කොමිසමේ නිර්දේශ ගැන රනිල්ගෙන් රිට් පෙත්සමක්

එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

දේශපාලන පළිගැනීම පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔහු එම රිට් පෙත්සම ගොනුකර ඇත.

මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ මර්දන ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් වග උත්තරකරුවන් විසින් විමර්ශනයක් සිදුකළ බවට තොරතුරු වාර්තා වූ බවය.

අනතුරුව අදාළ කොමිෂන් සභාවේ වාර්තාව මගින් තමාට ද බලපාන නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙන බව මාධ්‍යවලින් ප්‍රචාරය වී තිබූ බවද ඔහු සඳහන් කර තිබේ.

විමර්ශනවලදී කොමිෂන් සභාව විසින් තමන්ට එරෙහිව කිසිදු චෝදනා පත්‍රයක් ඉදිරිපත් නොකළ බවද පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගෙන් ප්‍රමාණවත් ලෙස නිදහසට කරුණු විමසීමක් සිදු නොකළ බවද අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

දූෂණ මර්දන ලේකම් කාර්යාලය ස්ථාපිත කෙරුණේ එවක අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව බවත් එහි වියදම් සියල්ල නීතියට අනුකූලව සිදුකර ඇති බව පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

නීතියට පටහැනි ලෙස සහ ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කරමින් අදාළ පරීක්ෂණ කොමිෂන් සභාව විමර්ශන සිදුකර ඇතැයි චෝදනා කරන රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිෂන් සභාව විසින් සිදුකළ නිර්දේශයවලින් තමන්ට දැඩි අගතියක් සිදුවන බවද පෙන්වා දී තිබේ.