දැවැන්තම ප්‍රශ්නයකට පිළිතුරු

මෙය ත්‍රස්තවාදයට උත්තරයක් ලෙස මුස්ලිම් කඩවලට නොගිහින් ඉන්නවාද නැද්ද යන ප්‍රශ්නයට ශ්‍රී ලාංකික ජාතිය උත්තර හොයන කාලසීමාවක්. ත්‍රස්තවාදීන් පිරිසක් දෙව්ලොව යන්නට අන්‍යාගමිකයන්ව ඝාතනය කළ කාලසීමාවක්. ශ්‍රී ලාංකික ජාතිය එක් භූමියක එකට වසන්නේ කෙසේදැයි හොයද්දී මනුෂ්‍ය වර්ගය මෙතෙක් තිබුණු දැවැන්තම ප්‍රශ්නයකට පිළිතුරු ලබාගන්නට මනුෂ්‍ය වර්ගයා සමත්වුණා.

සමස්ත පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු දුරේක්ෂයක් නිර්මාණය කොට විශ්වයේ ඇති විශ්මයජනකම වස්තු ප්‍රභේදය වන කළු කුහරයක ඡායාරූපයක් ගැනීමට මනුෂ්‍ය වර්ගයා සමත්වුණා. කළු කුහරයක ඡායාරූපයක් ගැනීම මනුෂ්‍ය වර්ගයා ලද මහා ජයග්‍රහණයක්. එය කාලය හා අවකාශය ගැන සොයායන මනුෂ්‍ය වර්ගයාගේ නොනවතින චාරිකාවේ මහා සැතපුම් කණුවක්.

භෞතික විද්‍යාව ගැන අප දැන සිටි නීතිරීති සියල්ල අතාර්කික බවට පත්වෙන සොයාගැනීමක් වුණේ ක්වොන්ටම් යාන්ත්‍රණය ගැන බෝර්, අයින්ස්ටයින් වැනි අය කළ හෙළිදරව් නිසායි.

ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන ආදී පරමාණුවටත් වඩා කුඩා ක්වොන්ටම් අංශුවල හැසිරීම ගැන සොයද්දී ඒවායේ හැසිරීම භෞතික විද්‍යාවේ අප දන්නා නියමයන්ට වඩා වෙනස් බව විද්‍යාඥයන් සොයාගත්තා. ඒ අනුව ක්වොන්ටම් අංශුවලට එකම මොහොතක තැන් දෙකක පවතින්නට, එක් තැනකින් අතුරුදන් වී තවත් තැනකින් මතුවෙන්නට ආදී ලෙස අනුමාන කරන්නට අසීරු අන්දමේ ගති ලක්ෂණ ඇතැයි විද්‍යාඥයන් හඳුනාගෙන තිබුණා. ඒ ගති ලක්ෂණ ගැන සිදුකළ ගණනයන් නිසා අද වෙද්දී අප අතැති පරිගණකය, කුඩා ජංගම දූරකථනය, ඩිජිටල් කැමරාව ආදී උපකරණ රැසක් ක්‍රියාත්මක වෙනවා.

කළු කුහරයක් ගැන අතිසරල භාෂාවෙන් කතා කිරීම අසීරු කටයුත්තක්. ඒත් අපි මේ සටහනෙන් ඒ අසීරු කටයුත්තට උත්සාහ ගන්නවා.

ඇල්බර්ට් අයින්ස්ටයින් කලු කුහරයක් පිළිබඳ ගණිතමය න්‍යායක් වසර සියයකට පමණ හඳුන්වාදුන්නා. ඒ අනුව කාලය හා අවකාශය ගුරුත්වය නිසා විනාශ වෙන අවකාශයක් හඳුන්වාදුන්නා. අයින්ස්ටයින් එම අවකාශය බ්ලැක් හෝල් යන වචනයෙන් හැඳින්වුවේ නැහැ. ඒ වචනය ආවේ පසුකාලීනවයි.

කෙසේ වෙතත් අයින්ස්ටයින්ගේ ගණිත සූත්‍රය, සැබෑ ලෙස පවතිනවාදැයි බ්ලැක් හෝල් එකක ඡායාරූපයක් ගන්නා තෙක් තහවුරු වුණේ නැහැ. එසේ වුව තවත් ගණිතඥයන්, තාරකා විද්‍යාඥයන් ආදී වියතුන් බොහෝ දෙනෙක් එම න්‍යාය තහවුරු කර තිබුණා. අයින්ස්ටයින්ට සහාය දැක්වෙන තවත් ගණනය කිරීම් ඔවුන් සිදුකළා. ඒ අය අතර අයිස්ටයින්ගෙන් පසු ලෝකයේ ශ්‍රේෂ්ඨම බුද්ධිමතා වන ස්ටීවන් හෝකින්ද සිටිනවා.

කාලය, අවකාශය හා ගුරුත්වය පිළිබඳ සරල කාරණා කිහිපයක් මුලින් අප තේරුම් ගත යුතුයි. ගුරුත්වය ආගමික නායකයන් කී දේවල් හිස් මුදුනින් පිළිනොගත් අය ඉන්නවානම්, ඔවුන් පුංචි කාලයේ සිට කාලයත්, අවකාශයත් ගැන කල්පනා කර ඇතිවා නිසැකයි. කාලය පටන්ගන්නේ කොතැනින්ද, අවසාන වෙන්නේ කොතැනින්ද කියා අප කොතෙකුත් ප්‍රශ්න කර ඇති. එමෙන්ම අවකාශය අවසාන වෙන්නේ කොතැනින්ද කියාත් අහස පොළොව ගැටගැසූ අය ඇති. සරලව කීවොත් විශ්වයේ බිත්තිය කොතැනද කියා කල්පනා කළ අය ඇති. විශ්වයට බිත්තියක් තියෙනවානම් ඒ බිත්තියෙන් එහාපැත්තේ තියෙන්නේ මොනවාදැයි හිතෙනවා ඇති.

අයින්ස්ටයින්ලා කාලය හා අවකාශය පිළිබඳ විස්මිත න්‍යායන් ඉදිරිපත් කළා. අප මෙතෙක් සිතා සිටියේ කාලය යනු විශ්වයේ කොතැන සිටියත් එක සමානව ගෙවී යන දෙයක් කියායි. එහෙත් කාලය යනු සාපේක්ෂ දෙයක් බව අයින්ටයින්ලා පෙන්වුවා. සරලව කීවොත් පෘථිවි තලය මත සිටින අපට කාලය ගෙවෙනවාට වඩා විශ්වයේ තවත් තැනක සිටින අයෙකුට කාලය ගෙවෙන්නේ වෙනස් වේගයකින් බව අයින්ස්ටයින්ලා පෙන්වුවා. කාලය සාපේක්ෂයි. සාපේක්ෂ කුමකටද. කාලය සාපේක්ෂ වන්නේ ගුරුත්වයටයි. සරල බසින් කීවොත් ගුරුත්වයෙන් වැඩි තැනක ඔබ සිටිනවානම් ඔබට කාලය ගෙවෙන්නේ මන්දගාමීව. ගුරුත්වයෙන් අඩු තැනක ඉන්නවානම් කාලය ගෙවෙන්නේ සාපේක්ෂව අඩු වේගයකින්. මේ වෙද්දී එය විද්‍යාත්මකව ඔප්පු වී හමාරයි. එය පැහැදිළිවම ඔප්පු වන්නේ ජී.පී.එස්. තාක්ෂණය වෙනුවෙන් අහසේ ඇති චන්ද්‍රිකා නිසායි. චන්ද්‍රිකාවක කාලය ගෙවෙන්නේ පෘථිවි තලයට වඩා සාපේක්ෂව අඩු වේගයකින්. ඒ නිසාම චන්ද්‍රිකාවලින් ජී.පී.එස්. දත්ත සපයද්දී ඒ කාලය ගෙවී යන වේගය ගැන සැලකිලිමත් වෙමින් උපාංග නිපදවා තිබෙනවා.

විශ්වයෙහි ගුරුත්වයෙන් වැඩිම වස්තු ප්‍රභේදය වන්නේ කළු කුහරයි. ඒ නිසාම කළු කුහරයක් සමීපයටම ගිහින් පණපිටින් ඉන්නට පුලුවන් වුණත් කාලය ගෙවීයෑම නතර වීම නිසා ඔබ ගල් ගැසෙන්නට පවා පුලුවන්. කළු කුහරයක් ආසන්නයට ගියොත් ඔබ සිටින දුර ප්‍රමාණය අනුව කාලය ගෙවීයෑම අතිශයින් මන්දගාමී වෙන්න පුලුවන්. මෙසේ හිතමු, කළු කුහරයක් අසලින් චාරිකාවක් ගොස්, කළු කුහරය අසල පැය 50ක් ගතකර නැවත පෘථිවියට පැමිණියාට පසුව පෘථිවියේ වසර පණහක් ගතවී ඇතැයි ඔබට දකින්නට ලැබෙන්නට ඉඩ තියෙනවා. ඔබ තරුණ වියේ සිටියදී, ඔබේ මිතුරන් සියලුම දෙනා වසර 50කින් වියපත්ව සිටින්නට ඉඩ තියෙනවා. ඇත්තෙන්ම ඔබ එවැන්නක් කරන්නට සමත්වුණොත් ඔබ කාල යාත්‍රිකයෙකු බවටත් පත්ව තිබෙනවා.

කාලය මෙන්ම අවකාශයේන් න්‍යායන් ක්‍රියාත්මක වෙන්නේ ගුරුත්වයට සාපේක්ෂවයි. කාලය හා අවකාශය ස්පේස් ටයිම් ලෙස හඳුන්වනවා. පෘථිවිය, සෞරග්‍රහ මණ්ඩලය, ක්ෂීරපථය හෙවත් අප ජීවත්වෙන මන්දාකිණිය, තවත් මන්දාකිණි අනන්ත ගණනාවක් පවතින්නේ ස්පේස් ටයිම් මතයි. අවකාශයේ ඇති සියලු වස්තු ස්පේස් ටයිම් මත පවතිනවා.

ස්පේස් ටයිම් හතර කොණින් තදින් ඇද ගැටගැසූ මාළු දැලක් බඳුයි. එවැනි දැලක් මත මාළු කූරියෙක් තැබුවොත් මාළුවාගේ හැඩයට සාපේක්ෂව දැල පහත් වෙනවා. ස්පේස් ටයිම් එක මතත් යම් වස්තුවක් තබද්දී ඒ වස්තුවට සාපේක්ෂව ස්පේස් ටයිම් දැල පහත් වෙනවා.

අයින්ස්ටයින් පෙන්වාදුන්නේ ස්පේස්ටයිම්හි එක්  තැනකට විශාල ගුරුත්වයක් සමඟ වස්තු විශාල ප්‍රමාණයක් එක්ව, ස්පේස් ටයිම් දැල හිල් කරන්නට තරම් ඒ ගුරුත්වය ප්‍රබල වෙන බවයි. ගුරුත්වයෙහි ප්‍රබල බව නිසාම ඒ අවකාශයෙන් පලා යන්නට කිසිදු වස්තුවකට හෝ කිසිදු අංශුවකට නොහැකියි. සියලු වස්තු ඒ ගුරුත්වය කරා ඇදී යනවා. ලෝකයේ වේගයෙන්ම ගමන් කිරීමේ හැකියාවක් තිබෙන අංශු වර්ගය වන්නේ පෝටෝන් අංශුයි. ආලෝකය ගමන් කරන්නේ පෝටෝන් අංශු ලෙසයි. ඒ අනුව ආලෝකයටත් ඒ ගුරුත්වයෙන් පලා යා නොහැකියි. කළු කුහරය ලෙස හඳුන්වන්න්නේ ඒ අවකාශයෙහි කිසිදු ආලෝකයක් නැති නිසායි.

කළු කුහරයක් පහසුවෙන්ම හඳුනාගත හැකි වන්නේ ඒ වටේ ඇති දීප්තිමත් ආලෝකය නිසායි. ඒ දීප්තිය ඇති වන්නේ කළු කුහරය වෙත ආලෝකය ලෙස පැමිණි පෝටෝන් අනු කළු කුහරය කරා ගමන් කරද්දී ඉතා පුංචි ඉඩ ප්‍රමාණයකට ඇතුලු වෙන්නට උත්සාහ කරද්දීයි. කාර්යාල වෙලාව අවසන් වෙද්දී විවිධාකාර ප්‍රදේශවලින් පැමිණි පිරිස් මරදාන දුම්රියපොලේ ගේට්ටු අසල මිනිසුන් පොදි ගැසෙනවා වගෙයි. මෙසේ එකිනෙකට ළංවෙන පෝටෝන් එකිනෙක ඇතිල්ලෙද්දී උණුසුම් වායු නිෂ්පාදනය වෙනවා. ඒ උණුසුමත් සමඟ දීප්තිමත් ආලෝකයක් නිර්මාණය වෙනවා.

එම්87 ගැලැක්සිය හෙවත් මන්දාකිණිය තියෙන්නේ ටිකක් ඈතිනුයි. ටිකක් ඈතින් යැයි කීවත් ආලෝක වර්ෂ මිලියන 55ක් ඈතිනුයි. ටිකක් ඈතට වඩා වැඩි ඈතක් බව කිව යුතු නැහැ. එහි මධ්‍යයෙහි මනුෂ්‍යයන්ගේ ඡායාරූපයට හසුවූ කළු කුහරය තිබෙනවා. සාමාන්‍යයෙන් විශ්වයෙහි විශාල වස්තූන්ගේ විශාලත්වය මනින්නේ අපේ සෞරග්‍රහයේ සූර්යයගේ විශාලත්වයට සාපේක්ෂවයි. අපේ ඡායාරූපයට හසුවූ කළු කුහරය සූර්යයන් බිලියන හයහමාරක විශාලත්වයෙන් යුතුයි. මේ විශාලත්වය ගැන කතාවත් මඳක් පැහැදිළි කරගත යුතුයි. කළු කුහර යනු ඇත්තෙන්ම අප දන්නා විශ්වයෙහි ඇති කුඩාම වස්තු ප්‍ර‍භේදයයි. එහෙත් ඒවායේ ශක්තිය අනුව ඒවායේ ප්‍රමාණය මනිනවා. කලු කුහරයක ශක්තිය මන්දාකිණි පුරාවට පැතිර යන නිසා ඒවා කෙතරම් බලවත්දැයි සිතාගත හැකියි. එමෙන්ම කළු කුහරයක ශක්තිය මත ඒ වටා ඇතිවන දීප්තිමත් ආලෝකය එකිනෙක ප්‍රමාණවලින් යුතුයි. අපේ ඡායාරූපයට හසුවූ කළු කුහරය එවැනි විශාල කළු කුහරයක්. ටිකක් ඈතින් පිහිටියත්, අපේ ඡායාරූපයට ඒ කළු කුහරය හසුවුණේ එය ටිකක් උසමහත එකක් වූ නිසා බව පැහැදිළියි.

ලොවවටා ඇති සියලු දුරේක්ෂ එකතු කොට ඒවා සියල්ලම එකම වෙලාවක ක්‍රියාත්මක කිරීමෙන් ඉවෙන්ට් හොරයිසන් ටෙලස්කෝපය නිර්මාණය කෙරුණා. එය පෘථිවිය තරම් විශාල ටෙලස්කෝපයක් වුණේ ලොවපුරා ඇති සියලු  ඇතැම් විටෙක මෙවැනි ඓතිහාසික ජයග්‍රහණ ලබන්නට විශිෂ්ඨ වීම පමණක් ප්‍රමාණවත් නැහැ. වාසනාවන්ත වීමත් වැදගත්. ඉවෙන්ට් හොරයිසන් ටෙලස්කෝප් මෙහෙයුමේ ප්‍රධානියා වන ෂෙපර්ඩ් ඩෝල්මන් පවසන්නේ ඔවුන් පැති ගණනාවකින් වාසනාවන්ත වූ බවයි. ලොවපුරා විවිධ තැන්වල ඇති දුරේක්ෂ සියල්ල එකවර ක්‍රියාත්මක වෙද්දී, ඒ ඒ තැන්වල කාලගුණය යහපත් තත්වයක පැවතීම පළමු වාසනාවයි. අනෙක් පැත්තෙන් කළු කුහරයේ සිට පැමිණෙන ආලෝකය ආලෝක වර්ෂ 55ක් පසුකොට මේ දුරේක්ෂයේ අවකාශයට පැමිණිය යුතුයි.

එක් දුරේක්ෂයකින් පෙටාබයිට් එකක පමණ දත්ත එකතුකරගත් කණ්ඩායම ඒ දත්ත සියල්ල ප්‍රවේශමෙන් එක් ස්ථානයකට එකතුකොට දත්ත විග්‍රහ කළා. මෙක්සිකෝවේ දුරේක්ෂයක පෙටාබයිට් බාගයක පමණ දත්ත ඇතුලත් හාඩ් ඩිස්ක් තොගයක ඡායාරූපයක් පෙන්වා ඩෝල්මන් පැවසුවේ 5000 දෙනෙක් මුලු ජීවිත කාලයේම ගන්නා සෙල්ෆිවලට වැයවෙන ඉඩකඩ ඒ දත්තවලට වැයවී ඇති බවයි. ඒ දත්ත සියල්ල නැව් වලින්, දැඩි ආරක්ෂාව මැද ගෙනැවිත් තිබුණේ බෝයිං 737 ඇතුලු අපේ යානා විශ්වාස කොට ගුවනින් යා නොහැකි නිසායි.

ක්ෂීරපථය මැදත් කළු කුහරයක් තිබෙනවා. ක්ෂීරපථය එක්ව පවතින්නේ ඒ කළු කුහරය සතු අසීමිත ගුරුත්ව බලය නිසායි. ඒ කළු කුහරය ගැන දත්ත දැනටමත් ඉවෙන්ට් හොරයිසන් කණ්ඩායම සතුව තිබෙනවා. ඒ දත්ත මත පදනම්ව ඒ කළු කුහරයේ ඡායාරූපයක් ගැනීම ගැනත් ඔවුන් උනන්දු වෙනවා. නිශ්චිතව කාලයක් කිව නොහැකි වුව, නුදුරු අනාගතයේදී ඒ කළු කුහරයත් දැකගත හැකිවනු ඇතැයි ඩෝල්මන් කියනවා.

කෙසේ වෙතත් මහා විශ්වය ගැන මනුෂ්‍යයන්ගේ විශිෂ්ඨ සොයාගැනීමක් ගැන මේ කතාව අපේ මේ පුංචි රටෙහි වත්මන් තත්වයට පාඩමක් කරගත හැකියි. වඩා ශ්‍රේෂ්ඨ ජාතිය සොයන්නට උත්සාහ කරන කලෙක ඉවෙන්ට් හොරයිසන් දුරේක්ෂය නිර්මාණය වුණේ එකට වැඩකළ විශාල පිරිසකගේ මහන්සියෙනුයි. ලොවපුරා ආයතන 60ක්, රටවල් 20ක, ජාතීන් ගණනාවක පිරිසක් එක්ව මේ ජයග්‍රහණය ලබන්නට මනුෂ්‍ය වර්ගයා සමත්වුණා.