රටටම මඟහැරුණ සුමන්තිරන්ගේ ඓතිහාසික කතාව! සෝභිත හිමියන් කීව විප්ලවය!

මේ රට ගොඩගන්න මොක්ද කරන්න ඕනෑ? ගොඩක් අය නිතර අහන, නිතර කතා කරන දෙයක් තමයි ඒක. 

අපි මේ වීඩියෝවෙදී කතා කරන්න යන්නේ 2015 දී මාදුළුවාවේ සෝභිත හිමි කරපු යෝජනාව. මේ සටහනේ අග අපි ඒ විශේෂ යෝජනාව ගැන කතා කරනවා.

ඒ වගේම සාධාරණ සමාජක් උදෙසා ජාතික ව්‍යාපාරය පවත්වපු විපක්ෂය එකතුකිරීමේ වැඩසටහන ගැනත්, දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් මහතා කරපු ඓතිහාසික කතාව ගැනත් අපි කතා කරනවා. ජවිපෙ මේ වේදිකාවට සහභාගී නොවීම ගැන වගේම ලංකාව වෙනස් කරන වැඩේ ගැන අපි කතා කරනවා.ෙ

විපක්ෂයේ දේශපාලන පක්ෂ එකතුවීම සඳහා සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය පවත්වපු වැඩසටහනේ ප්‍රධාන ප්‍රවෘත්ති කිහිපයක් තිබුණා. එක් පැත්තකින් ජේවීපීය ආවේ නැහැ. අනෙක් පැත්තෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයා කිව්වා.. අහවල් දේ නොකළොත් අපි සපෝට් කරන්නෑ කියලා. ඒක ඓතිහාසික ප්‍රකාශයක්‍ෙ

අපේ මීඩියා, විචාරකයන් වගේම සාමාන්‍ය මිනිස්සු ඓතිහාසික ප්‍රකාශයක් හෝ සිදුවීමක් තේරුම් ගන්න දන්නෑ. යකෝ මේක ඓතිහාසිකයි කියල. පියුමි හංසමාලි ලයිව් එකක් ඇවිත් කෑගැහුවොත් වයිරල් යනවා. පොඩි පොඩි ආතල් කතා රටම බලනවා.

ඒත් ඓතිහාසික කතා යට යනවා

මේ කතාව සිංහල මීඩියාවලින් නං අල්ලගත්තා. ඒත් වැරදි තැන්වලින්. සුමන්තිරන්ගේ වචනයක් දෙකක් අල්ලගත්තම මිනිහා මාර අවුල් කතාවක් කළා කියල සුපුරුදු විදියට මුවහමට තඩිබාලා දාන්න මීඩියා පෙළඹුනා. ඒත් ඔහුගේ කතාවට මාර ඓතිහාසික වැදගත්කමක් තියෙනවා.

අපි පට ගාලා සුමන්තිරන් මහතාගේ කතාවේදී කිව්ව වැදගත් කරුණුල සරල සිංහල පරිවර්තනයක් කරන්නං. මේක ඉතා වැදගත්.

‘මට මෙතැනට ඇවිත් ඉඳගනිද්දී මනෝ ගනේෂන් මහතා මතක් කරපු කාරණයක් නැවත මතක් කරන්න මම කැමතියි. අවුරුදු දහයකට කලින් සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය හදාගත් මොහොතේ ජාතික පුස්තකාලයේ පළමු රැස්වීම පැවැත්වුවා. මම සහ මනෝ ගනේෂන් මහතා ඒකට සහභාගී වුණා.

දහ දෙනෙකුට අඩු සුළු පිරිසක් තමයි ඒක ආරම්භ කළ මොහොතේ හිටියේ. අපි එතැනදී කතා කළා. දයාසිරි ජයසේකර, ශිරාල් ලක්තිලක, එල්මෝ පෙරේරා ඇතුළු අය කතා කරපු බව මතකයි. 

අපි අපේ පූර්ණ සහයෝගය දුන්නා ප්‍රජාතන්ත්‍රීකරණ වැඩසටහනට. විශේෂයෙන්ම අපි හැම වෙලාවේම ඒක කළා. සභාපතිවරයාට මතක ඇති, එක් සිදුවීමක් තමයි දේශපාලන නායකයන්ගේ සිවිල් අයිතිවාසිකම් සීමා කිරීමට උත්සාහ ගත් අවස්ථාව. මීට කලින් එක්සත් ජාතික පක්ෂය බණ්ඩාරණායක මැතිණියගේ සිවිල් අයිතිවාසිකම් සීමා කළ මොහොතේත් අපේ පක්ෂයේ නායකයන් එයට එරෙහි වුණා. කොටින්ම කිව්වොත් ඒ ප්‍රජා අශක්නුතා පනත සම්මත කළ මොහොතේ එජාප මන්ත්‍රීවරුන්ගෙන් ඇයට ශාරීරික හානි සිදුවෙන්න නොදී ආරක්ෂා කරන්න පවා අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන් මැදිහත් වුණා.

අපි එවැනි මැදිහත්වීම් කළ සෑම අවස්ථාවක්ම සිහිපත් කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ. එහෙත් නූතනම උදාහරණය තමයි 2018 ඔක්තෝබර් මාසය. මුළු රටම දන්නවා ඒ වෙලාවේ දෙමළ ජාතික සන්ධනාය උසාවියේදී, පාර්ලිමේන්තුවේදී මෙන්ම එළියේදී මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවට එරෙහි වූ ආකාරයට.

සභාපතිවරයා ප්‍රශ්න ගණනාවක් ගැන කතා කළා. අපි එකඟ වෙනවා එම ප්‍රශ්න ගැන කතා කළ යුතුයි.

ඒ වගේම අපට සිහිපත් වෙනවා මීට කලින් සෝභිත හිමියන් නාග විහාරයේදී සියළු ප්‍රශ්න ගැන කතා කලා. දෙමළ ජාතික ප්‍රශ්නය එකල න්‍යායපත්‍රයේ ඉහළින්ම තිබුණා. විශේෂයෙන් එය න්‍යායපත්‍රයේ තුන්වැනි තැනට තිබුණා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තමයි අංක එක.

ඒත් 19 වැනි සංශෝධනය සම්මත වුණාට පස්සේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි වුණේ නෑ. ඒක එදා වුණා නම් අපේ රට අද මේ තත්වයට පත් වෙන්නේ නැති බව මට විශ්වාසයි.

අප පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන්ද කියන එක වැදගත්. අපි පොරොන්දු දීලා බලයට පත් වූ පසු ඉටු නොකළොත්, දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින නායකයන් ලෙස මෙයට සහයෝගය දිය නොහැකියි. අපේ සියළු පක්ෂවල සහයෝගය මේ ප්‍රකාශය සඳහා ලැබෙනවා. මේ ප්‍රකාශය කරන්න කලින් මම පක්ෂ නායකයන් එක්ක සාකච්ඡාවක් පැවැත්වුවා.

අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැගී සිටිනවා. අපි මර්දනයට එරෙහි වෙනවා. එහෙත්, අපි ඒ හැම මොහොතේම විපක්ෂය සමඟ හිටියත්.. ඒ විපක්ෂය බලයට ආවාට පසු අපව රැවැට්ටුවා. නැවත නැවතත් රැවැට්ටුවා.

අවාසනාවට මට අද ඉදිරිපත් කරන්න සිද්ධවෙනවා පණිවිඩයක. මේ රටේ දෙමළ ජාතික ප්‍රශ්නය ගැන නිශ්චිත මතයක් නැති නම්, අපි ඔබ සමග මින් ඉදිරියට ගමන් කරන්නේ නැහැ. මෙය අප විවෘතව කියනවා. ඒ වගේම මෙය සිංහල ජනතාවට කිව යුතුයි. අපි මේ ගැන පූර්ණ විනිවිදභාවයෙන් කටයුතු කරනවා.

මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේදී අපි විරෝධතාවක් පැවැත්වුවා. පොතුවිල් සිට පොලිගන්ඩි දක්වා. දින පහක් අපි ඇවිද්දා. කිලෝමීටර් 70ක් අපි ඇවිද්දා. මනෝ ගනේෂන් මහතා අපට සම්බන්ධ වුණා. අමීර් අලි මහතා සම්බන්ධ වුණා.

මේ රට මේ තරම් දැවැන්ත විරෝධයක් දැක්කෙ නෑ. ජේආර් ජයවර්ධන සමයේ පාද යාත්‍රාවේ ඒ තරම් මිනිසුන් ප්‍රමාණයක් හිටියේ නැහැ. අපේ පස්වැනි දිනයේ මිනිසුන් දසදහසක් හිටියා.

අපේ මිනිසුන් පාරට ඇවිත්, ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් ගත හැකි ඕනෑම පියවරක් ගැනීමට ලෑස්තියි. මේ රටේ ඒකාධිපති පාලනයකට එරෙහිව.

එහෙත් අපි තහවුරු කරගන්න ඕනෑ මේ රටේ විසඳිය යුතු විශාලම ප්‍රශ්නය තමයි දෙමළ ජාතික ප්‍රශ්නය. වෙන කිසිම ප්‍රශ්නයකදී මිනිසුන් ලක්ෂයකට වඩා මැරිලා නෑ. වෙන කිසිම ප්‍රශ්නයකදී වසර තිහක් තිස්සේ යුද්ධයක් තිබිලා නෑ.

ඒක අවසන් නෑ.

මිලිටරි කණ්ඩායම් එල්ටීටීඊය පරාද කළාට දෙමළ ජාතික ප්‍රශ්නය විසඳුණේ නැහැ.

එම නිසා එම ප්‍රශ්නයට දිය යුතු වැදගත්කම නොදුන්නොත්.. විවෘත නොවුණොත්, අපේ විසඳුම මේකයි කියා නොකීවොත් අපි මින් ඉදිරියට ඔබ සමඟ ගමන් කරන්නේ නැහැ.

ස්තූතියි.’

අපි කලින් කීවා ලංකාවේ මේ වෙලාවෙ කැරකෙන හැම ප්‍රශ්නයම මුල ආර්ථික ප්‍රශ්නය කියලා. ඒක ඇත්ත. පොහොර තහනම, ආනයන තහනම, ජීවන වියදම ආදී සියල්ලට මුල වෙන්නේ විදේශ විනිමය අර්බුදය ප්‍රමුඛ ආර්ථික අර්බුදය.  

මේ ප්‍රශ්න ටික දරුණු තුවාලයක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ වෙලාවේ ලොකුම වැඩේ තුවාලෙට බෙහෙත් කරන එක.

ඒත්, ජනවාර්ගික ප්‍රශ්නය දියවැඩියාව වගේ. අපේ රටේ නිදන්ගත රෝගයක්. තුවාලෙට බෙහෙත් කරන අතරේ සහ තුවාලෙ සනීප කරගත්තාට පස්සේ වුණත් නිදන්ගත රෝගයට ප්‍රතිකාර කරන්න වෙනවා. අනෙක් පැත්තෙන් තුවාලය සනීප නොවෙන්නට නිදන්ගත රෝගයක් සෑහෙන දුරට බලපානවා.

මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය බිහි වුණේ, ඒක ක්‍රියාත්මක වුණේ ලංකාවේ තියෙන ඓතිහාසික ප්‍රශ්න විසඳාගන්න අරමුණින්. හොඳ ව්‍යවස්ථාවක් හදාගැනීම මූලික අරමුණක්.

ඒත්.. අනෙක් පැත්තෙන් ඒ කාලයේ ලොකු ප්‍රශ්නයක් තිබුණා. ලොකු වෙනසක් කරන්න නං ආණ්ඩු බලය අල්ලගන්න වෙනවා. විශේෂයෙන් සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය වගේ සිවිල් ක්‍රියාකාරීන්ගෙන් සමන්විත එකතුවක්.. බලය අල්ලාගැනීමට අදාල සැලසුමකුත් හදන්න ඕනෑ වුණා. ඒකට විපක්ෂයේ ප්‍රධාන පක්ෂවල සපෝට් එකත් ඕන වුණා.

ඒ නිසා අන්තිමේදී එකඟතාවකට ආවා දෙමළ මිනිස්සුන්ගෙ ඉල්ලීම් හලන්න. විශේෂයෙන් බලය බෙදීම ගැන කතාව ඉවත් කරන්න. ඒ දවස්වල ලොකු මතයක් තිබුණා විපක්ෂය යුද්ධය සහ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය ගැන මාතෘකාව පස්සට දාලා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මැතිවරණ ක්‍රම ඇතුළු කතා ටික ඉස්සරහට අරන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ගෙනියන්න ඕනෑ බව.

විධායක ජනාධිපති ක්‍රමයට අමතරව දූෂණ විරෝධය ඉදිරියට ගන්න ඕනෑ බව එදා කිව්වා.

ඒ මතය වෙනුවෙන් ඉදිරියෙන්ම පෙනී හිටියේ තිරය පිටිපස්සේ විශාල දේශපාලන කාර්යභාරයක් ඉටු කරපු ශිරාල් ලක්තිලක වගේ අය.

ඒ වෙලාවේ ඔය ප්‍රතිපත්තිය ගේන්නට සාධාරණ හේතු තිබුණා. ප්‍රායෝගිකව සෝභිත හාමුදුරුවන්ගෙ ව්‍යාපාරය යථාර්තයක් කරගන්න වෙන්නේ නැහැ දෙමළ ප්‍රශ්නය ගැන ඕපන් වෙලා කතා කළොත්. මොකද, ජනප්‍රිය මතයක් හදලා තිබුණා දෙමළ අයගේ ඉල්ලීම්වලට අහුම්කන්දෙන එකම දේශද්‍රෝහී වැඩක් කියලා. එදා බහුතර සිංහල ජනතාව මේ සංකීර්ණ ප්‍රශ්නය දිහා මධ්‍යස්ථව බලන මානසිකත්වයක හිටියේ නෑ. යුධ ජයග්‍රහණයෙන් පෙළගැහිලා රාජපක්ෂලා පසුපස අන්ධ භක්තියෙන් ගමන් කරපු ජනතාවට එදා ඊට වඩා දෙයක් පෙන්වන්න තිබුණා.

ඒ තමයි ඔබ අන්ධ භක්තියෙන් පසුපස යන රාජපක්ෂ පවුල දූෂිතයි, ඔවුන් බලය ගොඩගහගෙන ඉන්නේ කියන එක.

දෙමළ ජාතික නායකයන් පවා ඒ තත්වය තේරුම් අරන් හිටියා. දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට ඇහුම්කන් දෙන්න සිංහල ජනතාව සූදානම් නැති බව ඔවුන්ට තේරුණා. ඒ නිසා දෙමළ ප්‍රශ්නය ගැන කිසිම ප්‍රසිද්ධ කතාවක් නැතත්, ඔවුන් 2015 දී සපෝට් එක දුන්නා. දකුණේ ඕනෑ එකක් කළත්, බ්ලෑන්ක් චෙක් එකක් වගේ දෙමළ ඡන්ද එජාප ප්‍රමුඛ කඳවුරට ලැබුණා.

ඒ අනුව පොදු අපේක්ෂක න්‍යායපත්‍රයෙන් දෙමළ ප්‍රශ්නය පිටිපස්සට ගියා. ඒත් දෙමළ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා. ආයුධ අතට ගන්න තරම් එක කාලෙක ප්‍රශ්නය දරුණු වුණා. නිකං හුදු ලේ පිපාසිත අරමුණුවලින් විතරක් ආයුධ අතට ගත්ත කියල හිතනවනං ඒක විචාරශීලී නැති පටු කල්පනාවක් විතරයි.

අද දෙමළ අයට කිසි ප්‍රශ්නයක් නෑ කියල හිතනවනං අර පී ටු පී පාගමන දිහා නැවත බලන්න. කිලෝමීටර් ගාණක් දසදාස් ගානක් පාගමනේ යන්නෙ මොකටද ප්‍රශ්නයක් නැත්තං. යුද්ධයෙදී වෙච්ච දේ මොකක්ද කියල මධ්‍යස්ථව හොයන්නෙ නැතිව, ඒ ගැන හොයන්න කියල ඉල්ලන උනුත් දේශද්‍රෝහීන් කියල ලේබල් කරනවනං..

ඒත්.. ශිරාල්ලා හෙම ඒ කාලෙ යෝජනා කරපු දේ තමයි මේ වෙලාවේ ඒ ප්‍රශ්නය ඉදිරියට නොගෙන ඉන්න එක.

අපි මේ කතා කළේ 2010 ඉඳන් 2014 දක්වා තිබුණු තත්වය. රාජපක්ෂවරුන් ගෙදර යැවීමේ අවශ්‍යතාව මතු වූ කාලය. දැන්.. නැවත ඒ කාලය ඇවිත්.

ඒත් ලොකුම ලොකු ප්‍රශ්නය. මොන ලබ්බටද රාජපක්ෂලා ගෙදර යවන්නෙ? නිකං රාජපක්ෂලාව පේන්න බැරි නිසාද? පෞද්ගලිකව තරහ නිසාද? ඇයි පරද්දන්නෙ? ඊට පස්සෙ මොකද වෙන්නෙ?

නිකම්ම විපක්ෂයෙ ඔඩොක්කුවට ඊළඟ ආණ්ඩුව දීල හරියන්නෙ නෑ. ඒ වෙනුවට.. විපක්ෂය රටේ ප්‍රශ්න ගැන පුළුල් සංවාදයක් පටන්ගන්න ඕනෑ. හුදු පක්ෂයක් විදියට තනියෙං කරන්නෙ නැතිව අනෙක් පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරන්නත් ඕනෑ.

විශේෂයෙන් දැන් දේශපාලන මර්දනයකුත් තියෙන නිසා ඒ ගැන එකතු වී සාකච්ඡාවක් කරන එකත් වැදගත්.

හැබැයි රටේ ප්‍රශ්න කියන්නෙ මොනවද? රටේ සමහර ප්‍රශ්න ගැන කතා නොකර තක්කඩි වගේ නිහඬව ඉන්න බෑ. සුමන්තිරන් කීවෙ ඇත්ත. ලංකාවෙ වෙන කිසිම ප්‍රශ්නයක් නිසා ලක්ෂ ගණන් සියළු ජාතීන්ට අයිති මිනිසුන් මැරුණෙ නෑ. මේ තරම් අපරාධ සිද්ධවුණේ නෑ. හැම පැත්තෙම මිනිස්සු අදටත් ඒ තුවාලවලින් පීඩා විඳිනවා.

යුද්ධයක් කරලා කිරිබත් කෑවා මිසක්.. ප්‍රශ්නයට හේතු හොයන වැඩේ හරියට තවම කෙරිලා නෑ.

අපි කියන්නෙ සුමන්තිරන්ලාගේ මතය හරි කියන එකම නෙවෙයි. එයාලාගේ වැරදිත් ඇති. ඒ සියල්ල අපි විවෘතව කතා කරන්න ඕනෑ. මේ කාරණා කතා නොකර.. කිසිදෙයක් වුණේ නෑ වගේ අපේ රටට ඉස්සරහට යන්න බෑ.

ඒ නිසා අද අපේ ප්‍රශ්න අතර ආර්ථික ප්‍රශ්නය, කොවිඩ් ප්‍රශ්නය, දේශපාලන මර්දනය, දූෂණය ආදී ප්‍රශ්න තිබුණාට.. නිදහස ලැබුණ දා ඉඳන් අද දක්වා නිධන්ගත ප්‍රශ්නයක් විදියට ශ්‍රී ලාංකික ජාතියක් හදාගැනීමේ ප්‍රශ්නය තියෙනවා. අපි හැමෝම එකතු වෙලා පොදුවේ ශ්‍රී ලාංකික ජාතියක් හදාගන්න ඕනෑ.

මෙදා පාර ලංකාවේ ප්‍රධාන දෙමළ පක්ෂය කියනවනං, දෙමළ ජනතාවගේ ඓතිහාසික ප්‍රශ්නය ගැන හරිහැටි මතයක් නොකීවොත් තමන්ගේ සපෝට් එක ලැබෙන්නෙ නැති බව… ඒක ඓතිහාසිකයි.

මේක මහ පිස්සු රටක්. වෙච්ච දේවල් වුණේ නෑ වගේ ඉන්න. දන්නෙ නෑ වගේ ඉන්න.

ලංකාවේ දේශපාලන නායකයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් කී දෙනෙක් ඝාතනය කළාද, ඒ සිදුවීම් සියල්ලටම වගේ අධිකරණයෙන් දඬුවම් දීලා නෑ. ඒ කියන්නෙ අපේ රාජ්‍යය ඒවා සිද්ධ වුණේ නෑ වගේ ඉන්නවා.

ඒ ඔක්කොම මැද්දෙ ලංකාවෙ මිනිස්සු ඒ දේවල් ගැන තම තමන්ට ඕනෑ විදියට අර්ථතකනය කරනවා. ඝාතනයක් නං, සමහරු කියනවා ඕක කළේ අහවලා කියලා. තව කෙනෙක් කියන්නෙ ඔය ඝාතනේ කළේ අහවලා කියලා. තමන්ගෙ වාසියට හැම සිද්ධියක්ම හදාගන්නවා මිසක්.. රටක් එකතු වෙලා ඒ සිද්ධිය ඇති වුණේ කොහොමද කියලා හේතුව නැති කරලා නෑ.

ඇයි ලංකාවෙ ආර්ථික ප්‍රශ්නයටත් වඩා, ලංකාවේ දේශපාලන සංස්කෘතියටත් වඩා ජාතිය හදාගැනීමේ ප්‍රශ්නය අංක එක වන්නේ. ඒ උත්තරේ දෙන්න ඕනෑ අපි නෙවෙයි. රාජපක්ෂලා වුණත් කියයි ඒක ගැන.

මොකද රාජපක්ෂලා පවා අද දක්වා යුද්ධය ඉවරකිරීම තමයි තමන්ගෙ අංක එකේ වැඩේ හැටියට හයිලයිට් කරන්නෙ. ගෝඨාභය රාජපක්ෂ පවා හැමදේම යුද්ධෙ කිරිල්ල එක්කයි සමාන කරන්නෙ.

ඒ නිසා මේ ප්‍රශ්නය දැවැන්තයි. ඓතිහාසිකයි. ඒක ඉබේ යට යන්නෙ නෑ.

උතුරයි දකුණයි එකතු වෙලා අලුත් කැරැල්ලක් කරන්න ඕනෑ. චින්තන කැරැල්ලක්. බයිලා ගැසූ කාලෙ ඉවරයි. ඔය කන්, ඔය ඔළුව ආපහු ඕපන් කරගන්න.

මාදුළුවාවේ සෝභිත හිමියන් 2015 දී දුන් සම්මුඛ සාකච්ඡාවක කීව දේ අපි නැවත මතක් කරන්නේ ඒ අනුව.

‘පරණ චක‍්‍රයම කැරකෙනවා. දැන් බලන්න ලංකාව මැදපෙරදිගට වහල්ලූ යවන කඳවුරක්. මේවා ගැන හිතන්න. විශාල වෙනසක් අවශ්‍යයි. ඡන්දයෙන් මේ වෙනස නොකෙරිච්ච නිසා තමයි 71 ජනතාව කැරලි ගැහුවේ. 89 කැරලි ගැහුවේ. මේ වෙනස නැති නිසා තමයි උතුරේ කැරැල්ලත් ආවේ. දැන් ඊළඟ කැරැල්ල එන්න ඕනෑ උතුර සහ දකුණ දෙගොල්ලොම එකතු වෙලා. එහෙම එකතු වුණොත් ජාතික සමගියක් ඇතිවෙනවා.’

ඒ වගේම සෝභිත හාමුදුරුවන් කීවා.. ඒ විප්ලවය අවිහිංසාවාදී චින්තන විප්ලවයක් වෙන්න ඕනෑ බව. චින්තන විප්ලවයක් ගේන්න ඕනෑ බව. හාමුදුරුවෝ තවදුරටත් මෙහෙම කිව්වා.

‘දැන් හොඳ වෙලාව උතුරේ දකුණේ අපි ඔක්කොම එකට එකතු වෙන්න. ජාතිවාදය පැත්තකට දාලා හොඳ අරමුණු ටිකක් වෙනුවෙන් හොඳ රටක් අපට හදාගන්න පුළුවන්. මේ යන ගමන තුළින් අපට හොඳ රටක් ගැන හිතන්න බැහැ.’

මේ කතාව අමතක කරන්න බෑ. දැන් හොඳ වෙලාව. උතුරේ දකුණේ අපි ඔක්කොම එකට එකතු වෙන්න.