුවරුන් ගේන්න ආණ්ඩුව සමත් වුණා.

අංක 08- ගුරු සටනට සහයෝගය ලැබෙනවා

අපි දන්නවා වෘත්තිය සමිති පියවරකදි ඒකට ලැබෙන පොදු සමාජ සහාය එහෙම නැත්තන් ලෙජිටිමසි එක සුජාතභාවය හරිම වැදගත්. අපි නොහිතන තැන්වලින් මේ සටනට සහයෝගය ලැබෙනවා. සිංහල බෞද්ධයි කියන, නිදහසෙන් පස්සෙ බණ්ඩාරණායකලා හදපු ප්‍රතිතප්ති අනුගමනය කරනවනං, අසූ ගණන්වල යූඇන්පීය දාපු පන්නයෙ තර්ක දාලා මේ ප්‍රශ්නෙ යටගහන්න ආණ්ඩුට බෑ.

ඔළුවක් තියෙනවා නම් මේකම ආණ්ඩුවට ලොකු පණිවුඩයක්.  තමන් යන්නෙ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඇතුලෙ කියන ආණ්ඩුවම පංච මහා බලවේගයේ තෙවැනි සාධකය වූ ගුරුන්ට මීට වඩා ප්‍රතිචාරයක් ආණ්ඩුව දෙනවා.

අංක 09 – පොහොට්ටු වෘත්තිය සමිතියත් ඉවරයි

ඒ වගේම තමයි ආණ්ඩුව සාමාන්‍යයෙන් වෘත්තිය අරගලයක් අල කරන්න එහෙම නැත්තන් වැඩේ අවුල් කරන්න පාවිච්චි කරන තවත් කුප්‍රකට උපක්‍රමයක් වූ ආණ්ඩුවෙ වෘත්තිය සමිතියක් පාවිච්චි කිරීම. හැබැයි පොහොට්ටුවේ වෘත්තිය සමිතියත් එහි නායකත්වයත් නිර්දය විදියට අනාවරණය වුණා. ඒ සංගමේ විවේචනය කරන තැනට සෙසු ගුරුවරුන් තල්ලු වුණා. මින් ඉස්සරහට ආණ්ඩුවේ දේශපාලන වැඩවලට ගුරුවරු පෙළගස්සන්න ඒ වෘත්තිය සමිතියටත්, වසන්තා හඳපාන්ගොඩ නෝනාටත් බැරි වේවි.

අංක 10 – ආණ්ඩුව පරාදයි

මේ සමගම අප දකින දේ තමයි මේ කරුණු සමග ආණ්ඩුවේම ඇතැම් නම්‍යතා. මේ ගුරු සටන කිච කරන්න නෝන්ඩි කරන්න කාලකන්නි වගේ කතා කියන්න ගියේ කෙහෙළිය පවිත්‍රා එස්.බී සනත් නිශාන්ත වගේ ආණ්ඩුවෙ වුණත් ඕනෑම අසූචි කන්දකට කර තියන ජාතියෙ දේශපාලකයන් විතරයි. ගොඩක් අය මේ ගැන සද්ද නැතිව හිටියා. නැත්තං ෂේප් එකේ මේ සටනට සහය දෙන කතාවක් කිව්වා.

ප්‍රතිපත්ති විරහිත දේශපාලකයා තුළත් හෘද සාක්කියට එහෙම තුවාලවීමක් පෙනෙනවා නම් පොදු සමාජ හෘද සාක්ෂියට එය කොහොම බලපාන්න ඇතිද කියල අපට යම් ආකාරයකට හිතාගන්න පුළුවන්.

මේ සටනෙදී දිවයින පුරා නගරවල නැගෙන වීදි විරෝධතා සමග අර සභාවක් මැද වැටුණු කෙනාගෙ තත්ත්වයට ආණ්ඩුව පත්වෙලා ඉන්න බව පේනවා.

සභාව මැද්දෙ වැටුණු පුද්ගලයා සභාවෙ අයට පෙන්නන්න හදන්නෙ තමන් වැටුණේ නෑ පැන්නා කියලයි. හැබැයි සභාවෙන් ඈත්මෑත් වුණාම තමයි රිදුණු තැන් අතගාන්න පටන්ගන්නෙ.

ආණ්ඩුවේ විෂය බාර හා නායක මට්ටමේ අයගෙ කතාවල ඒ රිදුණු බිදුණු ස්වරය දැන් පැහැදිලිව පේනවා. 

අංජන කොළඹගේ