මහින්ද ඉවරෙටම ඉවරයි! ඔහු ඇවිදින පිළිමයක් විතරයි

මහින්ද රාජපක්ෂ ඉවරයි කියලා අපි මීට කලින් දවසක් කිව්වා. ඒකෙන් අදහස් කළේ ඔහුගේ දේශපාලන ගමන අවසන් කියලා. දැන් මහින්ද රාජපක්ෂ මහතා ඇවිදින දේව පිළිමයක් විතරයි. මිනිස්සු ගිහින් ඔහුව වැඳපුදාගන්නවා මිසක්, එතැනින් එහාට ඔහුට දේශපාලනයක් නෑ. ඔහුගේ අමාත්‍යාංශය බොහෝදුරට පුස් එකක්. ඔහු තීරණාත්මක සාකච්ඡාවල ක්‍රියාකාරී නැහැ.

බයියන් කෝ? හැටනවලක්ෂය කෝ? මේ ආණ්ඩුව ගෙනාපු අය කෝ කියලා ෆේස්බුක් එකේ ගොඩක් අය අහනවා. ඒ අය නොමැති වෙන්නටත් එක හේතුවක් තමයි මේ මහින්ද රාජපක්ෂ මහතා හුදු පිළිමයක් බවට පත් වීම. අපි මේ වීඩියෝවේදී කතා කරන්නේ ඒ ගැන.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ආවේ මුදල් ඇමති විදියට නෙවෙයි. ඇත්තටම ඔහු ආවේ නිල නොවන අගමැති විදියට. මේ භූමිකාව ඔහුට අලුත් නැහැ. මීට කලින් රාජපක්ෂ ආණ්ඩු කාලවලදීත් ඔහු ආර්ථික සංවර්ධන ඇමති විදියට පාර්ලිමේන්තුවේ හිටියාට ඔහු නිල නොවන අගමැති වුණා.

දිමු ජයරත්න සහ රත්නසිරි වික්‍රමනායක වගේ අයව හුදු පඹයන් විදියට විතරක් හැඳින්වුවා.මොකද ඔවුන්ට අගමැති තනතුර සහ කාර්යාලය තිබුණාට ඔවුන් දේශපාලනයේ ක්‍රියාකාරී වුණේ නැහැ. ඔවුන්ට පැවරිලා තිබුණේත් නොවැදගත්, පුංචි අමාත්‍යාංශ.

දැන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට දීලා තියෙන අමාත්‍යාංශය තමයි ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් කිරීමේ අමාත්‍යාංශය. ඒ අමාත්‍යාංශයේ විෂයන් කියවද්දී අපට හිතුණේ පව් කියලා.

මීට කලින් තමන්ගේ යටතේ දිමු ජයරත්න සහ රත්නසිරි වික්‍රමනායක හිටියා වගේ තමයි ගෝඨාභය-බැසිල් ආණ්ඩුව යටතේ මහින්ද රාජපක්ෂ මහතා ඉන්නේ. දැන් ආණ්ඩුවේ විධායක බලය අයිති ගෝඨාභය මල්ලිට- පක්ෂය සහ ආර්ථික පාලනය අයිති බැසිල් මල්ලිට.

මහින්ද රාජපක්ෂ කියන්නේ මේ ආණ්ඩුව එකතු කරලා තියාගෙන ඉන්න නම. ඒ නමට අදාලව බාගෙට සජීවී සංකේතයක් විදියට පවතින්න තමයි ඔහුට වෙලා තියෙන්නේ. එතැනින් එහා ක්‍රියාකාරී බවක් පේන්නේ නැහැ.

සාමාන්‍යයෙන් මේ වයසේදී, මේ තත්වයේදී අපේ ගෙවල්වල ඉන්න ආච්චිලා සීයලා පවා ටිකක් දරුවන්ගේ නිරීක්ෂණය යටතේ ඉන්නේ. ඔවුන් හිතුවක්කාර වැඩ කරනවා. සමහරවිට වියපත් උදවිය ළමා වැඩ පවා කරනවා. එවැනි පසුබිමක මහින්ද මහත්තයා මේ විදියට ඉඳීමත් මාර වැඩක් බව කියන්න පුලුවන්.

මෑත කාලයේ අපි හොඳට නිරීක්ෂණය කළා. මහින්ද රාජපක්ෂගේ ෆේස්බුක් පිටුව. මාධ්‍ය අංශය ඔහු ඉන්නවා කියා පෙන්වන්නට වගේ විවිධාකාර අවස්ථාවල ඡායාරූප දානවා. උත්සවවලට සහභාගී වූ ෆොටෝ, පුද්ගලයන් හමු වූ ෆොටෝ, විවිධාකාර රැස්වීම්වල කතා කරපු බව ෆොටෝ. ඒත් ඒ රැස්වීම් ගොඩක් මාධ්‍යයට විවෘත නෑ. කතාවක වීඩියෝ එන්නේත් අඩුවෙන්. මීඩියාවලට වැඩිපුර එන්නේ උත්සවයේ ෆොටෝ ටිකයි, ඒකේ අගමැතිතුමා කළා කියලා කතාවක ටයිප් කරපු පිටපතකුයි.

මහින්ද රාජපක්ෂ නම් වූ ඇවිදින දේව රූපය වන්දනා කළ අවස්ථාවන්ගේ ඡායාරූප හෝ හුදු දේව රූපයක් විදියට යම්කිසි අවස්ථාවලට සහභාගී වීම් බව ඔහු සමාජය ඉදිරියට පැමිණෙන අවස්ථා සලකන්න පුළුවන්.

ඔහුගේ සජීවී ප්‍රකාශ  දකින්න නෑ. ඉඳහිට පෝය දින පණිවිඩයක් ආදී ඔහුගේ කතාවක් දකින්න ලැබුණත් ඒවායින් පේන්නේත් ඔහුගේ වෙහෙස.

ඉස්සර මහින්දගේ කතාවල තිබුණ එනර්ජි එක. මිත්‍රශීලී බව අද නෑ.

මහින්ද රාජපක්ෂගේ දේශපාලන කඳවුර දිව්වේ මහින්ද කියන ඒ ජව සම්පන්න නායක පෞරුෂය එක්ක. හැමදාම රෑට ඒ කඳවුරේ අයට රසවිඳින්න කතාවක් සපයන්න ඔහු සමත් වුණා. 2006 ඉඳන් 2018 විතර දක්වාම ඔහු දිනපතාම වගේ ඒ කඳවුර පිනවන්න දේවල් කිව්වා.

ඉස්සරම ලංකාවේ හතර කොණේ ගියපු ඔහු ජනාධිපති පෝඩියම් එකේ ඉඳන් වීදුරු පෙට්ටියක ඇතුළේ හිටගෙන කතා කළා. ඒ කාළෙ නං දුවගෙන ගිහින් අත් දෙක වනාගෙන වේදිකාවට නගින වීඩියෝ පවා දිනපතා දකින්න ලැබුණා.

යුද්ධය ඉවරවෙලා වීදුරු පෙට්ටිය අයින් වුණා. දුවන කරන ඒවාත් ටිකක් අඩු වුණා. ඒත් ඔහුගේ ප්‍රබල, මිත්‍රශීලී කතා දිගටම දකින්න ලැබුණා.

2015න් පස්සේ කතා පැවැත්වීම් අඩු වුණා. විවිධ උත්සවවලට ගිහින් එළියට බහින අතරේ කොරස්පොන්ඩන්ලා වටකරගෙන හිනා මූණෙන් ට්‍රෙන්ඩ් වෙන ජාතියෙ වචන දෙකක් කියන්න ඔහු සමත් වුණා.

එදා ඉඳන් මේ දක්වා ඔහු කිව්ව සමහර කතා මතකද.

පළමුවත් මව්බිම.. දෙවැනුවත් මව්බිම.. 

දැන් මේ රටේ ඉන්නේ ජාතීන් දෙකයි. දේශප්‍රේමියෝ සහ දේශද්‍රෝහියෝ.

කොහොමද බයියන්ගෙ වැඩ..

දැන් සැපද?

ඔය මතක් කරපු කතා හුදු වචන විතරක් වුණේ නැහැ. එතැනින් එහාට ලංකාවෙ සම්පූර්ණ දේශපාලනය හැඩගස්සන සංකල්ප සහ යෙදුම් බවට ඕවා පත් වුණා.

හැබැයි ඔය මතක හිටින කතා ටික විතරක් නෙවෙයි. මහින්ද මහත්තයා හැම දවසකම රෑ ප්‍රවෘත්තිවලට දාන්නට කතාවක් දුන්නා. සාමාන්‍ය මිනිස්සු රෑට කනගමං බත් එක්කම ඇඟට ජීර්ණය වෙන්න කතා දුන්නා. රෑ නිදාගත්තම හීනෙනුත් පේන්න කතා දුන්නා.

ඒ කියන්නේ අජිත් මුතුකුමාරණ තමන්ගෙ ෆෑන්ස්බේස් එකට කැසට් ගැහුව වගේ. සමහරවෙලාවට එකම තනුවට විවිධ වචන දාලා දුන්නා.

ඒ කතා ෆැක්ටරිය අද වැහිලා. මහින්දට විකල්ප විදියට ආපු මල්ලිලා දෙන්නා කතා නොකරන තරමට හොඳයි. එක්කො යුක්‍රේන්කාරයො ගෙනාවෙ පරීක්ෂණ කොරන්ඩ කියයි. වට්ටක්කා ඇට දෙකක් දාලා උස්සං එනවා කියයි.

නැත්තං අපි තමයි හොඳටම කළේ කියයි.

ඒ එක කතාවක්වත් මහින්දගෙ ලෙවල් එකේ නෑ.

ඇත්තටම ඒ අතින් සලකද්දී ලංකාවේ බල දේශපාලනයේ බිහිවෙච්ච අල්ටිමේට් චරිතය මහින්ද. ඩීඑස්, බණ්ඩාරණායක, සිරිමා, ජේආර් ආදී නායකයන්ටත් වඩා තමන්ගෙ කඳවුර තෘප්ත කරලා තියාගන්න ඔහු සමත් වුණා.

මහින්ද කියන්නේ අල්ටිමේට් දේශපාලන නායකයා විතරක් නෙවෙයි. මහින්ද කියන්නේ අල්ටිමේට් සුපර්ස්ටාර්. ඒ කියන්නේ දකුණු ඉන්දියානුවන්ට රැජිණිකාන්ත් වගේ අපේ අයට හිටියේ මහින්ද.

මහින්දට විරුද්ධ පිරිසගේ විරෝධයත් ඉතා දැඩි බව ඇත්ත. ඒත් සමහරවිට මහින්දට විරුද්ධව කියපු දේවල් පවා ඔහුගෙ කඳවුරේ අය තව තවත් ශක්තිමත් කරපු දේවල්ම වුණා.

ඒ කියන්නේ ඔහුට එල්ල කරන හැම චෝදනාවක්ම මහින්දට භක්තිමත් උදවියගේ භක්තිය තව තවත් වැඩිකරන සාධක විතරක් වුණා. මොකද, මේ තරම් දේශද්‍රෝහීන්, ඩොලර් කාක්කන් මහින්ද මැතිතුමාට ගරහද්දී, ඔහුව රැකගැනීමේ අවශ්‍යතාව වැඩි වැඩියෙන් අයට දැනුණා.

ඒත් තවදුරටත් මහින්ද රාජපක්ෂගෙන් ඒ විදියට සංකල්ප එන්නේත් නැහැ. 

මහින්ද මහත්තයා කියන ප්‍රාණියා අවසන්. දේශපාලන සුපර්ස්ටාර් අවසන්. ඒ වෙනුවට දැන් ඔහු ඇවිදින දේව පිළිමයක් විතරයි. අපි ඒක කියන්නේ නරුම සන්තෝසයකින් නෙවෙයි. මහින්ද රාජපක්ෂ කියන දේශපාලන චරිතය ගැන වෙනම ආකෘතියක ගෞරවයක් අපට තියෙනවා.

මහින්දගේ වයස සලකද්දී, මේ ඇවිදින පිළිමයක භූමිකාව කරනවා හැර ඔහුට විකල්පයක් ඇත්තේත් නැහැ.

ඇත්තටම මේ ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන කඳවුරට බලය රැකගැනීම අතින් තියෙන ලොකුම අර්බුදය ආර්ථිකේ ෆේල් වීම නෙවෙයි. අර මතවාදය, අර එනර්ජි එක දෙන්න ගෝඨා-බැසිල් දෙපළ අසමත් වීම.

මහින්දගේ පෞරුෂයෙන් එදා දුන්නා වගේ එනර්ජි එකක් අදත් දුන්නානං ඕනෑ දුකක්-පීඩනයක් ඉවසගෙන දේශප්‍රේමී හැඟීමෙන් ආණ්ඩුවේ ආරක්ෂාවට ෆේස්බුක් වීරයන් තොග ගණං එයි.

ඉස්සරත් මිනිස්සු ආර්ථික පීඩා වින්දා. ඒත් ඒ දුක විඳගෙන මහින්ද රජතුමා, මහින්ද අප්පච්චි, මහින්ද මහත්තයා රකින්න මිනිස්සු ආවා.

හරියටම කිව්වොත් මහින්ද රාජපක්ෂ මැතිතුමා මිනිස්සුන්ව සූරා කෑවේ, මර්දනය ගෙනාවේ මිනිස්සු ඒකට ඕකේ කියල දන්න නිසා. මිනිස්සුන්ගේම අනුමැතිය අරන්.

හමුදාවෙන් එක්නැලිගොඩ අතුරුදන් කළාම යකෝ මූ අපේ එකෙක්ට කෙළියානෙ කියලා පුරවැසියන් හිතුවේත් නෑ. මාධ්‍යවේදීන් හිතුවේත් නෑ. එක්නැළිගොඩ දේශද්‍රෝහියා කියලා උං ලිව්වා කිව්වා.

ඒත් අද ජෝසෆ් ස්ටාලින්ව ආමි කෑම්ප් එකක හිරකරං ඉන්නකොට ස්ටාලින් දේශද්‍රෝහියා කියල ලියන්න කියන්න හරිහමන් සෙට් එකක් නෑ.

ඒ කඳවුර හැම වෙලාවෙම කනෙක්ට් වුණේ මහින්ද රාජපක්ෂ එක්ක. ඒත් දැන් මහින්ද රාජපක්ෂ ඩියැක්ටිවේට්. ඔහුව මුණගැහෙන්න ලැබෙන්නේ දුමින්ද සිල්වා වගේ අයට විතරයි.

අපේ පැත්තෙන් අපි ප්‍රාර්ථනා කරනවා ඔහු තව අවුරුදු දහයක් හෝ විස්සක් හෝ හැකි නම් ඊටත් වඩා ඔය විදියට ජීවත්වෙන්න කියලා. මොකද, තව අවුරුදු පහකින් ඒ කඳවුර පරාද වුණත්.. බැසිල්-ගෝඨා දෙපළ තමන්ගෙ පවුලෙ උදවිය ළඟට-ඇමෙරිකාවට ගියත්, මැදමුලන ඉන්න මහින්ද වැඳපුදාගන්න එන මිනිස්සුන්ගෙ අඩුවක් නොවේවි. ඒ වගේම ඔහුගේ මරණයෙන් පස්සේ අනිවාර්යයෙන්ම ඔහු වෙනුවෙන් දේවාලයක් හැදේවි. ඔහු රුහුණට අරක්ගත් දෙවියෙක් විදියට පවතීවි.

රජ කාලෙන් පස්සේ දෙවියෙක් විදියට මිනිස්සු අදහපු එකම දේශපාලන නායකයා ඔහු බවට පත්වේවි.